
උදෑසන ආහාරවේල, ලොව බොහෝ දෙනකුට වැරදී යන කෑම වේලක් හැටියට හඳුන්වන්නට පුළුවන. එසේ වන්නේ උදේට ගෙදරදොර වැඩත් කරගෙන රැකිරක්ෂාදිය සඳහා පිටත් වීමේදීය. මේ නිසා සමහරුන්ට උදෑසන ආහාරය ලෙස ගන්නට සිදුව තිබෙන්නේ අතට හසුවන කිසිවක් මිස පෝෂ්‍යය ගුණයෙන් යුත් නිසි කෑමවේලක් නොවේ. අමෙරිකා හෘදය රෝග සංගමය මෙන්ම බ්‍රිතාන්‍යය හෘදය රෝග සංගමයත් අවධාරණය කරන්නේ උදෑසන ආහාරවේල මඟ හැරීම ලෙඩ රෝග රැසකට හේතුවක් බවය.
උදෑසන ආහාරවේල හරිහැටි නොගැනීම හෝ උදෑසන ආහාරවේල මුළුමනින්ම මඟ හැරීම නිසා හෘදය රෝග සහ දියවැඩියාව ඇතිවන්නට ඉඩ තිබෙන බව යට කී සංගම් පෙන්වා දෙයි. එමෙන්ම මෙන්ම ස්ථුලතාව ඇතිවන්නටත් එය හේතුවක් බව එම සංගම්වල විද්වත්හු සනාථ කරති. මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්ද උදෑසන ආහාරවේල සම්බන්ධයෙන් වැදගත් පර්යේෂණයක් කර තිබේ. ඔවුන් තහවුරු කරගෙන තිබෙන්නේ උදෑසන ආහාරවේල හරිහැටියට ගන්න අයට දවස පුරා “අරවා - මේවා” කමින්, බොමින් අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ශරීරගත කරගන්නට අවශ්‍ය නැති බවකි. එයට හේතුව සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් උදෑසනට ගත් විට දවස පුරා දහනය වන්නට අවශ්‍ය කැලරි ප්‍රමාණය එයින් ශරීරයට ලැබීමය. විද්වතුන් දක්වන ආකාරයට දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 15%ත් 25%ත් අතර ප්‍රමාණයක් මිනිසා ලබා ගත යුතු වන්නේ උදෑසන ආහාරයෙනි. ගැහැනියක 300ත් 500ත් අතර කැලරි ප්‍රමාණයක් උදෑසන ආහාරයෙන් ලබාගත යුතු බව පැවසේ. පිරිමියකු සඳහා නම් ඒ ප්‍රමාණය කැලරි 375ත් 625ත් අතර බව තහවුරුව ඇත.
උදෑසන ආහාරය පිණිස ගත යුත්තේ කවර කෑමද යන්න විද්‍යාඥයන් නම නියම කර නැත. එහෙත් තන්තු, කැල්සියම්, පොටෑසියම්, සහ විටමින් “ඩී” යන පෝෂක කොටස් අනිවාර්යයෙන්ම එහි අඩංගු විය යුතු බව නම් ඔවුහු පවසති.