
තාක්ෂණික දියුණුව සමග මිනිසා ඉතා වේගයෙන් අමතක කරන දෙයක් නම් ඒ ස්වාභාවික පරිසරයයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට ස්වාභාවික පරිසරය බරපතළ තර්ජනයන්ට ලක්ව සිටින බව නොරහසකි. තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන අතරම ඒ කෙරෙහි ලබා දෙන අවධානයට කිසිසේත් නොඅඩු අවධානයක් පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි ලබා දිය යුතුමය.
පෘථිවි ගෝලයේ පෙණහලු ලෙසින් සැලකිය හැකි අප්‍රිකාවේ කොංගෝ වනාන්තරයත්, බ්‍රසීලය සහ වෙනිසියුලාව අාශ්‍රිත ඇමේසන් වනයත් දැඩි මිනිස් ග්‍රහණයට හසුව තිබේ. කිලෝමීටර් 7000කට ආසන්න දිගින් යුත් අැමේසන් නදිය වසා පැතිර ඇති මහා ඇමේසන් වනාන්තරයේ දිනකට හෙක්ටයාර දහයකට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙළි වන බව වාර්තා වී තිබේ. ඇමේසන් වානාන්තරයට පමණක් නොව ලෝකයේ දිගම ඟඟ වන ඇමේසන් නදියටද මේ නිසා තර්ජන එල්ල වී තිබේ. ආර්ජන්ටිනාවේ මහා අයිස් කඳු දියවීම, අමෙරිකාවේ ප්‍රාන්තයක් වන ඇලස්කාව ද විවිධ පර්යේෂණ හා ගවේෂණ කටයුතු සඳහා යොදා ගැනීම නිසාද එහි පරිසරයට හානි එල්ල වී ඇත. ඇමෙරිකාවේ මිසිසිපි ගඟ, කොරියාව, බුරුමය හරහා ගලා යන කිලෝමීටර් 4000කට වඩා දිගින් යුත් මීකොං ගඟ, ඕස්ට්‍රේලියාවේ මරේඩාලිං, චීනයේ හ්වැංහෝ ගඟ, රුසියාවේ වොල්ගා ගඟ, ඉන්දියාවේ ගංගා, බ්‍රහ්මපුත්‍ර වැනි ගංගා, බ්‍රිතාන්‍යයේ තේම්ස් ගඟ, ප්‍රංසයේ සේන් වැනි ලෝකයේ ප්‍රධාන ගංගා 200ක රිද්මය මේ සියවස අවසාන වන විට වෙනස් වනු ඇතැයි විද්‍යාඥයෝ බිය පළ කරති.
උතුරු සහ දකුණු අර්ධගෝලවල අයිස් කඳු දියවීමත් සමගම ලෝකයේ ප්‍රධාන ගංගාවන්වල ජලමට්ටම ඉහළ යෑමත් මේ නිසා මුහුදු ජල මට්ටම ඉහළ යෑමත් නිසා මාලදිවයින්, සීශෙල්ස්, අන්දමන් - නිකොබාර්, පුකට්, කෝර්සිකා, මුරුසිය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආදී ප්‍රධාන පෙළේ දූපත් විසි දහසකට පමණ තර්ජන එල්ල වී තිබේ. මේ අතරින් ඇතැම් දූපත් ලෝක සිතියමෙන් අතුරුදන් වීමේ අවදානමක්ද පවතී. මුහුදු ජල මට්ටම ඉහළ යෑමත් ගෝලීය උණුසුම වැඩිවීමත් නිසා ඇති වන දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵල යටතේ ගංවතුර නියං තත්ත්වය මෙන්ම කෘෂිකර්මාන්තයද බිඳ වැටීම වැනි විපත්වලට මිනිසාට නිතර මුහුණ දීමට සිදුවනු ඇතැයි මත පළ වී තිබේ. දැනටමත් ස්වාභාවික සංසිද්ධීන්හි බලපෑම හේතුවෙන් කෘෂිකර්මයට බාධක පැමිණීමේ සංසිද්ධීන් අපේ රට තුළ ක්‍රියාත්මක වනු දැකගැනීමට හැකිය. මේ සංසිද්ධීන් නිසා වගා නොකර අතහැර දමන ඉඩම් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන අතර, ලැබෙන අස්වැන්නද ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.
යාපනය සහ කොළඹ ප්‍රදේශය මේ සියවන අවසාන වන විට මුහුදු ජලයෙන් යට වීමේ අවධානමක් පවතින අතර මේ වන විටත් කළුතර ප්‍රදේශයේ පහත් බිම් මුහුදු ජලය ගලා ඒමේ අර්බුදයකට මුහුණ පා තිබේ.
මේ පාරිසරික වෙනස් වීම් නිසා ඇතිවන ස්වාභාවික වෙනස්වීම්වලින් ලෝකයේ කිසිදු රටකට ගැලවීමට නොහැකිය. මේ සියවස අමිහිරි සියවසක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
මිනිස් ක්‍රියාකාරකම් ආපසු හැරවීමේ දැවැන්ත ක්‍රියාමාර්ග මිනිසා විසින් ගනු නොගන්නේ නම් පෘථිවිය විනාශයට යෑම වළක්වාලිය නොහැකි වනු ඇත. මේ වන විටත් ඇතැම් රටවල් පරිසරය සුරැකීමට යම් යම් විධිවිධාන පනවමින් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියද ඒ ප්‍රමාණවත් නොවන බවද පැවසිය යුතුය.
කළ යුත්තේ තමන් සතු දේ විනාශ වූ පසු ආරක්ෂා කිරීමට ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කිරීම නොව විනාශ වී යෑමට පෙර ආරක්ෂා කර ගැනීම බව කිය යුතුය.