සරල ජීවන රටාවෙන් බැහැර වීම ආහාර රටාව විකෘති වීමට හේතුවයි | සිළුමිණ

සරල ජීවන රටාවෙන් බැහැර වීම ආහාර රටාව විකෘති වීමට හේතුවයි

‘ආහාරද වසවිසද‘ සංවාද සාකච්ඡාවට ප්‍රථමයෙන් එක් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා. ඒ මහතා ප්‍රථමයෙන්ම අවධානය යොමු කර සිටියේ ආහාරවලට වසවිස එක් කිරීම සිදු කරන ක්‍රම සම්බන්ධවයි.

‘වර්තමානයේ පවතින්නේ අපේ සමාජ ක්‍රමයත් සමග සකස් වුණු ආහාර රටාවක්. විශේෂයෙන් කිව යුතුයි මේ රටාව නාගරික ප්‍රදේශයන්ට වඩා සාධාරණ බව. ආයුර්වේදයේ සඳහන් වන්නේ අප ආහාර ගත යුත්තේ කයින් මෙන්ම මනසින්ද නිරෝගී වීමට බව. ඒත් දැන් පවතින ආහාර රටාවන් ආයුර්වේදයට නම් සම්පූර්ණයෙන්ම පටහැනි බව කිව යුතුයි. ඒත් ලෝකයේ දියුණු රටවල් නම් අපේ ආයුර්වේද ක්‍රම අනුගමනය කරමින් ඔවුන්ගේ ආහාර රටාවන් සකස් කර ගනිමින් ඉන්නවා.

විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ආහාරවලට නොයෙක් අරමුණු මත ද්‍රව්‍ය එක් කිරීම් සිදු කරමින් තිබෙනවා. ඒ එක් ක්‍රම මේ අන්දමට වර්ගීකරණය කරන්න පුළුවන්.

1. වර්ණ ගැන්වීම් සඳහා

ආහාරවල ස්වාභාවිකව නොමැති ආකර්ෂණීය පෙනුමක් ලබා දීමට මේ වර්ණ ගැන්වීම් කරනවා. ඒ සඳහා එක් කරන නොයෙක් රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට හානිකර විය හැකියි. මේ වර්ණ ගැන්වීම්වල මූලික අරමුණ වැරදි දෙයක් නිවැරැදි දෙයක් ලෙස පෙන්වීමයි.

2. රසය වැඩි කිරීමට

මේ සඳහා කෘත්‍රිම රසකාරක යොදනු ලබනවා. සැබෑ නැවුම් ස්වාභාවික ආහාරවලට අමුතුවෙන් රසකාරක යෙදීම අවශ්‍ය වන්නේ නැහැ.

3. ආහාර කල් තබා ගැනීම සඳහාත් නොයෙකුත් රසායනික ද්‍රව්‍ය යෙදීම සිදු කෙරෙනවා. අප භාවිත කරන ඇතැම් ආහාර කල් තබාගන්න බැහැ. ඒත් අවාරයේ වැඩි මිලට විකිණීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් කල් තබා ගැනීමට කටයුතු කරනවා.

4. ආහාර වර්ගවල මෘදුබව නැති කිරීමට රසායනික ද්‍රව්‍ය යොදනවා. මේ ක්‍රියාව වැඩි වශයෙන් කරන්නේ හෝටල් සහ අවන්හල්වල. මස් වර්ග, මාළු වර්ග කල් ගත වී යත්ම ඒවා වියෝජනයට ලක් වීමෙන් ඒවායේ සාමාන්‍ය ස්වභාවය නැති වී මෘදු බවට පත් වෙනවා. එවැනි ආහාර ඉවත දැමිය යුතු වුවත් ඇතැම් දෙනා ආහාරවල මෘදු බව නැති කිරීමට රසායනික ද්‍රව්‍ය යොදනවා.

5. ස්වාභාවික අාහාරවලට සමාන ව්‍යාජ දේ එකතු කරනවා. උදාහරණයක් ලෙස ගම්මිරිස්වලට ගස්ලබු ඇට එක් කිරීම දැක්විය හැකියි. ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍යවලටත් මෙවැනි දේ එක් කරන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස එළබටු, දුම්මැල්ල වැනි මුල්වර්ගවලට පතෝල, වැටකොළු මුල් එකතු කරනවා. නියම ආහාරයට ආදේශක එක් කිරීම අද ඉතා ප්‍රබලව සිදු කෙරෙනවා.

මීට අමතරව ආහාර ඉදවීමට රසායනික ද්‍රව්‍ය එක් කරනු ලබනවා. මෘත ශරීර කල් තබා ගැනීමට යොදනු ලබන ෆෝමලින් ඇතැම් ආහාරවලට යොදනවා. මේ සියල්ල මිනිස් සිරුරට ඉතා හානිකරයි. ප්ලාස්ටර් ඔෆ් පැරිස් යෙදීමෙන් ඇතැම් ආහාරවල තද ගතිය ඇති කරනු ලබනවා. බදින ලද ආහාර කල් තබා ගැනීමට ප්ලාස්ටික් බෝතල් රත් වූ තෙලට යොදන බවද වාර්තා වී තිබෙනවා.

අපේ රටේ ආහාර සංස්කෘතිය ආක්‍රමණය කර තිබෙන්නේ මෙවැනි දේ තමයි. මෙසේ වීමට හේතුව අපේ ජන සමාජය අතිධාවනකාරී ආර්ථික සමාජ රටාවකට හුරු වීම.

ජාන වෙනස් කිරීමේ තාක්ෂණය මගින් අපේක්ෂා කළේ වඩාත් වැඩි කාර්යක්ෂමතාවකින් යුක්තව ඵලදාව ලබා ගැනීමයි. එහෙත් එය වැඩි අස්වැන්නක් ලබා ගැනීම සහ වැඩි ලාභයක් ලබා ගැනීම දක්වා විතැන් වෙලා තියෙනවා. පෙර ස්වාභාවික නිෂ්පාදනය හා සමානම නිෂ්පාදනයක් අපේක්ෂා කළත් පසුකාලීනව විකෘති නිෂ්පාදනයන් ලැබීමෙන් පසු ජාන වෙනස් කළ ආහාර ශරීරයට අහිතකර ලෙස ප්‍රකාශයට පත් වී තිබෙනවා.

මේ සියල්ලෙන් අප අවබෝධ කර ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි හැකිතාක් සොබාදහමට අනුකූලව ජීවත් විය යුතු බව. සොබාදහමේ නීති රීතී උල්ලංඝනය කළොත් අපහසුතාවට පත් වන්නේ මිනිසාමයි. ඒ වගේම තමයි සරල ජීවන රටාවෙන් බැහැර වීම. මේ කරුණු සියල්ල මත පදනම්ව අපේ ජනතාව අද පෝෂ්‍යදායී ආහාර වෙනුවට වසවිස අහාරයට ගනිමින් සිටිනවා.

මේ වාතාවරණය තව දුරටත් පවතින්නේ නම් එහි ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ රෝගී අනාගත පරපුරක් බිහිවීමයි. එබැවින් මේ තත්ත්වයෙන් අත්මිදෙන්නට ජනතාව දැනුම්වත් කළ යුතු වෙනවා. ‘

ලබන සතියේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව නිවැරැදි ආහාර රටාවක් සකසා ගන්නේ කෙසේද?

Comments