
සෙම්ප්‍රතිශ්‍යාව උණ, හිසරදය සොටු දියර ගලනවා ද?
වහාම ප්‍රතිකාර ගන්න
කුඩා දරුවන් වැඩිහිටියන් මෙන්ම ගැබිනියන් ඇතුළු කණ්ඩායම් රෝගීන් ගැවසෙන රෝහල්, පොදු ප්‍රවාහන සේවා වැනි තැන්වලට යාම හැකිතාක් අඩු කළ යුතුය.
මේ දිනවල දිවයින පුරා පැතිර යමින් පවතින ඒ එච්1 එන්1 උණ රෝගය නොදන්නා වෛරසයක් නිසා ඇතිවන දරුණු වසංගත රෝග තත්ත්වයක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
මෙය ලොව වෙනත් රටවල ශීත කාලයේදී ඇතිවන කාලීන (Seasonal flue) උණ තත්ත්වයක් වන අතර ඒ එච්1 එන්1 වෛරස කාණ්ඩය නිසා ඇතිවන්නක් බව ද වෛද්‍ය ගිනිගේ පවසයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දෙසැම්බර් ජනවාරි සහ පෙබරවාරි යන මාසවල මෙම රෝග තත්ත්වය ඇතිවන අතර පෙබරවාරි මාසයේදී වැඩිම උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මෙවර මෙම කාලීන උණ රෝග තත්ත්වය අප්‍රේල් මාසය දක්වාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතී. එය තරමක අසාමාන්‍ය තත්ත්වයක් වුවත් ඒ පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ද වෛද්‍ය ගිනිගේ පවසයි.
සෙම්ප්‍රතිශ්‍යාව උණ හිසරදය නාසයෙන් සොටු දියර ගැලීම හා කැස්ස මෙහි රෝග ලක්ෂණ වේ. කලාතුරකින් වමනය ද ඇතිවිය හැකිය. මෙම රෝග ලක්ෂණ පහළ වූ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හෝ ළඟම පිහිටි රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතු බව ද වෛද්‍යවරයා පවසයි.
වයස අවුරුදු දෙකට අඩු දරුවන්, ගර්භණී කාන්තාවන්, වයස අවුරුදු 65ට ඉහළ වැඩිහිටියන් නිධන්ගත රෝග සහිත පුද්ගලයන් අක්මා, වකුගඩු හා පෙනහළු ආශ්‍රිත ආබාධ සහිත පුද්ගලයෝ මෙම රෝගය වැලඳීමේ වැඩි අවදානමක් දරති. එවැනි අය මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.
රෝගී පුද්ගලයකු කසින කිවිසින විට පිටවන සෙම්, සොටු, බිඳිති මඟින් රෝගය අන් අයට බෝ වේ. එහෙයින් රෝගීන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකීම වැදගත්ය. රෝගී පුද්ගලයන් කසින, කිවිසින හැම විටම නාසය හා මුව ලේන්සුවකින් හෝ ටිෂු කඩදාසියකින් ආවරණය කළ යුතුය. එසේ නැතිනම් අත නවා වැලමිටෙන් හෝ මුව ආවරණය කරගත යුතුය. රෝගී පුද්ගලයන් භාවිත කළ ලේන්සු තුවා ආදිය හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුය. භාවිත කළ ටිෂු ආදිය ආරක්ෂාකාරී ලෙස ඉවත් කළ යුතුය. රෝගය හොඳින් සුව වන තුරු කාර්යාලයට හෝ පාසල වෙත නොයෑමෙන් අන් අයට රෝගය බෝ කිරීමට ඇති ඉඩකඩ අඩුකළ හැකිය. කුඩා දරුවන් වැඩිහිටියන් මෙන්ම ගැබිනියන් ඇතුළු කණ්ඩායම් රෝගීන් ගැවසෙන රෝහල්, පොදු ප්‍රවාහන සේවා වැනි තැන්වලට යාම හැකිතාක් අඩු කිරීම වැදගත් වේ.
නිවසින් බැහැර ගොස් පැමිණි හැම විටම හොඳින් සබන් යොදා අත,පය හා මුහුණු සෝදාගන්න. රෝගීන් භාවිත කළ තුවා හෝ ලේන්සු වැනි දෑ හවුලේ භාවිත කිරීමෙන් වළකින්න. නිවසේදී වුවද රෝගීන්ගෙන් ඈත්ව සිටින්න.
මේ දිනවල ඩෙංගු හා වෙනත් වෛරස රෝග ද පැතිර යමින් පවතින හෙයින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. උණ ගැනී දෙවැනි දිනයේදීම ඩෙංගු සඳහා නියමිත පරීක්ෂණ කරගන්න. නිවසේ රැඳී සිටිමින් අත් බෙහෙත් නොකර වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත හෝ රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා මෙන් ද වෛද්‍යවරු ජනතාවට අවවාද කරති.
වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
සමිත ගිනිගේ