වීරත්වයක් ලැබු කවියෙක් සුබ්‍රමනියම් භාරතී | සිළුමිණ

වීරත්වයක් ලැබු කවියෙක් සුබ්‍රමනියම් භාරතී

පාලම

භාරතයේ මහා දෙමළ කවියා ලෙස සැලකුම් ලබන චින්නස්වාමි සුබ්‍රමනියම් භාරතී 1882 දෙසැම්බර් 11 වන දින තමිල්නාඩුවේ එට්ටායපුරම් ග්‍රාමයේ උපත ලැබුවේය. ඔහුගේ දෙමාපියන් වූයේ චින්නස්වාමි සුබ්‍රමානියම් අයියර් සහ ලක්ෂ්මී අම්මාන් දෙපළයි. තිරුනෙල්වෙලි හින්දු විද්‍යාලය නම් වූ උසස් පාසලෙන් ඔහු අධ්‍යාපනය ලැබුවේය. ළමා අවදියේ ම ඔහු සංගීතය සහ කවිය පිළිබඳ ව අධ්‍යාපනය ලැබුවේය. සරස්වතී දේවියගේ වරම් ලැබූ භාරතී නම් නාමය ඔහුට ලැබුණේ එම අවදියේය. ඔහු පස් හැවිරිදි වියේ පසුවෙද්දී මව මියගිය අතර දහසය හැවිරිදි වියේ පසුවෙද්දී පියා ද මිය ගියේය. සුබ්‍රමනියම් පහළොස් හැවිරිදි වියේ පසුවෙද්දී සත් හැවිරිදි වියේ පසු වූ දැරියක වූ චෙල්ලාම්මා සමඟ විවාහ විය. ඔහුගේ පියාට අවශ්‍ය වූයේ ඔහුට ඉංග්‍රීසි සහ ගණිතය උගන්වා ඔහුව ඉංජිනේරුවකු කිරීමටයි. සුබ්‍රමනියම්ගේ දැඩි කැපවීම නිසා ඔහුට ඉන්දීය භාෂා 29ක් සහ විදේශීය භාෂා 3ක් ඉගෙන ගත හැකි විය.

වාරනාසි හි සිටි කාලයේදී ඔහු හින්දු ධර්මය සහ දේශානුරාගය වෙනුවෙන් කැප වූවේය. ඒ කාලයේදී ඔහු රැවුල වවා තලප්පාව පැලඳගෙන තම බාහිර පෙනුම ද වෙනස් කර ගත්තේය. එහිදී ඔහු සංස්කෘත, හින්දි සහ ඉංග්‍රීසි භාෂා ඉගෙන ගත්තේය. 1901 දී නැවතත් එට්ටායපුරම් පෙර වෙත පැමිණි සුබ්‍රමනියම් භාරතී වසර කීපයක්ම එට්ටායපුරම් රාජාගේ රාජකීය කවියා ලෙස සේවය කළේය. අනතුරුව 1904 අගෝස්තු සිට නොවැම්බර් දක්වා මුදරෙයිහි පිහිටි සෙතුපති උසස් පාසලේ දෙමළ ගුරුවරයා ලෙස සේවය කළේ ය. මේ කාලයේදී ඔහු අවට ලෝකය පිළිබඳ දැනුම ලබා ගැනීමටත් ජනමාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය පිළිබඳවත් උනන්දුවක් දැක්වූවේය. 1904 දී ඔහු ස්වදේශමිත්‍රන් දෙමළ දිනපතා පුවත්පතේ සහාය කර්තෘවරයකු ලෙස බැඳුණේ ය. 1905 දෙසැම්බරයේදී බෙනාරාස්වල පැවැති සමස්ත ඉන්දියා කොන්ග්‍රසයට සහභාගි වූ ඔහුට නිවේදිතා සොයුරිය සහ අධ්‍යාත්මික ගුරුවරයකු වූ ස්වාමි විවේකානන්ද මුණ ගැසිණ. කාන්තා අයිතිවාසිකම් පිළිබඳව භාරතීගේ මනස අවදි කරන්නට සමත් වූයේ නිවේදිතායි. ඇය තම ගුරු තනතුරෙහි තබා සැලකූ භාරතී ඇයව අගය කරමින් කවි ලීවේය. අනතුරුව සමස්ත ඉන්දීය කොන්ග්‍රසයේ කල්කටා සැසි වාරයට ද සහභාගිවීමට ඔහුට හැකි විය. එහිදී බ්‍රිතාන්‍යයේ භාණ්ඩ වර්ජනය කිරීමට සහ ස්වරාජ්‍යයක් බිහි කිරීමේ සටනට ද ඔහු අවතීර්ණ විය.

1907 දී එම්. පී. ටි. ආචාර්ය සමඟ එක්ව ඉන්දියා නමින් දෙමළ සති පුවත්පතක් ද බාලා භාරතම් නමින් ඉංගීසි පුවත්පතක් ද සංස්කරණය කළේය. මෙම පුවත්පත් භාරතී නිර්මාණ හැකියාව ඔපවත් කළේය. මෙම පුවත්පත්වල නිතිපතා භාරතී ගේ කවි පළ විය.

1907 දී ඉන්දියා ජාතික කොන්ග්‍රසය දෙකඩ වුණ ඓතිහාසික සුරාත් කොන්ග්‍රසයට භාරතී සහභාගි වුණේ චිත්තම්බරම් පිල්ලෙයි සහ මන්ඩායම් ශ්‍රීනිවාසාචර් ද සමඟය. එම බෙදීමේදී තිලක් සහ අවුරබින්දෝ සන්නද්ධ අරගලයක් කළ යුතු ය යන පාර්ශ්වයට නායකත්වය දුන්හ. භාරතී සහයෝගය දැක්වූයේ ඒ පාර්ශ්වයටයි.

1908 දී ඉන්දියා පුවත්පතේ අයිතිකරුව මදුරාසියේදී අත්අඩංගුවට ගනු ලැබීය. භාරතී පොන්ඩිචේරිවලට පලා ගියේය. එවකට ඒ ප්‍රදේශය ප්‍රංස පාලනය යටතේ පැවැතිණ. එහිදී ඔහු ඉන්දියා සඟරාව සහ දිනපතා පුවත්පතක් වූ විජය සංස්කරණය කිරීමේත් බාලා භාරතම් නම් ඉංග්‍රීසි මාසිකය පළ කිරීමේ සහ පොන්ඩිචේරිහිදී සුර්යෝදම් නමින් ප්‍රාදේශීය සතිපතා පුවත්පතක් පළ කිරීමටත් කටයුතු කළේය. 1909 දී ඉන්දියා සහ විජය පුවත්පත් ඉන්දියාවේ පළ කිරීම තහනම් කරනු ලැබීය.

රටින් පිටව සිටි කාලයේදී භාරතීට නිදහස් සටනේ විප්ලවකාරී කණ්ඩායමේ නායකයන් වූ අවුරබින්දෝ, ලායිපට් රායි සහ වී වී එස් අයියර් වැනි නායකයන් හමු වීමට හැකි විය. මෙම කාලයේදී ඔහු වේද සාහිත්‍යය හැදෑරීමට යොමු විය. සුබ්‍රමනියම් භාරතීගේ විශිෂ්ටතම කෘති තුනක් සේ සැලකෙන කුයිල් පත්තු (Kuyil Pattu) පංචාලි සපතම් (Panchali Sapatham) සහ කන්නන් පත්තු (Kannan Pattu) යන නිර්මාණ 1912 දී පළ විය. ඔහු මේ කාලයේදී වේද ස්ත්‍රෝත්‍ර පතාංජලී යෝග සහ භගවත් ගීතය දෙමළ භාෂාවට පරිවර්තනය කළේය. 1918 නොවැම්බරයේදී කුඩාලෝර් අසලින් ඉන්දියාවට ඇතුළු වූ භාරතීව වහා අත්අඩංගුවට ගැනිණ. ඔහු සති තුනක්ම කුඩාලෝර්හි මධ්‍යම සිර කඳවුරේ සිටි අතර ඇනි බෙසන්ට් සහ සී. පී. රාමසාමිගේ මැදිහත් වීමෙන් නිදහස ලැබුවේය. 1919 දී ඔහුට මහත්මා ගාන්ධි මුණගැසිණ. 1920 සිට ඔහු නැවතත් මදුරාසියේ සිට ස්වදේශමිත්‍රන් පුවත්පත් සංස්කරණය කළේය.

1920 දී ඔහුව අත් අඩංගුවට ගැනීම ඔහුට අහිතකර ලෙස බලපෑවේය. චෙන්නායි (මදුරාසිය) පරත්කාරි කෝවිලේ ලාවන්‍යා නමැති ඇතාට ආහාර දීමට ඔහු පුරුදුව සිටියේ ය. ඔහු ඒ ඇතාගේ පහරදීමකට ලක් විය. එම සිද්ධියෙන් ඔහු ගැලවුණ ද මාස කීපයකින් ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී ගියේය. 1921 සැප්තැම්බර් 12 වන දින ඔහු මියයන විට ඔහුගේ වයස 38ක් විය. ජනතා කවියකු ජාතික වීරවරයකු සහ නිදහස් සටන්කාමියකු සහ සමාජ ශෝධකයකු වූ ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වූයේ 14 දෙනකු පමණකැයි කියනු ලැබේ.

නූතන දෙමළ සාහිතයේ පුරෝගාමියකු ලෙස භාරතී සැලකුම් ලබයි. ඊට පෙර ශතවර්ෂයේ භාවිත වූ සංකීර්ණ වාක් කෝෂය වෙනුවට භාරතී සරල වචන සහ රිද්මයන් භාවිත කළේය. භක්ති ගීතවලට ඔහු නව අදහස් සහ නව ශිල්පීය ක්‍රම යොදා ගත්තේය.

භාරතීගේ කවි ප්‍රගතිශීලි සහ ප්‍රතිසංස්කරණවාදී අදහස් ඉදිරිපත් කළේය. ඔහුගේ කවි පරිකල්පනය අතින් මෙන්ම ප්‍රබලත්වය අතින් පැරැණි දෙමළ කවියට නව මුහුණුවරක් ලබා දුන්නේ ය. ඔහුගේ කවි විවිධ තේමාවලින් යුතු විය. ඉන්දියානු දේශානුරාගී ගීත, ප්‍රේම ගීත, ළමා ගීත දෙමළ භාෂාව ගැන ගීත සහ ඉන්දියාවේ නිදහස් සටන්කාමීන් වෙනුවෙන් ලියැවුණ ගීත ද ඒ අතර විය. ඔහු ලියූ භක්ති ගීත ශක්ති, කාලි, මුරුගන්, සිවන් ආදි දෙවියන් ගැන ලියූ ගීතවලට පමණක් සීමා නොවීය. ඔහු අල්ලා සහ යේසුස් වහන්සේ ගැන ද ගීත ලීවේය.

කාන්තාවන් දේශපාලනයට පිවිසීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පුරෝගාමියකු ලෙස ද භාරතී සැලැකේ. පිරිමි සහ ගැහැනු දෙපාර්ශ්වයම සමාන ලෙස කටයුතු කළහොත් ජයග්‍රහණය ලබා ගත හැකි යැයි ඔහු විශ්වාස කළේය. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු පෙනී සිටියේ එබැවිනි.

හින්දු සමාජයේ පැවැති කුල ක්‍රමයට ද විරුද්ධව ද ඔහු සටන් කළේය. ඔහු බ්‍රාහ්මණ පවුලක උපත ලැබුව ද සෑම මිනිසකු ම එක සමාන ය යන අදහස වෙනුවෙන් පෙනී සිටියේය.

තමිල්නාඩුවේ මහා කවියා ලෙස සැලකුම් ලබන භාරතීගේ නාමයෙන් ඉන්දියාවේ උසස්ම සම්මානය නම් කිරීමට 1987 දී ඉන්දීය රජය තීරණය කළේය.

අවුරුදු 38ක් වැනි කෙටි කාලයක් ජීවත්වුව ද ඔහු ද්‍රවිඩ ජනතාවගේ සිත් තුළ සදාකාලිකව ජීවත්වන වීරයකු බවට පත්ව ඇත.

 

Comments