
මිනිසාට මෙන්ම තවත් සත්ත්ව විශේෂ ගණනාවකට ජීව විද්‍යාත්මක වශයෙන් සම්බන්ධතා ඇති මුතුන් මිත්තකුගේ පොසිලයක් චීනයෙන් සොයාගැනේ. මේ පොසිලය අනුව එකී ජීවියා ජීවත් වී තිබෙන්නේ මෙයට වසර මිලියන 540කට පමණ පෙරදීය. ස්වාභාවික පරිසරය තුළ ඉතා හොඳින් සංරක්ෂණය වී පැවැති එම පොසිලය අනුව ජීවියාගේ ස්වරූපය සහ තවත් බොහෝ කාරණා හෙළි කරගන්නට විද්‍යාඥයන්ට පිරිසකට හැකි වී තිබේ. නව පොසිලය ගැන කරුණු අනාවරණය කරන්නේ එක්සත් රාජධානි, ජර්මානු සහ චීන පර්යේෂකයන් පිරිසකි.
ජීවියා නම් කර තිබෙන්නේ සාර්කෝෆයිටස් (Saccorphytus) යන නමිනි. පියවි ඇසින් මේ ජීවියා දෙස බැලුවහොත් එක්වරම හැඟෙන්නේ කළු පැහැති ඉතා කුඩා වැලි කැටයක් යැයි කියාය. එනිසා සාර්කොෆයිටස් ප්‍රමාණය අනුව අන්වික්ෂිය ජීවියෙකි. එනම් අන්වීක්ෂයකින් හැර පියවි ඇසින් හරිහැටි දැක බලාගන්නට බැරි තරමට කුඩා ජීවියකු බවය. ජීවියාගේ දේහය කවර කවර අභ්‍යන්තර ඉන්ද්‍රීයවලින් යුක්ත වී දැයි කියා කියන්නට තවමත් විද්‍යාඥයන් සමත්ව නැත. ඉතා තුනී සමක්, මුඛය යැයි කියා හඳුනාගත හැකි විවරයක් සාර්කොෆයිටස්ට තිබුණු බව විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත. ජීවියාට සමමිතික දේහයක් තිබුණු බවත් පැවැසේ. සාර්කොෆයිටස් මුහුදු පත්ලේ වැලි සහ බොරලු වැනි පාෂාණ කොටස් අතර ජීවත් වන්නට ඇතැයි කියා මතයක් පළව තිබේ.
නව ජීවි විශේෂය ගැන ගැඹුරින් සහ පෘථුල ලෙස කරුණු අනාවරණය කරගත් පසු ජීවි පරිණාමය ගැන තවත් අලුත් තොරතුරු විවරණය වනු ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.