
ජර්මානු සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන් එතෙක් මෙතෙක් ලොව බිහි වූ අග්‍රගණ්‍ය සංගීතඥයකු ලෙස සම්භාවනාවට පාත්‍ර වේ. ඔහුගේ ජීවිතය කැපී පෙනෙන්නේ විශ්ව සංගීතයේ ඔහු තැබු මුද්‍රාව නිසා පමණක්ම නොවන්නේය. උපතේ සිට මරණය දක්වාම ඔහුගේ ජීවිතය හා බැඳී පැවැති කොතෙකුත් මවිතකර මෙන්ම රසාලිප්ත කාරණා ද ඊට බලපෑ බව පැහැදිලි ය.
බීතෝවන් ඉපදුණේ කවරදාදැයි කිසිවෙක් නිශ්චිතව නොදනිති. ඔහු බවුතීස්ම කළ දිනය 1770 දෙසැම්බර් 17 බව සඳහන් ය. එබැවින් ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඔහු ඊට දින කිහිපයකට පෙර උපත ලබන්නට ඇති බව ය.
ස්වකීය සංගීත මාධූර්යයෙන් ලොවක් වසඟ කළ බීතෝවන්ට එය මුළුමනින් විඳීමට හැකි වූයේ නැත. ඒ; ඔහු 26 හැවිරිදි වියට එළැඹෙන විට අර්ධ වශයෙන් බිහිරි තත්ත්වයටත් ජීවිතයේ අවසන් දශකය මුළුමනින්ම බිහිරි අයකු බවටත් පත්වූ බැවිනි. බීතෝවන්ගේ බිහිරි බවට හේතු වූ කාරණය ද නිශ්චිතව කිසිවකුත් නොදනී. එය යම් රෝගී තත්ත්වයක් නිසා සිදුවුවකැයි අනුමාන කෙරේ. ඊයම් විෂ ශරීරගත වීමක් ගැන ද සඳහන් ය. තවත් මතයකට අනුව එය ඔහුගේ චර්යාවක් නිසා සිදු වූවක් ද විය හැකිය. යම් නිර්මාණයක් කිරීමට පෙර සීතල ජලයේ හිස ඔබාගෙන සිටීමේ පුරුද්දක් බීතෝවන්ට තිබිණි. රාත්‍රියේ නිර්මාණකරණයේ යෙදෙන විට නින්ද පලවා හැරීමට ඔහු එවැන්නක් කරන්නට ඇතැයි පැවැසේ. කෙසේ වුවද මේ පුරුද්ද ඔහුගේ බිහිරි බවට හේතුවක් වන්නටත් ඇත. මරණ පරීක්ෂණයේ අනාවරණය වූ කාරණයක් ද මේ ප්‍රශ්නයට යම් පිළිතුරක් සපයයි. එනම්, ඔහුට විශාල ඇතුළු කනක් තිබූ බවයි. බිහිරි බව හේතු කොටගෙන වර්ෂ 1811න් පසු ඔහු ප්‍රසංග සඳහා සහභාගි වීමෙන් වැළැකී සිටියේය. එහෙත්, තනු නිර්මාණය කිරීමේ දිගටම නිරත විය. වේදිකාවේ පෙනී සිටීම වැළැකුණු බැවින් ඔහු යම් හුදෙකලා බවකින් ද පෙළෙන්නට විණි. එසේ වුවද ඔහුගේ විශිෂ්ටතම සංධ්වනි නිර්මාණය වූයේ මේ කාලයේය. බීතෝවන්ගේ සුපතළ 9 වැනි සංධ්වනිය පළමු වතාවට වියනා රඟහලේදී ඉදිරිපත් වූයේ ඔහුගේ අභාවයට තුන් වසරකට පෙරාතුවය.
අභාවයෙන් වසර 15කට පමණ පසුව ද ඔහුගේ නිර්මාණ ජාතික ගී සඳහා තෝරා ගැනිණි. යුරෝපා සංගමය (යුරෝපා කවුන්සලය) 1972 දී සිය ජාතික ගීය නිර්මාණය කළේ බීතෝවන්ගේ 9 වැනි සංධ්වනිය ඇසුරිනි. කොසෝවෝ රාජ්‍ය 2008 වසරේදී සිය නිදහස ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ජාතික ගීයක් නිර්මාණය කරගන්නා තෙක් ජාතික ගීය වශයෙන් එම ගීතයයි. 1785 දී ජර්මානු කිවි ෆ්රෙඩ්රිඩ් ෂිලර් කළ නිර්මාණයක් ඇසුරින් බීතෝවන් එය වර්ෂ 1823 දී නිර්මාණය කර තිබිණි.
බීතෝවන් ආදරවන්තයකු ලෙස වාසනාවන්ත වූයේ නැත. ඔහුගේ ආදරයට පන්ති භේදය හරස් විය. ඔහුගේ පළමු ප්‍රේමය ජූලී නම් තරුණ ආදිපාදවරියකි. ඔහුට ඇය විවාහ කර ගත නොහැකි වූයේ සාමාන්‍ය පන්තියේ අයකු වූ නිසාය. වර්ෂ 1799 දී ඔහුගෙන් පියානෝ වාදනය ඉගෙන ගනිමින් සිටි සිසුවියක වන ජොසපින් බ්‍රන්ස්වික් සමඟ ඔහු ප්‍රේමයෙන් වෙළිණි. ඇය ද වංශවතකු හා විවාහ වූ නමුත් එම වංශවතා වැඩිකල් නොගොස් මිය ගියේය. ඉන් පසු ද ඇයට බීතෝවන් සමඟ විවාහ වීමේ අවස්ථාව නොලැබුණේ දරුවන්ගේ රැකවරණය ගැන කල්පනා කළ බැවිනි. කෙසේ වුවද, බීතෝවන් සිය ජීවිත කාලය තුළ ඇයට සරාගී පෙම්හසුන් 15ක් ලියා තිබේ. 1812 දී ඔහු ලියූ Immortal Be loved නම් සුප්‍රකට ආදර හසුන යොමුකර ඇත්තේ ද ඇයට බව විශ්වාස කෙරේ.
ළමාවියේ පටන්ම බීතෝවන් වයලින් වාදනයට ප්‍රිය විය. නිරන්තරයෙන් වයලිනය වාදනය කළ ද එය ස්වර ප්‍රස්තාර අනුගමනය කරමින් ම සිදු වූවක් නොවේ. ඒ ගැන ඔහුගේ පියා තුළ ඇති නොකැමැත්ත වරින්වර පළ කළේ එය අසා සිටීමට අපහසු බව දන්වමිනි. එමෙන් ම ශාස්ත්‍රීයව එය වාදනය කිරීමට ඔහු සිය පුතු පෙලඹ වීය.
බීතෝවන් තනු නිර්මාණය කිරීම ඇරැඹුවේ කවරදාදැයි නිශ්චිතව කිව නොහැකිය. එහෙත්, යොවුන් වියේදීම ඔහු සිය කල්පනාවන් කඩදාසි මත දිගහැරීමට ක්‍රියා කළ බව පෙනෙන්නට ඇත. 1782 දී ඔහු කළ පියානෝ සංගීත ඛණ්ඩයක් හමුවී තිබේ. වයස අවුරුදු 12 දී පමණ සිටම සංකීර්ණ සංගීත ඛණ්ඩ වාදනය කිරීමේ හැකියාව බීතෝවන්ට විය.
1791 දී මහා සංගීතඥ මොසාර්ට්ගේ අභාවය සිදුවීමත් සමඟ වියනා නුවරට රැස්වූ සංගීතඥයෝ ඊළඟ විශිෂ්ටයාගේ අවශ්‍යතාව ගැන අවධානය යොමු කළහ. එහිදී වෝල්ඩ්ස්ටයින් තරුණ බීතෝවන් අමතා කියා සිටියේ, සංගීතඥ හේඩ්න් හරහා එම විශිෂ්ටත්වය ඔහුට ළඟා කරගත හැකි වනු ඇති බවය. වර්ෂ 1792 දී බීතෝවන් වියනා නුවරට සංක්‍රමණය විය. එහි පැමිණි පසු තම කාර්යයන් ඔහු දිනපතාම දින පොතේ සටහන් කිරීම පුරුද්දක් ලෙස කළේය. එම දිනපොත් ඔහුගේ සිතුම් පැතුම් හා කෙරුම් ගැන දැනගැනීමට කදිම මූලාශ්‍රයන්ය.
බිහිරි බව හේතුකොටගෙන බීතෝවන්ට සෙසු අය සමඟ සන්නිවේදනය කිරීමට සිදු වූයේ ලිඛිතවය. සිය නිර්මාණ ගැන පැවැසීමට ඇති දෑ ලියා දක්වන මෙන් ඔහු මිතුරන්ගෙන් ඉල්ලා සිටියේය. එම අදහස්වලට ඔහු දැක්වූ ප්‍රතිචාර ද ලිඛිතය. ඒවා පොත් රාශියකි.
බීතෝවන් සිය පළමු සංධ්වනිය ඉදිරිපත් කළේ වියනාහි බර්ග් රඟහලේදීය. ඒ වන විට ඔහු 30 හැවිරිදි වියේ පසුවිණි. මේ පළමු පියවර ඔහු රසිකයන් ඉදිරිපිට තැබුවේ හැඳින්වීමක් ද සමඟය. පළමු ප්‍රසංගය විහිළුවක් බවට පත්වූ බව ද පැවැසේ. ඔහුගේ සංගීත ජීවිතය අදියරයන්ට බෙදා වෙන් කිරීම දුෂ්කර වුවද සාමාන්‍යයෙන් අවදි 3ක් හඳුනාගත හැකිය. පළමුව ආරම්භක අවදියයි. ඔහු පළමු හා දෙවන සංධ්වනි කළේ මේ වකවානුවේය. දෙවන, මධ්‍යතන අවදිය වඩාත් හැඟුම්බර නිර්මාණවලින් මෙන්ම වීරත්වයෙන් ද පිරී තිබිණි. 3 වැනි සංධ්වනිය මේ අවදියේ ඉදිරිපත් විය. Moonlight නම් ඔහුගේ විශිෂ්ට පියානෝ සොනාටාව ද නිර්මාණය කෙරිණි. මේ අවදිය වන විට ඔහුට ප්‍රංශ විප්ලවයේ ආභාසය බලපා තිබිණි. සිය තුන්වැනි සංධ්වනිය ඔහු ඉදිරිපත් කළේ නැපෝලියන් බොනපාට්ට ගෞරවයක් ලෙසය.
බීතෝවන් නම් මහා සංගීතඥයා නිර්මාණය කළේ එක් ඔපෙරාවකි. ඒ; Fidelio ය. ඒ වෙනුවෙන් ඔහු සිය ලේ, දහදිය සහ කඳුළු ද හෙළුවේය. මේ ඔපෙරාව අදටත් වේදිකාගත වේ. ඔහුගේ සංගීත ජීවිතයේ තුන්වැනි අවදිය නවවැනි සංධ්වනිය ද ඇතුළුව විශිෂ්ට නිර්මාණ බොහොමයක් දායාද වූ වකවානුවය. බීතෝවන් නම් මහා සංගීතවේදියා මතු වූ අවදියය. නවවැනි සංධ්වනිය සම්භාව්‍ය සංගීතයේ මුහුණුවර පවා වෙනස් කිරීමට හේතු විණි.
ඔහු වයින් ප්‍රිය කළේය. බීමත්කම නිසා එක් වරක් පොලිස් අත්අඩංගුවට ද පත්වී තිබේ.
මරණයට හේතුව ලෙස ඇතැම් මූලාශ්‍රය දක්වන්නේ ද ‘සිරෝසිස්’ රෝග තත්ත්වයයි. බීතෝවන් සංගීතයට පමණක් ඉවුම් පිහුම් කිරීමට ද රුසියෙකි. ඔහු ඊට ඉතාමත් ප්‍රිය කළ බව පැවැසේ. ඔහු සිය ජීවිත කාලයේ අපහසුවට පත්වූ එකම තත්ත්වය බිහිරි බව නොවේ. චර්ම රෝග කිහිපයක්, සිරෝසිස්, සෙංගමාලය, රූමැටික උණ වැනි විවිධ රෝගී තත්ත්ව නිසා ඔහු පීඩා විඳ තිබේ.
ඔහු ගණිතයට අදක්ෂයකු විය. ඊට හේතුව 11 හැවිරිදි වියේදීම පාසල් අධ්‍යාපනය නිමා කිරීමයි. එකතු කිරීම, අඩු කිරීම දැන සිටිය ද බෙදීම හා ගුණ කිරීම ඉගෙනීමට ඔහුට නොහැකි විය. ඔහු ස්වර නිර්මාණ සංකීර්ණ ඒවා වුවද සංගීත ජිවිතයේදී ඇතැම් විට ඔහු මේ අසමත් බව නිසා අපහසුවට පත් විය.
බීතෝවන්ගේ අවසන් වචන ගැන ද ඇත්තේ දෙගිඩියාවකි. බොහෝ අය සිතා සිටින්නේ එය “මට ස්වර්ගයේදීත් සංගීත ඇසේවා!” යන්න බවය. එහෙත්, ඔහුගේ අභාවය සිදුවූ දිනවල ප්‍රකට වූයේ එම වදන් “අත්පොළසන් දෙන්න මිතුරනි, ප්‍රහසනය හමාරයි” බවයි. කෙසේ වුවද වඩාත් පිළිගත හැකි මූලාශ්‍රය දක්වන පරිදි ඔහුගේ අවසන් වදන් වයින් ගැනය. රතු වයින් කේස් එකක් ද රැගෙන තමා බැලීමට අවසන් මොහොතේ එහි පැමිණි සිය ප්‍රකාශකයා දුටු බීතෝවන් “අනේ, අනේ, පරක්කු වැඩියි...” යනුවෙන් පවසා තිබිණි.