තර්ජිනි ඔස්ට්‍රේලියාවට තර්ජනයක් වෙයිද? | Page 2 | සිළුමිණ

තර්ජිනි ඔස්ට්‍රේලියාවට තර්ජනයක් වෙයිද?

ප්‍රශාන්ත ඇල්පිටිය

මෑත යුගයේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ටතම දැල්පන්දු (නෙට්බෝල්) ක්‍රීඩිකාව වනුයේ තර්ජිනි ශිවලිංගම්ය. එසේ වුවත් දැල් පන්දු ක්‍රීඩා පරිපාලනය සමඟ හටගත් ගැටලු මත ඇය 2014 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වූවාය. ඊට පසුව ඇය මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැත.

එම කාලය තුළදී ඇය සිය රැකියාව කරනු ලබන සෙලාන් බැංකුව නියෝජනය කරමින් වෙළෙඳසේවා දැල්පන්දු ශූරතාවලියට සහභාගි වූවාය. එමෙන්ම සුපුරුදු පරිදි දස්කම් ද දැක්වූවාය. පසුගියදා තර්ජිනි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියාය.

මේ වන විට 34 හැවිරිදි වන තර්ජිනි මෙසේ කැන්ගරු දේශයට ගියේ මාස හයක කාලයක් සඳහාය. එම කාලය තුළදී ඇය වික්ටෝරියානු දැල්පන්දු ලීග් තරගාවලියේදී මෙල්බර්න් නුවර සිටි වෙස්ට් ෆෝල්කන්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇත. එමෙන්ම ශාන්ත ඔල්බන්ස් දැල්පන්දු සමාජයටත් ක්‍රීඩා කිරීමට නියමිතය. මීට අමතරව දැල්පන්දු ක්‍රීඩාවට අදාළව විශේෂ පුහුණුවක් ද ලැබීමට නියමිතව තිබේ.

ඔස්ට්‍රේලියාව යනු ලෝක දැල්පන්දු ශූරතා 11 ක්ම හිමිකර ගත් ජාත්‍යන්තර දැල්පන්දු ක්‍රීඩාවේ සුපිරිතම රටය. එවැනි රටක තරගාවලියකට සහභාගිවීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවකට අවස්ථාවක් ලැබීම අතිදුලබ එමෙන්ම අතිසුවිශේෂි සිදුවීමකි. එම අවස්ථාව ඇයට හිමිවූයේ හිටපු ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පුහුණුකාරිණියක වන තිලකා ජිනදාස සහ තර්ජිනිගේ කළමනාකරු වන ශිවරාජා ගෝබිනාත් ගේ මැදිහත්වීම මතය. තිලකා මේ වන විට බෲනායි රාජ්‍යයේ දැල්පන්දු ජාතික පුහුණුකාරිණියයි.

"මම මේ අවස්ථාවේදී මගේ පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස සහ කළමනාකරු වන ගෝබිනාත්ටත් මට උදව් කළ අනෙක් අයටත් ස්තූතිවන්ත වෙනවා. මේ මාස හයක කාලයෙන් පසුව මම නැවතත් මගේ මවුබිමට එනවා. ඊට පසුව ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවට උදව් කරන්න සූදානම්" තර්ජිනි පවසන්නීය.

මේ අතර මේ අතිදුලබ අවස්ථාව පිළිබඳ තර්ජිනිගේ කළමනාකරු වන ගෝබිනාත් මෙසේ සිය අදහස් දැක්වීය. "ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ලීග් දැල්පන්දු තරගවලියකට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ ප්‍රථම වරටයි. මේ වගේ අවස්ථාවන් අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ටත් උදාකර ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය සහ ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."

ඔස්ට්‍රේලියාවේ දී තර්ජිනි ක්‍රීඩා කරන්නේ නිකොල් රිචඩ්සන්ගේ අධීක්ෂණය යටතේය. නිකොල් යනු ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ක්‍රීඩිකාවකි. 1970 ජුනි මස 26 වැනිදා ඇය උපත ලැබුවාය. නිකොල් 1999 සිට 2003 දක්වා ජාත්‍යන්තරව දැල්පන්දු ක්‍රීඩා කළාය. 2002 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම හිමිකරගත් කණ්ඩායමේ සාමාජිකාවකි. එමෙන්ම ඇය 1996 අමෙරිකාවේ පැවැති ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ සැහැල්ලු පන්දු (බේස්බෝල් ක්‍රීඩාවට අදාළ තවත් ක්‍රීඩාවක්) ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම හිමිකර ගත් කණ්ඩායමටත් ක්‍රීඩා කළාය.

1983 වසරේදී යාපනයේ පුන්නාලායිකට්ටුවාන් ප්‍රදේශයේ දී තර්ජිනි උපත ලැබුවාය. ඇය නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරිනියකි. ඇගේ උස අඩි 6 අගල් 10 කි. 2004 වසරේ සිට ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරව ක්‍රීඩා කළාය. ඇය ක්‍රීඩා කළේ ගෝල් විදින්නියක් (ගෝල් ෂූටර්) ලෙසටයි.

සිය උසත් ක්‍රීඩා හැකියාවත් මනාව ප්‍රයෝජනයට ගනිමින් තර්ජිනි ගත වූ කාලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූවාය. 2009 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඇය ක්‍රීඩා කළාය. ඇගේ දක්ෂතාව කෙතරම් ද යත් 2005, 09 සහ 2012 වසරවල ආසියාවේ දක්ෂතම විදින්නිය ලෙසටත් තේරුණාය. එමෙන්ම 2011 ලෝක දැල්පන්දු ශූරතාවලියේදී දක්ෂතම විදින්නිය වූයේත් තර්ජිනිමය. එමෙන්ම ඇය ශ්‍රී ලංකා ජාතික පිලේ නායකත්වයටත් පත් වූවාය.

දැල්පන්දු ක්‍රීඩා කළ ආසියාවේ උසැතිම ක්‍රීඩිකාව ලෙසටත් ඇය සැලකෙයි. එමෙන්ම ජාත්‍යන්තරව ගත් විට දෙවැනි උසැතිම ක්‍රීඩිකාවත් තර්ජිනිය. එහි මුල් තැන ජැමෙයිකාවේ මාර්වඩේන් ඇන්ඩර්සන්ට හිමිය. ඇය අඩි 6 අඟල් 11 1/2 ක් පමණ උසැතිය.

තර්ජිනිගේ සේවය ඉදිරියේදී නැවත වතාවක් මෙරටේ දැල්පන්දු ක්‍රීඩාවට ලබා ගැනීමට අදාළ අංශ ඉදිරිපත් විය යුතුය. එය ක්‍රීඩිකාවක් වශයෙන් හෝ පුහුණුකාරිණියක් ලෙසට කළ හැකිය. සිය දායකත්වය යළිත් ලබාදීමටත් ඇය සූදානම්ය.

"මගේ මවුබිමට තරම් මම ආදරය කරන තවත් තැනක් වෙන කොහේවත් නැහැ. අද මම මෙවැනි තත්වයක සිටින්නේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වූ නිසා තමයි." ඇය වැඩිදුරටත් පැවසුවාය.

Comments