ගස් ගෙඩි කඩන කෙක්ක නවීකරණය කළ ලිතිල්ට තායිලන්තයෙන් සම්මාන | Page 2 | සිළුමිණ

ගස් ගෙඩි කඩන කෙක්ක නවීකරණය කළ ලිතිල්ට තායිලන්තයෙන් සම්මාන

ලිතිල් ජයමහ සිසුවා නිර්මාණය කළ ගෙඩි කඩන කෙක්ක

ලෝකයට නව නිර්මාණ ඉදිරිපත් කළ මහා විද්‍යාඥයන් ඒ සියලු දේ සොයා ගත්තේ තමා අවට පරිසරයේ සිදු වන සංසිද්ධීන් දෙස අපුර්ව හා නිර්මාණශීලී ඇසින් බැලීම නිසාය. ශ්‍රීමත් අයිසැක් නිව්ටන් හට ගුරුත්වාකර්ෂණ බලය සොයා ගැනීමට හැකි වුයේ ගසකින් ගිලිහුණු ගෙඩියක් අවකාශයේ නොරැඳී බිම පතිත වූයේ මන්ද යන්න පිළිබදව විමසිලි ඇසින් බැලූ නිසාය.

අපගේ මේ කතාවේ එන කතා නායකයාද එලෙස අවට පරිසරයේ අත්දැකීම් ආශ්‍රයෙන් නව නිර්මාණ දෙකක් හඳුන්වා දෙමින් එයින් අන්තර්ජාතික ඇගයීමට පවා ලක් වූ පුංචි වීරයෙකි. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු, නමින් ජේ.එම්. ලිතිල් රමුදිත බණ්ඩාර ජයමහ ය.

මේ පුංචි හපනාගේ එක් නව නිර්මාණයක් වූයේ නවීකරණය කරන ලද ගෙඩි කඩන කෙක්කය. එයට ශ්‍රී ලංකාවේ නව නිමැවුම් කොමිසම මගින් සංවිධානය කළ 2016 වසරේ සහසක් නිමැවුම් තරගාවලියේ ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය කාණ්ඩයේ පාසල් අංශයේ රන් පදක්කම හිමි විය. එම ජයග්‍රහණය නිසා ඔහුට තම නිර්මාණය සමග තායිලන්තයේ බැංකොක් නුවර 2017 පෙබරවාරි 02-06 දක්වා පැවති අන්තර්ජාතික නව නිපැයුම් තරගයට සහභාගී වීමට අවස්ථාව හිමිවූ අතර එහිදී ඔහු එහි අට වන කාණ්ඩයේ රිදී පදක්කම දිනාගැනීම ඔහු පමණක් ශ්‍රී ලංකාවද ලද ජයග්‍රහණයක් විය.

මේ නවීකරණය කරන ලද ගෙඩි කඩන කෙක්ක නිර්මාණය කර ඇත්තේ අගට කතුරක් සවි කළ කේබලයක් පී.වී.සී. බටයක් මැදින් යැවීම මගිනි. කෙක්කේ මුලට සවි කර ඇති ලීවරය තද කිරීම මගින් කතුරේ තල දෙක යා වී ගෙඩියේ නැටුව කැපීම මගින් පොකුරක ඇති තමාට අවශ්‍ය ගෙඩිය පමණක් නෙළාගැනීමට හැකි වීම මෙහි විශේෂත්වයයි. කෙක්කේ මුලට ඩිජිටල් මොනිටරයක් සවි කිරීම මගින් ගෙඩිය හොදින් දර්ශනය කර ගැනීමට හැකි වන නිසා පොකුරක ගෙඩි ගණනාවක් අතරින් තමන්ට අවශ්‍ය ගෙඩිය ඉතා පහසුවෙන් නෙළාගත හැකි වන බව ජයමහ සිසුවා පවසයි. මේ කෙක්ක අවශ්‍ය පරිදි දිග අඩු වැඩි කරගත හැකිය.

මේ ජයග්‍රහණ හා එවැනි නිර්මාණයක් ඉදිරිපත් කිරීමට යොමු වූ ආකාරය පිළිබඳව අප සමග අදහස් දැක්වූ ජයමහ සිසුවා මෙසේ පැවසීය.

‘ඇත්තෙන්ම රටවල් ගණනාවක තරගකරුවන් අතරින් මට රිදී පදක්කම දිනාගැනීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි. එහිදී මටත් වඩා කියවුණේ අපේ රටේ නම. ඒ ගැන මට හරිම ආඩම්බරයි. පුංචි කාලේ ඉඳල මම අපේ ආත්තම්මල ගමේ අය නිතර කෙකි බැදලා ගෙඩි කඩනවා දැකල තියෙනවා. ඒ හැම වෙලාවේදීම වගේ මම දැක්කෙ ඉදුණ හෝ පැහුණ ගෙඩිය කඩන්න ගිහිල්ල පොකුරම කඩලා බිම දානවා. ඉතින් මම ඒ හැම වෙලාවෙම හිතුවා මේක හරිම අරාධයක් කියලා. ඒ නිසාම තමයි මම මේ කෙක්ක හදන්න පෙළඹුණේ. ගොඩනැගිලිවල උස ස්ථානවල මකුළු දැල් කඩන යන්ත්‍ර දැකල තමයි මට කෙක්ක මේ විදිහට හදන්න හිතුණේ.‘

එසේම ඔහුගේ අනෙක් නව නිමැවුමද තමා අවට පරිසරයේ අත්දැකීම් ඇසුරෙන් බිහි කළ අපුර්ව නිර්මාණයකි. ‘මානය හා දර්ශකය සහිත පුනීලය‘ එම උපකරණයි. මෙහිදී පිටතට නොපෙනෙන හෙවත් පාරදෘශ්‍ය නොවන භාජනයකට ද්‍රාවණයක් පිරවීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය සලකුණු කළ පසු එම ප්‍රමාණය පිරී එහි පොරොප්පය සිරවීම එහි ක්‍රියාකාරිත්වයයි. මෙමගින් අපගේ එදිනෙදා ජීවිතයේ සිදු වන බොහෝ අපතේ යෑම් වළකාගත හැකි බව ලිතිල් කියයි.

මෙම නිර්මාණය සදහද 2016 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මගින් පැවැත්වූ පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගයේ 8 - 9 වසර සඳහා වූ කාණ්ඩයේ රන් පදක්කම ජයමහ සිසුවා විසින් දිනාගෙන ඇත.

මේ ජයග්‍රහණ පිළිබඳ සතුටු වන ලිතිල් බණ්ඩාර ජයමහ සිසුවා ඔහු අධ්‍යාපනය ලබන කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඊ.ඒ.ටී.කේ. එදිරිසිංහ හා රුවන්සිරි ගුරුතුමියන් වෙතින් ලද මගපෙන්වීම ආදරයෙන් සිහිපත් කරන අතර ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා අැතුළු සැමගෙන් ලද අනුග්‍රහය හා කැපවීම බෙහෙවින් අගය කරයි. එසේම මේ සැම කටයුත්තකදීම තමා ආදරයෙන් දිරිමත් කරන මව මනෝරි ගුණතිලක හා පියා වන කර්නල් සංඛ ජයමහ දෙදෙනාද සිහි කරන්නේ හද පිරි සෙනෙහසිනි.

මේ පුංචි නව නිපැයුම්කරුවාට අනාගතයේ තව තවත් නව නිර්මාණ ඉදිරිපත් කරමින් උපන් රටට කීර්තිය ගෙන දීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

Comments

පිටු