රටටම උගන්වපු පරිසර පාඩම | Page 2 | සිළුමිණ

රටටම උගන්වපු පරිසර පාඩම

කුණු කන්ද අපි ළඟදීම පුත්තලමට ගෙනියනවා
- ඇමැති පාඨලී චම්පික

* මම කී දේ කළානම් මේ විනාශය නැහැ
- මහ ඇමැති ඉසුර දේවප්‍රිය

* පරිසර නීතිරීති හරියට ක්‍රියාත්මක කරමු
- මහාචාර්ය හේමන්ති රණසිංහ

* පර්යේෂණ කිරීමට විද්වත් කමිටු ඕනෑ
- මහාචාර්ය කපිල දහනායක

* මේ කුණු කන්ද හා ඒ අවට ඉතා අවදානම්
- නායයෑම් පර්යේෂණ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර

* මම මේ කන්ද නාය යන බව 2016 දී කිව්වා කවුරුවත් ගණන් ගත්තේ නැහැ
- කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න

* 2007 අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූවානම් හරි
- පරිසරවේදී සජීව චාමිකර

වසර 30ක් තිස්සේ අඩි 400ක් උසට ටොන් දස ලක්ෂ 25ක් පමණ බර මීතොටමුල්ල කුණු කන්ද පසුගියදා පුපුරා ගියේ ජන ජීවිත 32ක් අහිමි කරමින් පමණක් නොවේ. රටේ පාලකයන්ට නිලධාරීන්ට හා ජනතාවට තවත් පරිසර පාඩමක් සිංහල අලුත් අවුරුදු දවසේම උගන්වමිනි.

වසර 30ක් තිස්සේ පැවැති රජයන් හා නිලධාරීන් මේ කුණු කන්දට විසඳුම් රැසක් ගෙනාවත් ඒවා ක්‍රියාවට නැංවී‍‍මේදී විවිධ බාධා රැසක් එල්ල විය. නමුත් ඒ අතර නොකඩවා කුණු කන්දට දිනකට මෙට්‍රික් ටොන් 1000 බැගින් එකතු විය. අක්කර 18ක් පුරා පැතිරී ඇති මේ කුණු කන්ද නිසා පරිසර හා සාමාජීය ප්‍රශ්න ගණනාවක් පසුගිය කාලයේ ඇති විය. ඊට විසඳුම් ඉදිරිපත් වූවත් ඒවා විවිධ අමාත්‍යාංශ අතර කඹ ඇදිලි දේශපාලනික පෞද්ගලික ප්‍රශ්න නිසා අතරමැද නැවැතිණි. නමුත් 2012 සිට 2017 අප්‍රේල් 14 දක්වාම දිනපතාම කුණු කන්දට කුණු ටොන් 1000ක් පමණ එකතු විය.

1997 දක්වා දිවෙන අතීතයක් ඇති මේ මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව ගවේෂණාත්මක ලෙස සොයා බැලිය යුතුය.

මේ පිළිබඳව කරුණු දැක්වූ බස්නාහිර හා මහ නගරය ද සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පැවසුවේ මේ කුණු කන්දට 2012 පමණ සිට දවසකට කුණු ටොන් 800 - 1200 අතර ප්‍රමාණයක් වැටෙන බවයි. කොළඹ නගර සභාව විසින් ප්‍රධාන ලෙසම මීතොටමුල්ලට කුණු දමනු ලැබුවේය.

මේ කුණු ඇතිවෙන්නේ කෙසේද කියා කළ පර්යේෂණ අනුව පැහැදිලි වී ඇත්තේ කොළඹ නගරයට එන අය නිසා කුණු කන්ද වැඩිවූ බවය. ඒ අනුව එක පුද්ගලයකු දිනකට කොළඹ නගරයට දමන කුණු කසළ ප්‍රමාණය ග්රෑම් 850ක් පමණ වේ. බස්නාහිර පළාතේ අනෙක් ප්‍රධාන නගරවල එක් පුද්ගලයකු දිනකට ග්රෑම් 750ක කුණු කසළ ප්‍රමාණයක් අවට පරිසරයට බැහැර කරන බවද ලේකම්වරයා පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවල සඳහන් ආකාරයට මෙරට කර්මාන්ත ශාලා 11500කින් පමණ අන්තරායකර අපද්‍රව්‍ය නිපදවනු ලැබේ. ඉන් සියයට 45ක්ම බස්නාහිර පළාතේ දී කුණු කඳුවලට එකතු වේ.

වසරකට අපේ රටේ එකතු වී දැවීගිය සී. එෆ්. එල්. බල්බ් ගණන ලක්ෂ 25 ඉක්මවා යයි. ඊට අමතරව ජංගම දුරකථන ලක්ෂ 9ක් වාහන බැටරි 90000ක් හා පරිගණක 55000ක් හා රූපවාහිනි යන්ත්‍ර 65000ක් හා ශීතකරණ 40000ක් පමණ වසරක් ඇතුළත අප අවට පරිසරයට එකතු වන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශය කළ සමීක්ෂණ අනුව පෙන්නුම් කරයි.

මේ අනුව මීතොටමුල්ල නාය ගියත් මේ උත්පාදනය වන කුණු අවම කිරීම ප්‍රධාන ගැටලුවකි.

අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසන පරිදි මේ මීතොටමුල්ල කුණු කන්ද පුත්තලමට ගෙන ගොස් සෞඛ්‍යාරක්ෂිත භූමී පිරවුමක තැන්පත් කිරීමට සුවිශේෂ සැලසුමක් තිබේ. “නමුත් එයට ප්‍රදේශයේ දේශපාලනඥයන් පරිසරවේදීන් විරෝධය පළ කළා. ඒ සමඟම අපි දැනටත් මීතොටමුල්ල හා කරදියාන ප්‍රදේශයේ අක්කර 14ක පැතිරී ඇති කුණු කඳුවලින් විදුලිය නිපදවීමට එතෙර හා මෙතෙර සමාගම් සමඟ ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ඒ අනුව මෙගා වොට් 20ක විදුලි බලයක් ළඟදීම ජාතික විදුලිබල පද්ධතියට එක්කරන්න පුළුවන්” ලේකම්වරයා කියයි.

මේ පිළිබඳව මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙසේ කියයි.

“අපිට මතකයි 1997 මේ ප්‍රශ්නය විසඳීම සඳහා එවකට කොළඹ මහ නගර සභාවේ සභාපති කරූ ජයසූරිය මැතිතුමාත්, ඒ වාගේම බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති හැටියට හිටපු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාත් ලෝක බැංකු ආධාරයෙන් මීපේ ප්‍රදේශයේ විධිමත් කසළ රඳවනයක් හදන්න යෝජනාවක් ගෙනැල්ල විද්‍යාත්මක කසළ රඳවනයක් කොළඹ නගරයට ඇතිකරන්න ක්‍රියා කළා. ඒකට ඒ ප්‍රදේශයේ අවිස්සාවේල්ල, හෝමාගම ආදි ප්‍රදේශවල සියලුම දේශපාලනඥයෝ පක්ෂ භේදයකින් තොරව නැඟී ඉඳලා කොළඹ කුණු අපිට එපා කියලා විශාල උද්ඝෝෂණයක් ගෙනැල්ලා අවසානයේ ලෝක බැංකුව ඒ ව්‍යාපෘතිය අත්හැර දැමුවා.

එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි බ්ලුමැන්ඩල්වල විශාල කුණු කන්දක් 1997 පටන් ගොඩනැඟුණේ. ඒ බ්ලුමැන්ඩල් කුණු කන්දත් නායයෑමට ලක්වෙලා. ජල දූෂණයට ලක්වෙලා. කැලණි ගඟ විනාශ වෙලා. සාගරයේ ජලය විනාශ වෙලා. අපිට විශාල පරිසර විපත්තියක් ඇතිවුණාට පස්සේ පරිසර අමාත්‍යවරයා හැටියට මමත් ඉදිරිපත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර තුමාත් ඉදිරිපත් වෙලා ඉතාම අපහසුවෙන් ඒ කුණු කන්ද අපි නතර කළා. නමුත් ඒ සඳහා විකල්පයක් ලෙස අපි වග ප්‍රදේශයේ වනගත ප්‍රදේශයක විද්‍යාත්මක කසළ රඳවනයක් හදන්න මධ්‍යම පරිසර අධිකාරියේ උදවුවෙන් අපි කොයිකා ආයතනය මුල්වෙලා කටයුතු කළා. නමුත් ඒ ප්‍රදේශයේ දේශපාලනඥයින් කොළඹ කුණු අපිට එපා කිව්වා.

අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මීතොටමුල්ලේ කුණු කන්දක් ඇතිවෙන්නෙ. ඊට පස්සේ එදා ඉඳන් තිබ්බ වැදගත් යෝජනාවක් තමයි පුත්තලමේ සිමෙන්ති සඳහා පාවිච්චි කරන හුණුගල් කණින අගල්වලට මේ කසළ කන්දෙ කුණු ගෙනිහින් දමන්න. නමුත් ඒ ව්‍යාපෘතියටත් ජනතා විරෝධතා එල්ල වුණා. ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධතා හා දේශපාලන විරෝධතාත් එල්ලවෙලා ඒකත් අඩපණ වුණා. නමුත් මේක අපි ලඟදීම ක්‍රියාවට නංවනවා

අපි 2015 දෙසැම්බර් මාසයේ කොළඹ මහ නගර සභාවට දැනුම් දුන්නා මීතොටමුල්ලට කුණු දාන්න එපා විකල්ප ස්ථාන හොයන්න කියලා. ඒ අනුව ඒගොල්ලෝ දැන්වීමක් පළ කරලා විකල්ප ස්ථාන කිහිපයක් හොයාගෙන තියෙනවා. නමුත් ඒ ස්ථානවලත් විරෝධතා ඇතිවෙච්ච නිසා ඒගොල්ලන්ට ඒ කසළ ගෙනියන්න බැරි වුණා. ජනතාවගේ හැඟීම් අවුස්සලා කොළඹ කුණු අපිට එපා කියන සටන් පාඨයට කරන්න පුළුවන් එකම දේ තමයි බ්ලුමැන්ඩල්, මීතොටමුල්ල හැදුවා වගේ තවත් තැන් කිහිපයක කසළ කඳු හදන එක තමයි අවුරුදු ගාණකට කරන්න පුළුවන්.

මීට මාස කිහිපයකට කලින් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් දාලා මීතොටමුල්ලට තවදුරටත් කුණු දාන්න බෑ, ඒ නිසා වෙනත් ස්ථානයකට කසළ ගෙනියන්න කියලා අපි යෝජනා කළා. ඒ වාගේම මීතොටමුල්ල කසළ කන්ද අවට ප්‍රදේශය නාගරික උද්‍යානයක් හැටියට අපි සංවර්ධනය කරනවා. බ්ලුමැන්ඩල් කුණු කන්දත් අපි නාගරික උද්‍යානයක් හා වරායට ආශ්‍රිත ඒ ප්‍රසම්පාදන නගරයක් හැටියට ඒ ප්‍රදේශය දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.” පාඨලී චම්පික ඇමැතිවරයා කියයි.

මධ්‍යම රජයේ සමහර ඇමැතිවරුන්ගේ කඹ ඇදීම් නිසා මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට තමා ඇතුළු පළාත් සභාව 2016 වසරේ ගෙනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවූ බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

පසුගිය වසරේ මැයි මාසේ මේ කුණු කන්ද එංගලන්ත සමාගමට ආයෝජනයක් ලෙස විද්‍යානුකූල ලෙස ඉවත් කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඉඩම් කොටසක් ඉල්ලා නාගරික සංවර්ධන අධිකාරියෙන් තමන් ලියුම් ලියු බවත් ප්‍රධාන ඇමැතිවරයා කියයි. නමුත් එය නොලැබුණු බවත් නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතියට බාධා කළ බවත් ඇමැතිවරයා කියයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මා මෙම ප්‍රශ්නය හඳුනාගෙන කසළ කන්ද ඉවත් කිරීම සඳහා ආයතනයක් තෝරාගෙන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් 2016 මැයි මස සියලු මාධ්‍ය ආයතන නියෝජිතයින් ගෙන්වා ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරගෙන යාමට අවශ්‍ය ලිපිය එම සමාගමට කසළ කන්ද පාමුලදී ලබා දෙන ලදී. මාස 06 ඇතුළත දී ආරම්භ කිරීමට තිබූ එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් කොටස අදාළ අංශ විසින් අප හට ලබා නොදී ඊට කිසිදු සහායක් නොදැක්වීම හේතුවෙන් අද අපිට මෙම කනගාටුදායක ඉරණමට මුහුණ දීමට සිදුව ඇත.

එම සමාගමේ නියෝජිතයින් වරින්වර මෙම ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ව්‍යාපෘතියට අදාළ සැලසුම් යෙදූ අතර, මෙම ගම්වාසීන් සහ එම නියෝජිතයින් අතර විශ්වාසයක් ද ගොඩනැඟී තිබිණි. කුහක දේශපාලන වාසි පතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සහාය නොදැක්වීම හේතුවෙන් මීතොටමුල්ල ජනතාව පීඩාවට පත්වූ බව කනගාටුවෙන් වුවත් පැවැසිය යුතුය. වගකිවයුතු පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මෙම කුණු ප්‍රශ්නය විසඳීමට මම අදටත් කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවක අහිංසක ජනතාව බිලි නොදී කුහක දේශපාලනයෙන් මිදී කසළ ප්‍රශ්නය විසඳීමට මම ඇතුළු පළාත් සභාව ගන්නා සහයෝගය ලබාදෙන මෙන් මෙම ශෝචනීය අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින බව ද ප්‍රධාන ඇමැතිවරයා පවසයි.

ඒ අනුව කුණු කන්ද කඩා වැටීම පිළිබඳව සමහර ඇමැතිවරුන් වගකිව යුතු බව ද කුණු කන්ද ගැටලුව විසඳීමට නොහැකි වූයේ ඒ අය නිසා බවද ඇමැතිවරයා කීය.

කෙසේ වුවත් මේ පිළිබඳව අප කොළඹ නාගරික කොමසාරිස් යූ. කේ. අනුර මහතා පැවසුවේ පාඨලී චම්පික ඇමැතිවරයා මීතොටමුල්ල කුණු කන්දට කුණු දාන්න එපා යයි උපදෙස් දුන්නේ නැති බවයි. කැබිනට් මණ්ඩලය මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණත් කොළඹ නගර සභාව පාලනය කරන පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් අනුව දිගටම කුණු කසළ මීතොටමුල්ලට දැමීම කරගෙන ගිය බවත් අනුර මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිසර හා වන විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නේ මේ රටේ කසළ කළමනාකරණ නීතිරීති ඇති තරම් ඇති බවත් ඒවා බය නැතිව ක්‍රියාත්මක කර මේ ගැටලුව විසඳීම දේශපාලනඥයන්ගේ යුතුකම බවත්ය.

“කසළ කළමනාකරණය විධිමත් ලෙස සිදුකිරීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුව කටයුතු කිරීම සිදුකළ යුතුයි. අද අප රටේ කසළ ඉවත දැමීම පිළිබඳව නීතිරීති තිබෙනවා. ප්‍රාදේශීය සභාවලට පළාත් සභාවලට නගර සභාවලට පූර්ණ බලතල තිබෙනවා. ඒත් ඒ බලතල හා ජාතික පාරිසරික පනතේ නීති රිති අපේ රටේ පාලකයෝ කොන්ද කෙළින් තියාගෙන හරියට ක්‍රියාවට නංවනවානම් මේ ගැටලු ඇතිවන්නේ නැහැ. නිලධාරීන් හා බලධාරීන් අවශ්‍ය වේලාවේදී අවශ්‍ය තීරණ ඍජුව ගත යුතුයි. ඔය කුණු කන්ද පිරි ඉතිරි යනකොට එක්කෝ කුණු කන්ද ඉවත් කරන්න තිබුණා නැත්නම් අවට ජනතාව ඉවත් කරන්න තිබුණා. නමුත් ඒ දෙකම කළේ නැහැ. අපේ නිවාසවල සිටම කසළ ජනනය අඩු කළ යුතුයි. එවිට මේතරම් කුණු කඳු ගොඩ ගැහෙන්නේ නැහැ.”

අපේ රටේ ඇති කසළ කළමනාකරණය පිළිබඳ නීතිරීති හා අණ පනත් අනුව වැරැදි කරන අයට විරුද්ධව බය නැතිව කටයුතු කළ යුතු බව ද මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පැවැසුවාය.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා සම්මානනීය මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසන්නේ මෙහිදී සිදුවී ඇත්තේ කුණු කන්දේ බර වැඩිවී අස්ථායි වීම නිසා කුණු කන්ද පෙරළීම බවයි.

මෙහිදී සිදුවී ඇත්තේ කුණු කන්දේ බර හා අස්ථායි බව වැඩිවීමයි. දිනකට මෙට්‍රික් ටොන් 1000ක් පමණ මේ කුණු කන්දට දමනවා. නමුත් කුණු කන්දට කුණු දමන කොළඹ නගර සභාව නාගරික සංවර්ධන අධිකාරිය මේ කුණු කන්ද මේ විධියට නායයයි කියලා සැක පහළ කළ යුතුව තිබුණා. නමුත් දැන් සිදුවී ඇත්තේ ඒ කුණු කන්දේ මීතේන් වායුව සෑදී රත්වී ඊට පසු ගිනි ගැනීමක් සිදුවීමයි. කුණු කන්දේ කුණු එකතු කරන අය මේ කුණු කන්දට සිගරට් කොට ආදිය දැමූ විට මුළු කුණු කන්දම ගිනි ගන්න පුළුවන්. මහාචාර්යවරයා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය මේ පිළිබඳව 2016 දී නගර සභාවට දන්වා තිබේ.

බස්නාහිර පළාත් ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසන බ්‍රිතාන්‍යයේ SJP සමාගමේ කැළි කසළින් විදුලිය උත්පාදනය කරන ව්‍යාපෘතිය පිළිබඳව බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය කරුණු පැහැදිලි කිරීමක් ද කර තිබේ.

ඒ අනුව එම ව්‍යාපෘති වාර්තාව පිළිබඳව ඇගැයීම් කළ තාක්ෂණික කමිටුව ඒ පිළිබඳව පැන නැඟුණු කරුණු 17ක් සම්බන්ධයෙන් විමසා ඇත.

නමුත් මෙම වාර්තාවෙන් පැන නැඟුණු කරුණු 17 සඳහා මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට කිසිදු අධිකාරියක් කටයුතු කර නැත. කෙසේ වෙතත් බස්නාහිර මහ ඇමැතිතුමන්ට අවශ්‍යම වන්නේ නම් බස්නාහිර පළාතේ හෝ රටේ ඕනෑම තැනක ගොඩගැසෙමින් පවතින කුණු කන්දක් ආශ්‍රයෙන් විදෙස් හෝ දේශීය ආයෝජකයකු හරහා නියමු ව්‍යාපෘතියක් සිදුකර එහි සාර්ථක ප්‍රතිඵල රට හමුවේ තැබීමට කිසිදු බාධාවක් නොමැති බව ද සඳහන් කර සිටිමු.

කැළිකසළ බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් පරිදි සිදු නොවීම නිසා අවස්ථා කිහිපයකදී එහි අවධානම දැනුවත් කරමින් එක් එක් අවස්ථාවල නාගරික සංවර්ධන අධිකාරියේ සිටි සභාපතිවරුන් විසින් කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් වෙත ලිපි යොමු කර ඇත.

මෙරට කුණු කසළ කළමනාකරණය පිළිබඳව වසර 7ක් පමණ ගවේෂණය කර ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අංශයේ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පවසන්නේ මේ කුණු කන්ද නායයෑමට ලක්විය හැකි බවට 2016 මැයි මස විද්‍යාත්මක අනාවැකි පළ කළත් ඒ පිළිබඳව කිසිම නිලධාරියකු බලධාරියකු අවධානය යොමු නොකළ බවයි. මීතොටමුල්ල කරදියාන යන කුණු කඳුවල වැඩිපුර මීතේන් පිටවෙනවා. මීතේන් ගඳ සුවඳ නැති වායුවක්ම ඒක වැඩිවුණොත් ගිනි ගන්න පුළුවන්.

“මම 2007 සිටම මේ රටේ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳව ගවේෂණවල නිරත වෙනවා. 2007 දී මට අපේ රටේ ආරම්භ කළ අපද්‍රව්‍ය කළමනාකරණ සහාය මධ්‍යස්ථානය සමඟ එක්ව පර්යේෂණ කළා.

ඒ අනුව අපේ රටේ කසළ කළමනාකරණය පිළිබඳව රටපුරා පළාත් පාලන ආයතන කටයුතු කරන ආකාරය පිළිබඳව අත්දැකීම් ලබාගත්තා. ඉන් බළංගොඩ වගේ ස්ථානවල ඉතා හොඳට අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු කරලා තිබුණා. 2012 පමණ වෙනකොට මම මීතොටමුල්ල කරදියාන මහනුවර වැනි ස්ථානවල කුණු කඳුවලින් නිකුත් වන මීතේන් පිළිබඳව මම පර්යේෂණ කළා.

2016 දී මම මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව පර්යේෂණ කරන කොට මට තේරුම් ගියා මේ කුණු කන්ද තිබෙන දුර්වල පස් ස්තරයට කන්දේ බර දරාගන්න බැරි බව. 2016 වන විට ඒ කන්දේ උපරීම දරා ගැනීමේ සමතුලිත මට්ටම ඉක්මවා යමින් තිබෙන බව පැහැදිලි වුණා. ඒ අනුව කුණු කන්දේ සමතුලිත මට්ටම අසමතුලිත වී කුණු කන්ද නාය යෑමට” ඉඩ ඇති බව 2016 මැයි මාසේ මම පැවැසුවා යැයි අනුරුද්ධ මහතා කියයි.

මෙරට ප්‍රමුඛ පෙළේ පරිසරවේදියකු වන ශ්‍රී ලංකා වනජීවි සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පැවසුවේ 2007 ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය හෙවත් පිළිසරු වැඩසටහන හරියට මෙරට ක්‍රියාත්මක වන්නේ නම් මෙවන් විපත් සිදු නොවන බවයි.

ඒ අනුව ඒ ප්‍රතිපත්තිය රටපුරා ක්‍රියාවට නැංවීමට පරිසර ඇමැතිතුමා ලෙස ජනාධිපතිතුමාට පුළුවන්.

අද මෙරට පළාත් පාලන ආයතනවලින් සියයට 95ක්ම සිදු කරන්නේ තම කුණු රැඳවුම්වල පවත්වාගෙන යාම බවත් ඒ අනුව සිදුවන්නේ රටේ කසළ කඳු ගැසීම් පමණක් බවත් සජීව චාමිකර පෙන්වා දෙයි.

මෙරට කසළවලින් සියයට 60 - 65ක් කොම්පෝස්ට් නිපදවීමට යොදාගත හැකියි. ඊට අමතරව තව සියයට 20ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒ අනුව ඉතිරි වන්නේ කුණු කසළ සියයට 10ක් පමණයි. ඒවා සෞඛ්‍ය ආරක්ෂිත ලෙස බැහැර කළ යුතුයි.

ඒ සමඟම පාඨලී චම්පික ඇමැතිතුමා කියලා තිබුණා මහජන විරෝධය නිසා මේ කුණු කන්ද ගෙනියන වැඩේ නතර වුණේ කියලා. මහජනතාවට පීඩාවක් වෙනවානම් ඒකට විරුද්ධ වෙන්න ජනතාවට පුළුවන්. පරිසර සංවිධානවලට පුළුවන් යැයි ද සජීව චාමිකර මහතා පවසයි.

“මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව අප්‍රේල් 14 වැනිදා සිටම ගවේෂණය කළ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පැවසුවේ මේ නායයෑම් සිදුවී ඇත්තේ කුණු කන්ද තිබු පොතුවිල් කුඹුර කියන ප්‍රදේශයේ ඇතුළත් දුර්වල පාෂාණ තට්ටුව නිවාස තිබු පැත්තට ගිලා බැස පසුව ඒ අසල තිබු නිවාස ඉහළට එසවීම් නිසා බවයි. ඒ අනුව මේ කුණු කන්ද දාලා තිබෙන්නේ කුඹුරු ඉඩමක. ඒ කුඹුරේ උඩ මට්ටමේ අඩි 10/15ක් අස්ථාවර දුර්වල පස් කමිටුවක් තියෙන්නේ. අඩි 30 - 40 සිට ශක්තිමත් පස් ස්තරයක් තිබුණා. ඒ අනුව ඒ ස්තරය තිබියදී තමයි උඩ ස්තරය කුණු කන්දත් එක්ක ලිස්සලා ගිලා බැහැලා ගියේ.

අපි කරපු පර්යේෂණ අනුව මේ කුණු කන්දත් ඒ අවටත් තවමත් ඉතා අනාරක්ෂිතයි. කොයි මොහොතේ හෝ වැස්සත් සමඟ මේක යළිත් නාය යන්නට පුළුවන්. අවට ඇළ මාර්ග පස්වලින් වැහිලා. මේ නිසා ගංවතුරත් ඇතිවෙන්න පුළුවන්. ඒ අනුව අපි මේ කුණු කන්ද අවට ප්‍රදේශ ඉතා අවදානම් හා අවදානම් ලෙස විවිධ මට්ටමේ අවදානම් කලාප හතරකට මෙන් කළා. ඒ මායිම් යුද හමුදාව ලකුණු කරනවා. ඒ ප්‍රදේශයේ ගෙවල් 135ක් විතර තිබෙනවා.”

මේ විදිහේ නායයාමක් අපේ රටේ වුණ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ කුණු කන්දේ බර වැඩිවීම මීට ප්‍රධාන හේතුවක් බව ද බණ්ඩාර මහතා පවසයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය කපිල දහනායක පවසන්නේ මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වූයේ ඒ අවට තිබූ ඇළ මාර්ගය කඩා යෑම නිසා බවයි. “එය හොඳින් නඩත්තු කළා නම් මේක නොවෙන්න ඉඩ තිබුණා. දුර්වල පස් ස්තරයක් මත මේ කුණු කන්ද පිහිටා තිබුණා. ඒ සමඟම මේ කුණු කන්දේ නාය ගිහින් තිබෙන්නේ දිරච්ච හරිය. ඒ හරිය තනිකර කොම්පෝස්ට් බවට පත්වෙලා තිබුණේ. ඒ ප්‍රදේශයේ මීතේන් වායුව ඇතිවෙමින් තියෙන්න ඇති. මේ පිළිබඳව කවුරුවත් අවධානය යොමු කරලා නැහැ.

කුණු කන්දේ බර වැඩිවීම, එය තිබූ පස් ස්තරයට තවදුරටත් එය රඳවා ගැනීමට අපහසු වීම හා මෙවැනි කුණු කඳු පිළිබඳව සෙවීමට රසායනික, භූ විද්‍යා හා ඉංජිනේරු විෂයයන්ට සම්බන්ධයෙන් විද්වතුන් ඇතුළත් ඇගැයීම් කමිටු පත් නොකිරීම මේ කුණු කන්ද නායයෑමට ප්‍රධාන හේතු ලෙස පවසන්න පුළුවන්. ඒ සමඟම කුණු කන්ද අසල වැඩිපුර හානි වූ නිවාසවල අත්තිවාරම් හුඟක් දුර්වලයි.

ඉදිරියට කළ යුත්තේ මෙවැනි කුණු කඳු දිගටම පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව ගවේෂණය කිරීමට භූ විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා ඉංජිනේරුවරුන් හා දේශපාලනඥයන් සහිත කමිටුවක් පත් කිරීමයි. ඒ සමඟම අපේ රටේ කුණු කඳු අසල මෙන්ම සාමාන්‍ය කඳු අසල ඉදිකිරීම් කරන විට ශක්තිමත් අත්තිවාරම් දැමීමත් කළ යුතුම දෙයක් බවද මහාචාර්යවරයා පවසයි.

සේයාරූ-සමන් ශ්‍රී වෙදගේ

Comments