මෙහෙව් රටක් | Page 2 | සිළුමිණ

මෙහෙව් රටක්

වුරුද්දත් ගෙවිලා ගියා. උදාවෙන්නේ වෙසක් මාසය. ක්‍රීඩා පිටියෙත් කිසි ගැම්මක් නෑ. පසුගිය සති දෙකක විතර කාලයේ අපේ ක්‍රීඩා පිටියත් පාලුවට ගිහින්. හැබැයි ක්‍රීඩා පිටියට පිටින් ගහන ගේම්වල නම් අඩුවක් නෑ. අධිකරණ නියෝගයකින් නැවතුණ ක්‍රිකට් තරගාවලියක් වෙන නම් ගම් එක්ක මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා.

ටොමයි - ජෙරියයි අවුරුදු පාටිවලට ගිහින් ද කොහෙදෝ පහුගිය දවස් ටිකේම දැක්කේ නෑ. ෆෝන් එකකටවත් ආන්සර් කරන්නේ නෑ. උඹ වගේම ඇති උන් දෙන්නත්, මගේ හිත පොඩි තට්ටුවක් දැම්මා. ඩබල ගැන හිත හිත ඉන්නකොටම එනවා. හැබැයි ඩබලගේ මූඩ් එක නම් සම්පූර්ණයෙන් ම අවුල් වගේ.

අපිට මේ රටේ මිනිස්සු ගැන මාර දුකයි.

මාව දැක්ක ගමන් ඩබල කිව්වා.

මට ඊට වඩා දුකයි.

මම කිව්වා නෙවෙයි, මට කියවුණා.

අපි දෙන්නා නම් කමක් නෑ කියමුකෝ, කුණු කඳුවලට යටවෙලා මිනිස්සු මැරෙන රටකනේ අපිත් ජීවත් වෙන්නේ කියන කොට අපිට ඇඬෙනවා.

අපේ රටේ මිනිස්සුන්ගේ හිත්වල කුණු කඳු මීට වඩා උසයි මචං.

ටොමා - ජෙරියා දිහා බලාගෙන කිව්වා.

ඒක නම් එහෙම තමයි මචං, දැන් බලපන් නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය කියනවා මේ ඇති ආයේ නම් නිලවරණයට ඉල්ලන්නේත් නෑ. හොඳ වැඩකට අත දෙන කට්ටිය අඩු වුණාට, කකුලෙන් අදින වැඩවලට නම් ඕනෑ තරම් කට්ටිය ඉන්නවා කියලා.

ඒක ඇත්ත මචං, මේ දවස්වල කනිෂ්ඨ ආසියානු නෙට්බෝල් තරගාවලියට අපේ ළමයි ටික නාවලපිටියේ පුහුණුවීම් කරනකොට කිසිම පහසුකමක් නෑ කියලා පුහුණුකාරිය මාධ්‍යයට කියලා තිබ්බේ. ඉතින් කොහොමද මේ ළමයි මෙතැනින් එළියට ගිහින් මැච් එකක් දිනන්නේ.

ඇයි ජෙරියෝ උඹට මතක නැද්ද ගිය අවුරුද්දේ යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේ තිබ්බ ජාතික මහා ක්‍රීඩා උළෙලේ නිමාලි මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව තියෙන කොට ඒ වාර්තාවේ පරණ අයිතිකාරිය මොන තරම් කුහකකමක් ප්‍රදර්ශනය කළාද කියලා.

මොකද ඉතින් මට මතක නැත්තේ එයා අන්තිමේට මානව හිමිකම් එකටත් ගියානේ. යාපනය තිබ්බ මීටර් 800 වාර්තාව පිළිගන්න එපා කියන්න කියලා.

ඔව්, මචං මම මේ බයේ ඉන්නේ ගයන්තිකා මේ අවුරුද්දේ තිබ්බ පළමුවැනි මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දියගම දී මීටර් 800 විනාඩි 2:02.55 කින් දුවලා තිබ්බ වාර්තාවත් පිළිගන්න එපා කියලා නිමාලිට කොක්ක ඇදපු අරයා ගයන්තිකාටත් මොකක් හරි කොක්කක් අදියි ද කියලා.

ඕවා මොනවද බං, ජාතික වොලිබෝල් සංචිතයේ ක්‍රීඩකයකුගේ බිරියගේ ජොබ් එක නැතිකරපු ලොකු ලොක්කොනේ මේ උතුම් රටේ ඉන්නේ.

මෙහේ වෙන දේවල් ෂේන් වෝන්කාරයාට ආරංචි වෙන්නේ නැති හින්දා හොඳයි. නැත්නම් මෑනුත් මුරලිට කොක්කක් අදියි, උඹ මගේ රෙකෝඩ් එක කැඩුවේ මහනුවර අස්ගිරියේදී, විකට් 800 ගත්තේ ගාල්ලේ, උබලට ඕන විදියට ග්‍රවුන්ඩ් එහෙම හදාගෙන කියලා කිව්වොත් මළ ජංජාලයයි වෙන්නේ.

Comments