අලුත් අවු­රුදු උරු­මය මතු පර­පු­රට දායාද කරන්නේ කාන්තා­වයි | Page 5 | සිළුමිණ

අලුත් අවු­රුදු උරු­මය මතු පර­පු­රට දායාද කරන්නේ කාන්තා­වයි

 සිංහල අවුරුද්දේ වටිනාකම ඔබ දකින්නේ කවරාකාරයන් ද?

අලුත් අවුරුද්ද කියන්නේ අපේ ප්‍රධාන ජාතික උත්සවය. සිංහල අලුත් අවුරුද්ද කීවාට මෙය හින්දු භක්තිකයන් ද උත්සවාකාරයෙන් සමරනවා. බක් මාසය යනු භාග්‍යවන්ත මාසයක්. වසරක් පුරා වෙහෙස වෙලා ගොවිතැන් බත් කළ ගොවීන් අස්වනු නෙළා ගෙට ගෙන එහි පළමු කොටස නව වසරේ උදා වන සුබ නැකැතින් උයා පිහා බුදුන්ට දෙවියන්ට පුදා සුබ නැකතින් ආහාරයට ගන්නා සෞභාග්‍යවත් උත්සවයක්. වෙනත් රැකියාවල යෙදෙන අයත් වසරක් පුරා වෙහෙස වී හරිහම්බ කරගත් දෙයින් කොටසක් අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉතිරි කරගෙන ජයට අවුරුද්ද සමරන්න සූදානම් වෙන කාලයක්.

අලුත් අවුරුද්දේ සිරිය වඩන්නට මූලික වන්නේ ගෙදරක බිරිය, නැත්නම් අම්මා. ගේ දොර පිරිසුදු කිරීමේ පටන් නෑගම් යෑම හෝ රැකියාවලට පිටත්ව යෑමේ චාරිත්‍රය දක්වා වූ කුදුමහත් සෑම කටයුත්තකදීම නිවෙසේ ගෘහිණියට, නැතිනම් අම්මාට මුල් තැනක් හිමි වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්ද යනු කාන්තාවට මුල් තැනක් හිමි වන ප්‍රධාන උත්සවයක් ලෙස මා දකිනවා.

 එහිදී කාන්තාව හෝ ගෘහිණිය සතු කාර්යභාරය කුමක් ද?

අලුත් අවුරුද්දට ගේදොර පවිත්‍ර කිරීමේ පටන් අවසානය දක්වාම තම පවුලේ සැම දෙනාගේම දායකත්වය ඒ කටයුතු සඳහා ලබාගන්නට කාන්තාව මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුයි. සිංහල අලුත් අවුරුද්ද යනු අපේ ජාතික හා සංස්කෘතික අනන්‍යතාව රැකගෙන ඉදිරියට ගෙන යා හැකි ප්‍රධාන උත්සවයයි. පවුලක අම්මා මේ සිරිත් විරිත් රැකගන්න හා ඒවා පිළිපදින්න විශේෂයෙන් උනන්දු විය යුතුයි. අවුරුදු සිරිත් විරිත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් යැයි මා සිතනවා. අම්මා හෝ ගෘහිණිය මේ සිරිත් විරිත් පිළිපැද්දොත් පමණයි දරුවන් ඒවා දැන හැඳිනගන්නේ. දරුවන් සිරිත් විරිත් රකින්න පුරුදු පුහුණු වන්නේ. අපේ අම්මලාගෙන් අපි ඉගෙනගත් දේ තමයි අපි මේ කරගෙන යන්නේ. සිරිත් විරිත් ඉදිරි පරම්පරාවට රැකෙන්නේ ඒවා ප්‍රායෝගිකව කරගෙන ඒමෙන් පමණයි. මේ සිරිත් විරිත් පවුලක හැදියාවට සුබසිද්ධියට මෙන්ම අපේ සංස්කෘතිය අනාගතය කරා රැගෙන යන්නට ද උපකාරවත් වෙනවා. අලුත් අවුරුද්දේ වැඩි වගකීම පැටවෙන්නේ කාන්තාවට බව මා කීවේ ඒ නිසයි.

 අලුත් අවුරුද්ද ගෘහිණියට, බිරියට ලොකු බරක්. වැඩ වැඩි කාලයක්. වත්මන් කාර්යබහුල සමාජයේ කාන්තාවන්ට අතීතයේ මෙන් අවුරුදු සමරන්න විශාල කලක් වේලාවක් කැප කරන්න බැරි බව ඇතැමුන්ගේ මතයයි. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

අලුත් අවුරුද්ද හදිසියේ එළැඹෙන උත්සවයක් නොවෙයි. හැම අවුරුද්දේම නිශ්චිත දිනයක් ඊට තිබෙනවා. උපන් දා පටන් අපි අලුත් අවුරුදු අත්දැකීම විඳ තිබෙනවා. වසරකට වරක් එළැඹෙන මේ ජාතික උත්සවය නැණවත් ගෘහිණියකට හෝ බිරියකට කිසිසේත්ම බරක් විය යුතු නෑ. සිංහල අවුරුද්ද සඳහා කඩිමුඩියේ සූදානම් වෙනවාට වඩා මුළු වසර පුරා ක්‍රමානුකූලව සූදානම් වන්න නැණවත් ගෘහිණියකට පුළුවන්. අවුරුදු කාලෙට අමතර වියදම් වැඩි බව කවුරුත් දන්නවා. ඒ නිසාම වසර අගදී ලැබෙන උත්සව දීමනා වැනි මුදලකින් කොටසක් අලුත් අවුරුද්ද සඳහාත් ඉතිරි කරගන්න පුළුවන්. මාසික වැටුපෙන් හෝ අතිකාල දීමනා වැනි අමතර ආදායමකින් ලැබෙන මුදලකින් ටික ටික ඉතුරු කරගන්න පුළුවන්. ගෘහිණියක් නම් අමතර ආදායමක් ලැබෙන යමක් නිවෙසේදීම සකස් කරලා අලෙවි කරන්න පුළුවන්. සැමියාගේ ආදායම මතම යැපෙන්නට සූදානම් නොවී තමන්ට හැකි ක්‍රමයකට අමතර ආදායමක් උපයන්නට ගෘහිණියන් උනන්දු වනවා නම් අවුරුදු සමරන්න මහා ලොකු වියදමක් දරන්න සිදු වන්නේ නෑ.කාලය කලමණාකරනය කරගැනීමෙන් වැඩි වැඩට ඉඩ හදාගන්න පුළුවන්.

දිනපතා ගේදොර පිරිසුදුව පිළිවෙළකට තබා ගන්නා කාන්තාවකට අවුරුද්දට කියා අමුතුවෙන්ම ගේදොර පිරිසුදු කරන්න සිදු වන්නේ නෑ. හැම අවුරුද්දටම ගේදොර අලුත්වැඩියා කර තීන්ත ගාන්නට අවශ්‍ය වන්නේ නැ. ගේ දොර නිරතුරුව පිරිසුදුව තබාගත් විට නිරායාසයෙන්ම අලුත් පෙනුම රැකගන්නට පුළුවන්. මෙහිදී ගෘහිණියගේ කාර්යභාරය ඉතාම වැදගත් වන්නේ ඇය ගේදොර පිරිසුදුව තබාගන්නා විට සැමියා මෙන්ම දරුවන් ද ඉබේටම පිරිසුදුව පිළිවෙළට ඉන්න හා කටයුතු කරන්න පෙලඹෙන නිසයි.

එලෙස කටයුතු කළ විට අලුත් අවුරුද්ද වෙනුවෙන් රටට ණය වීමට, කනකර උකස් කිරීමට හෝ පොලියට මුදල් ගෙන අවුරුදු කන්න අවශ්‍ය වන්නේ නෑ. උපයන තරමට වියදම් කිරීමෙනුත් අරපිරිමැස්මෙන් කටයුතු කිරීමෙනුත් අවුරුද්ද හිතට මෙන්ම ගතටත් බරක් කරගන්නේ නැතිව සතුටින් අවුරුදු කන්න පුළුවන්.

වත්මන් ගෘහිණියන් බොහෝ දෙනකු අලුත් අවුරුද්දට කැවුම් කොකිස් වැනි කැවිලි පෙවිලි ගෙදර හදන්නේ නෑ. හැමදේම වෙළෙඳපොළෙන් මිල දී ගන්න හුරු වී තිබෙනවා. එයින් කාලයත් ශ්‍රමයත් ඉතිරි වන බවයි බොහෝ දෙනාගේ අදහස?

මෙය බොහොම නරක ආදර්ශයක් ලෙසයි මා දකින්නේ. රැකියාවක් කරන කාන්තාවකට වුණත් අවුරුදු කාලෙට වැඩියෙන් නිවාඩු ලැබෙනවා. වසරකට වරක් එළැඹෙණ මේ සුබ දවසටවත් ගෙදර තෙල් තාච්චියක් ළිපේ තියලා අඩුම ගානේ කොකිස් ටිකක්වත් බැදගන්නවානම් හොඳයි. අවුරුදු කාලේ වෙනස ඒකයි. හැම ගෙදරකින්ම කැවුම් කොකිස් බැදෙන තෙල් සුවඳ අවට හමා යන විටත් ලොකු සතුටක් හිතට දැනෙනවා. ඒකාකාරීව ගෙවුණු ජීවිතේට පොඩි වෙනසක් එකතු වෙනවා.

අවුරුදු කෑම මේසෙට තියන්න, නැකැත් වෙලාවට පවුලේ සාමාජිකයන්ටවත් බෙදා හදාගෙන කන්න කිරිබතක් උයාගන්නට හැම ගෘහිණියක්ම, බිරියක්ම උත්සාහ කළ යුතුයි. හැමදාම කන බත් වේලට වඩා අමුතු රසයක්, සතුටක්. එකමුතු බවක් එයින් ලැබෙනවා. හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දූවරුන්ට මේ සිරිත් විරිත් පුරුදු පුහුණු කරන්න ඕනෑ හරියට කිරිබතක් උයාගන්න, බෙරි නොවී බතක් උයාගන්න දූවරුන්ට උගන්වන්න ඕනෑ.

බොහෝ දෙනෙක් අවුරුදු කිරිබතේ පදම වරද්දා ගන්නේ නැකැත් වේලාව ගැන නොසිතා පමණට වැඩි සහල් ප්‍රමාණයකින් ලොකුවට කිරිබත් උයන්න උත්සාහ කරන නිසයි. ළිප ගිනි මොළවන නැකතත් ආහාර ගන්නට තිබෙන නැකතත් අතර කාල සීමාව අතරතුර උයාගන්න පුළුවන් තරමට සහල් ප්‍රමාණයක් ඒ සඳහා යොදා ගත යුතුයි. පවුලේ සාමාජිකයන්ට නැකැත් වෙලාවට බෙදාගෙන කන්නට ඇති තරම් ප්‍රමාණයක් උයාගන්න උත්සාහ කළ යුතුයි.

කැවුම් කොකිස් ආස්මී වගේම කේක් වර්ගත් වෙළෙඳපොළෙන් මිල දී ගන්න හැකි බව සැබෑවක්. ඒත් ඒවායෙහි රසය හා තත්ත්වය ගෙදර හදන කෑමක තරම් නොවන්න පුළුවන්. තනිවම කැවිලි හදාගන්නට අපහසු නම් කිහිප දෙනකු එක්වී ඒවා හදාගෙන බෙදාගන්න පුළුවන්. ඉස්සර කාලෙ අපේ ආච්චිලා, අම්මලා කටයුතු කළේ එහෙමයි. බෙදාහදාගෙන සහයෝගයෙන්. අවුරුද්දේ නියම අරුත එයි.

අවුරුදු නිවාඩුවට පවුලේ හැමෝම එකතු වෙලා හොඳ හෝටලයක කෑමට යෑම නැතිනම් විනෝද චාරිකාවක යෙදීමත් අද කාලේ ඇතැමුන්ගේ සිරිතක් වෙලා. මේ ගැන ඔබගේ අදහස කුමක් ද?

එය නොකළ යුතු දෙයක්. අවුරුදු දවසට ගෙවල් දොරවල් වහලා දාලා විනෝද සවාරිවල යෙදීම සිංහල බෞද්ධ අපට ගැළපෙන සිරිතක් නොවෙයි. ඒ කාලෙට ලොකු නිවාඩුවක් ලැබෙන බව සැබෑවක්. ඒත් සිංහල සිරිත් විරිත්වලට මුල් තැනක් දීලා ඒවා ක්‍රියාත්මක කරන්න තිබෙන එකම අවස්ථාව මඟ හැර නිවෙසින් බැහැර වීම නුසුදුසුයි. ලෙඩක් දුකක් නැතිනම් විවේක කාලය කිසිවක් නොකර විවේකයෙන්ම ගත කරනවාට වඩා කාන්තාවක් තම පවුලේ සාමාජිකයන්ගේ සතුට හා රසය වෙනුවෙන් කැප වෙලා කටයුතු කිරීමෙන් ලබන ප්‍රීතිය ඉන් ලැබෙන වෙහෙසට වඩා සිතට තෘප්තියක් ගෙන දෙන බවයි මගේ අදහස.

 අලුත් අවුරුද්දේ නෑගම් යෑම, බුලත් දීම, තෑගි හුවමාරුව වැනි දේ ගැනත් වැඩි දෙනෙක් දැන් සලකන්නේ නෑ.

අලුත් අවුරුද්දේ මූලික අර්ථය තරහා මරහා අමතක කිරීමයි. තමන් අතින් යම් වරදක් වූවා නම් සමාව අයැදීම, මෙන්ම සමාව දීමත්, දීර්ඝායුෂ පැතීමත් බුලත් දීමෙන් අදහස් කෙරෙනවා. අද කාලේ හැමෝටම නිතර නිතර නෑගම් යන්න කාල වෙලාවක් නෑ. අවුරුදු කාලෙට වත් අඩු ගානේ අවුරුද්දකට වරක්වත් දුර බැහැර සිටින නෑ හිතමිතුරන් දැක බලාගන්න යා හැකිනම් හොඳයි. එයින් හිත මිතුරුදම් අලුත් වෙනවා. සිතට ගතට සතුටක් දැනෙනවා.

තෑගි බෝග දීමෙන් අන්‍යයන් සතුටට පත් වෙනවා. ඒත් කිසිම අර්ථයක් නැති පලක් ගන්න නොහැකි යමක් තෑගි කිරීමෙන් සිදු වන්නේ තිබුණු හොඳ හිතත් නැති වීමයි. එහෙයින් යමකුට තෑග්ගක් දෙන විට ඒ ඒ පුද්ගලයාට ගැළපෙන, ඔවුන්ට ප්‍රයෝජනවත් යමක් තෑගි දීම වැදගත්. අවුරුදු කාලෙට හැම නිවෙසකම පැණි රස කැවිලි පෙවිලි තිබෙනවා. එහෙයින් නෑගම් යන විට ඔබත් කේක් බිස්කට් හෝ පැණි රස කැවිලි වෙනුවට ගෙදරට ප්‍රයෝජනවත් දෙයක් ගෙන යෑමට හුරු වන්න. අවුරුද්දට තෑගි දෙන විට ඇඳුමක්ම දෙන්නට අවශ්‍ය යැයි නීතියක් ඇත්තේ නෑ. ගෙදරට අවශ්‍ය භාණ්ඩයක්, අලංකාර පීරිස් කෝප්ප සෙට් එකක්, ජෝගුවක් වැනි දෙයක් හෝ මල් වවන කෙනකුට නම් වටිනා මල් පැළයක් වැනි දෙයක් වුණත් හොඳ තෑග්ගක් වේවි. දෙන්නන් වාලේ තෑගි දෙනවාට වඩා අතේ ඇති මුදලට සරිලන, ලබන්නාට වැඩි සතුටක් ගෙන දෙන සුළු දෙයක් හෝ තෑගි දීමයි වඩා වටින්නේ. තෑග්ගෙහි මිලට වඩා ඒ හා සබැඳුණු සිතිවිලි හා හැඟීම් ලබන්නාගේ සිත වඩාත් සතුටට පත් කරන බව හැමවිටම මතක තබා ගැනීම වැදගත්ය.

ඔබේ අවුරුදු මේසෙට නිවැරැදිව කිරිබතක් පිළියෙල කරගන්නා ආකාරය ශාන්තා මායාදුන්නේ මහත්මිය මෙසේ සඳහන් කළාය.

කිරිබත

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු සහල් ග්රෑම් 500

වතුර කෝප්ප 4

පොල්කිරි කෝප්ප 2

ලුණු ස්වල්පයක්

රම්පේ කෑල්ලක්

සාදන ක්‍රමය :

සහල් හොඳින් සෝදා ගරා වතුර කෝප්ප හතර යොදා, රම්පා කෑල්ල දමා හොඳින් බත උයාගන්න.

පසුව ළිපෙහි ගින්දර අඩුකර ලුණු ටිකක් දැමු කිරි මිශ්‍ර කර හොඳින් කිරි උරාගන්නාතුරු මිශ්‍ර කරන්න. වතුර ගතිය සිඳුණු පසු කෙසෙල් කොළයක් හෝ පැතලි පිඟන් අඩියක බටර් හෝ පොල්කිරි ස්වල්පයක් තවරා කිරිබත තැටියකට හෝ ලෑල්ලක අතුරා මට්ටම් කරගන්න. හතරැස් හෝ දියමන්ති හැඩයට කපා මේසයට යවන්න.

කිරිබත බුලත් කොළයේ හැඩැති අච්චුවක බහා බුලත් කොළයක ආකාරයෙන් ද මේසයට තැබිය හැකිය.

කිරිබත රසවත් කර ගන්නට පැණි පොල් යොදාගන්න පුළුවන්. ලොකු පොල් බෑයක පොල් ගා ගන්න. ඊට සීනි කෝප්ප 1/2 හා පැණි කෝප්ප භාගයක් උණු කර එයට පොල් ටික මිශ්‍ර කරගෙන පැණි පොල් සකස් කරගන්න.

ලෑල්ලක් මත කිරිබත් අතුරා ඊට උඩින් පැණි පොල් තට්ටුවක් අතුරන්න. ඒ මත කිරිබත් තට්ටුවක් අතුරා නිවුණු පසු කෑලි කපා මේසයට යවන්න.

මෙලෙස කුඩා අයිස්ක්‍රීම් කෝප්පයකට කිරිබත් තට්ටුවක් සහ පැණි පොල් තට්ටුව බැගින් යොදා කෝම්පිට්ටුවක හැඩයෙන් ද සකස් කරගත හැකිය. නැතිනම් පිරිසුදු කරගත් කොළපත් කෑල්ලක් හෝ තෙල් කරදාසියක් මැදින් කිරිබත් හා පැණි පොල් දමා දෙපැත්තෙන් කරකවා සම්ප්‍රදායික ක්‍රමයට ඉඹුල් කිරිබත් පිළියෙල කර ගැනීමට පිළිවන.

ලුණු මිරිස

කිරිබත් වඩා රසවත් වන්නේ ලුණු මිරිස නැතිනම් කට්ට සම්බෝලය සමඟිනි. පහසුවෙන් රසවත් ලුණු මිරිසක් මෙසේ සකස් කරගත හැකිය.

කෑලි මිරිස් මේස හැඳි 4ක්, කුඩාවට කැපූ බී ලූනු ගෙඩියක්. සිහින්ව කපාගත් ලොකු තක්කාලි ගෙඩියක්, සීනි තේ හැඳි එකක්. දෙහි සහ ලුණු රස අනුව ගෙන හොඳින් කළවම් කරගන්න. නැකැත් වෙලාවට රසවත්ව කඩිනමින් මේසයට තැබීමට සුදුසු ලුණු මිරිසකි මේ.

කිරිබත් කෑමෙන් පසු බීමට වඩා සුදුසු වන්නේ කහට තේ කෝප්පයකි. බොහෝ දෙනකු නිවැරැදිව රසවත් තේ කෝප්පයක් හදා ගන්නා ආකාරය ද නොදනිති. කහට රසය හා පැණි රස ඒ ඒ පුද්ගලයාගේ රුචිය අනුව වෙනස් වේ. තේ පිළිගැන්වීමේදී පිරිසුදු කෝප්පවල උණුසුම්ව තේ පිළිගැන්වීම ද වැදගත්ය.

තේ කෝප්පය

තේ කෝප්පයක් සඳහා තේ කොළ තේ හැඳි එකක් හෝ තේ පැකට් එකක් අවශ්‍ය වේ. හොඳින් උතුරුවා ගත් වතුර අඬු කෝප්ප එකක් තේ කොළ හෝ පැකට්ටුවක් දමා සාදාගත් තේ කෝප්පය සමඟ සීනි අවශ්‍ය පමණට යොදා ගැනීම සඳහා වෙන්වූ බඳුනක බහා පිළිගන්වන්න. තේ කෝප්පයකට එක හැන්දක් බැගින් තැබීම වඩා සුදුසුය. තේ කෝප්පයෙහි රසය වැඩි කරගැනීම සඳහා ඉඟුරු පෙත්තක්, වැනිලා බින්දුවක් හෝ දෙහි බිඳුවක් අමුත්තන්ගේ රුචිය පරිදි යෙදීමට පිළිවන. 

 

Comments