
බළලා මැටියෙන් නිර්මාණය වුවද, මීයන් අල්ලන්නේ නම් අවුලක් නැත යන්න පැරැණි කියමනකි. අපේ රටේ ක්‍රීඩාව කරවන අය කවුරුන් වුවද ක්‍රීඩාවේ නාමයෙන් බල්ටියක් දෙකක් ගසන්නේ නම් අවුලක් නැතැයි කියන තැනට අද ලාංකේය ක්‍රීඩාව පත්ව තිබේ.
අපි වෙනස් ම ජාතියක් යැයි සිතෙන්නේ ද ඒ නිසාම විය යුතුය. අපි ඕනෑම දෙයකින් ක්ෂණිකව උදම් ඇනීමට උපන් හපන්කම් ඇති ජාතියකි. මහා පරිමාණයෙන් කයිවාරු ඇදබාන අපි කෙන්ද කන්ද කිරීමට ද මහා රුසියෝය.
සෑම ක්‍රීඩා තරගාවලියකටම කලින් මාධ්‍ය සංදර්ශණ හමුවේ මේ අපේ ක්‍රීඩාවේ සුන්දරම කාල පරිච්ඡේදය යැයිද, අසිරිමත් යුගයකට ආරම්භය යැයිද ආදී වශයෙන් ආලවට්ටම් යොදා පුන පුනා ප්‍රකාශ කිරීමට නිලධාරින් මෙන්ම අන් අයද බොහෝ සමත්ය. මෙසේ කටමත දෙඩුමේ හපනුන් වුවද මෙකී කොදෙව්වෙන් එළියේ ඇති තරගයක අවසාන ප්‍රතිඵල සටහන නිරීක්ෂණය කරනවිට අපි තවමත් ගල් යුගයටත් එහා යැයි මේ කටමැත දෙඩුවන්ට නොතේරීම තරම් අභාග්‍යයක් තවත් වෙයිදැයි සිතේ. මෙයින් ගම්‍ය වන්නේ මොවුන්ගේ අදබාලකම මිස වෙනකක් නොවේ.
ක්‍රීඩාවෙන් ඉර හඳ අල්ලන්නට වලිකෑවද තවමත් මෙරට මලල ක්‍රීඩාවට ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණය පමණි. අද එකී ක්‍රීඩාංගණය ගැන කතා කිරීමද කාලය කා දැමීමක් පමණි. පුහුණුවීමට හරිහමන් තැනක් නැතිව දකුණු ආසියාව ජයගත නොහැකිව ලතවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එතැනින් එහාට කවර කතාදැයි ඇසීමට සිදුව තිබේ.
පසුගියදා මෙරට පැවැති මලල ක්‍රීඩා පුහුණු තේරීම් තරගාවලියකදී නව ශ්‍රී ලංකා වාර්තා හයක් බිහි වු අතර එහිදී කාන්තා මීටර් 100 සහ 200 ඉසව් පහසුවෙන් ජය ගැනීමට රුමේෂිකා කුමාරි රත්නායක සමත් වූවාය. එහිදී රුමේෂිකා මීටර් 100 ඉසව්ව සඳහා තත්පර 11.92 ක් සහ මීටර් 200 ඉසව්ව සඳහා තත්පර 24.21 ක් වාර්තා කරගෙන තිබුණි.
පසුගිය සතියේ අපි ජැමෙයිකාවෙන් තවත් තරුවක් ලෙස බ්‍රියානා ලිස්ටන් හඳුන්වා දෙමින් ඇගේ දක්ෂතා පිළිබඳ සටහනක් ද තැබුවෙමු. එරට දහතුනෙන් පහළ තරගාවලියකදී දොළොස්වියැති බ්‍රියානා මීටර් 100 තත්පර 11.86 කින් සහ මීටර් 200 තත්පර 23.72 කින් නිම කර තිබුණි. දැන් ප්‍රශ්නය වන්නේ බ්‍රියානා ඉදිරියේ අප කොතැනද යන්නයි.
හැංගි හැංගි වෙස් බැන්ද ද නටන්න ඕනෑ එළියේ යැයි තවත් ප්‍රකට කියමනකි. මේ කිලෝ මීටර් හැටපන්දහස ඇතුළේ මොන සෙල්ලම් දැම්මද, නියම නැටිල්ල ඇත්තේ ජාත්‍යන්තරයේදීය. යන්න එතැන නටන්න.