
බන්දුල ජයමාන්න
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ රනින් බැබළුණු කටාන ඒකාබද්ධ කණ්ඩායම ඊට මාස හතරකට පමණ පසු හමුවූ සිය සුපුරුදු ප්‍රතිවාදියා වන දෙබෑගම රන්තරු කණ්ඩායම පරාජය කරමින් සිළුමිණ ක්‍රීඩා අභියෝග කුසලානය දිනා ගත්තේය.
ලාංකේය වොලිබෝල් ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සම්මානයට පාත්‍ර වූ කටාන ඒකාබද්ධ කණ්ඩායමේ ජනිත සුරත් සිළුමිණ ක්‍රීඩා අභියෝග කුසලාන තරගයේදී ද දක්ෂතම ක්‍රීඩකයා වීමට සමත්වීම කැපී පෙනේ.
ජාතික සංචිතය පවා කැඳවා නේවාසික ගෘහස්ථ පුහුණුවීම් කරන කාල වකවානුවක මෙකී දෙපිලම නියෝජනය කරන ක්‍රීඩකයන් එළිමහන් තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විශේෂයෙන් වොලිබෝල් සම්මේලනය සහ ජාතික පුහුණුකරු චාල්ස් තිලකරත්න සිහිපත් කළ යුතුය.
ක්‍රීඩා පිටියේ පැවැති සියලු දුෂ්කරතා මායිම් නොකළ ජනිත සුරත්ගේ නායකත්වයෙන් යුත් කටාන ඒකාබද්ධ කණ්ඩායම සහ ගයාන් මධුසංඛගේ නායකත්වයෙන් යුත් දෙබෑගම රන්තරු කණ්ඩායම පත්තර මහ ගෙදර සිළුමිණ ක්‍රීඩා ආරාධිත වොලිබෝල් තරගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් නියාගම පැවැති දකුණු පළාත් ජාතික අවුරුදු ක්‍රීඩා උළෙල වර්ණවත් කළේය.
“ක්‍රීඩා පිටියේ තිබ්බ දුෂ්කරතා එක්ක අපි හොඳින් තරගයට අවතීර්ණ වුණා. අවසන් වරට ප්‍රතිවාදීන් එක්ක අප තරග කළේ ජනාධිපති රන් කුසලාන තරගාවලියේ. ඒ තරගය ජය ගෙන තිබුණු විශ්වාසය මේ ජයග්‍රහණයට ලොකු රුකුලක් වුණා.”
කටාන ඒකාබද්ධ කණ්ඩායමේ නායක ජනිත සුරත් පවසයි.
“ක්‍රීඩා පිටියේ තිබ්බ දුෂ්කරතා අපිට මඟහරින්න බෑ. අපි උපරිම සටනක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් හොඳට ක්‍රීඩා කළා. එහි ගෞරවය ඔවුන්ට හිමිවෙන්න ඕනෑ.”
දෙබෑගම රන්තරු කණ්ඩායමේ නායක ගයාන් මධුසංඛ පවසයි.
ජනිත සුරත් දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගනිද්දී, නිලංග සංජය දක්ෂතම පන්දු සකසන්නාට හිමි සම්මානයත්, ඩබ්. ලක්මාල් දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයාට හිමි සම්මානයත්, දිලින සුදාරක දක්ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානයත් දිනා ගත්හ.
කටාන ඒකාබද්ධ කණ්ඩායමට සිළුමිණ ක්‍රීඩා අභියෝග කුසලානය සමඟ රුපියල් හැත්තෑදහසක සහ දෙබෑගම රන්තරු කණ්ඩායමට අනුශූරතා කුසලානය සමඟ රුපියල් හැත්තෑදහසක මුදලක් හිමිවිය.












