
1. ගගන - ඇතැම් විටෙක, කලාතුරෙකින් නමුදු මේ නිවැරැදි වදන ‘ගගණ’ යැ යි වරදවා ලියනු දක්නා ලැබේ. මෙහි (මූර්ධජ) ‘ණ’ නො ව (දන්තජ) ‘න’ ම යෙනෙ බව වෙසෙසින් සැලැකිල්ලට ගත යුතු යි. අහස යනු මෙහි වදන් අරුත යි. මේ සංස්කෘත - පාලි තත්සමයෙකි.
2. ගඩොළු - නිරන්තරයෙන් ම මේ වදන ‘ගඩොල්’ යැ යි වරදවා ලියනු කියනු ලැබේ. මෙය දැන් නිවැරැදි කළ නොහැකි තමට එදිනෙදා වහරට කාවැදුණු වදනක් ව ඇත්තේ ය. එ නමුදු හැකි සියලු තැන්හි ම ගඩොළු යන (මූර්ධජ) ‘ළු’ සහිත නිවැරැදි වදන ම යෙදීමට සැලැකිලිමත් විය යුතු ය. මෙහි ඒක වචන පදය ද යෙදිය යුත්තේ ‘ගඩොළ’ යනුවෙන් (මූර්ධජ) ‘ළ’ සහිත ව ම ය. ගඩ + උළු යන දෙක්හි සන්ධියෙන් ගඩොළු යනු නිපන් සේ සැලැකේ. මෙ ද උළු වෙසෙසක් ලෙස සැලැකුණු බව ඉන් පෙනේ.
3. ගන / ගණ - වර්තමාන සිංහල ව්‍යවහාරයෙහි ඉතා බහුල වශයෙන් වරදවා යොදන වදන් දෙකකි. (දන්තජ) ‘න’ සහිත ‘ගන’ යන්න මෙන් ම (මූර්ධජ) ‘ණ’ සහිත ‘ගණ’ යන්න ද නිවැරැදි වදන් වේ. එහෙත්, ඒ එකඑක්හි අරුත් වෙනස් වේ.
‘ගන’ යනු සංස්කෘතයෙහි හා පාලියෙහි හා ‘ඝන’ යන්නට අනුරූප වැ සිංහලයෙහි යෙදේ. තද, දැඩි, මහත් වැනි අරුත් එයින් හැඟැවේ. එ බඳු අරුත් දැක්වීමට (මූර්ධජ) ‘ණ’ සහිත ගණ යනු යෙදීම ඉඳුරා ම වැරැදි වේ. එ හෙයින්, නිතර වහරෙහි දැකිය හැකි ගණඳුර, ගණකම වැනි යෙදුම් අපව්‍යවහාර සේ සැලැකිය යුතු වේ. එ බඳු වදන් (දන්තජ) ‘න’ සහිත වැ ගනඳුර, ගනකම ආදි වශයෙන් ලිවීම නිවැරැදි වේ.
බොහෝ විට කැරෙන තව ද වරදක් නම් සංස්කෘත - පාලි තත්සමයක් වන ‘ඝන’ යනු සිංහල වදන් හා එක් වැ යෙදීම යි. ඝනඳුර, ඝනකම ආදි වශයෙනි. එ ද නිවැරැදි නොවන බව සැලැකිය යුතු යි. තව ද ඇතැම්හු ඝණඳුර, ඝණකම ආදි වශයෙන් ‘ඝණ’ යන්නකුදු යොදති. ඒ මුළුමනින් ම වැරැදි වහරෙකි. සංස්කෘතයෙහි හෝ පාලියෙහි හෝ ‘ඝණ’ යන්නක් නිසි ලෙසෙකිනුත් නො යෙදේ. එ හෙයින් එය සියලු අතින් ම වැරැදි වහරක් ලෙස සලකා බැහැර කළ යුත්තකි. (මූර්ධජ) ‘ණ’ සහිත ‘ගණ’ යන්නෙහි ප්‍රමුඛාර්ථය වනුයේ සමූහය යනු යි. ගණනාර්ථයෙහි ක්‍රියා මූලයක් වශයෙනුදු එ යෙදේ. ගණ යනු සංස්කෘතයෙහි හා පාලියෙහි හා මෙන් ම සිංහලයෙහි දු රූපයෙන් මෙන් ම අර්ථයෙනුදු සමාන වැ යෙදෙන්නෙකි. එ හෙයින් ‘ගණේශ්වර’ යනු සේ ම ‘ගණසුරු’ යනු ද නිවැරැදි සේ සැලැකේ.
සමූහ වශයෙන් සිටුනා බැවින් භික්ෂූහු ද ‘ගණ’ නමින් හැඳින්වෙති. ගණනායක වැනි යෙදුම්හි ඒ අරුත යෙදේ. ගණසජ්ඣායනා යන්නෙන් කියැවෙන්නේ භික්ෂූන් සමූහ වශයෙන් කරන සජ්ඣායනාව යි.
4. ගණන - මේ සංස්කෘතයෙහි වර්තමාන කෘදන්තයක් සේ යෙදේ. මෙහි පළමු වැ (මූර්ධජ) ‘ණ’ යනු ද ඉක්බිති වැ (දන්තජ) ‘න’ යනු ද යෙදිය යුතු යි. සිංහලයෙහි දු ‘ගණින’ යනු වර්තමාන කෘදන්තයෙකි. එහි දු යට කී අයුරින් ම යෙදිය යුතු වේ.
‘ගණන’ යනු සිංහලයෙහි ඒක වචන නාම පදයක් සේ ද යෙදේ. එහි ප්‍රකෘතිය ‘ගණන්’ යනු යි. මෙහි ඒක වචනය වන ගණන යන්නෙහි ණ - න මාරු කොට (ගනණ යැයි) ඇතැමුන් යෙදීම ඉඳුරා වරදෙකි.