
කොහා, කොහෝ නාදය ආරම්භ කළේ එතරම් තීව්‍ර ව නොවේ; මන්ද්‍රස්වරයෙනි. හිරු කිරණ පළමු මිහිකත සිපගැන්ම අරඹන්නට තුරු අගිසි අග ආලෝකවත් කරන්නට පටන්ගත් ඇසිල්ලේ ඒ නාදය ටිකෙන් ටික තීව්‍ර වන්නට පටන් ගත්තේ ය. අවසන පළමු අවු රැල්ල මිහිකත සිපගනිද්දී එය දැඩි තීව්‍ර හඬකින් වේගවත් ව ඇසෙන්නට විණි. මෙතෙක් වේලා එක් කොහෝ නාදයක් පමණක් මුළු පරිසරය ම ගීතවත් කරමින් පැවතිය ද මඳක් ඈතට වන්නට මඳ වේලාවකින් ම තව කොහෝ නාදයක් ඇසෙන්නට විණි. සන්සුන් පරිසරය කලබලකාරී කිරීමට කොහෝ නාදයේ තරගකාරීත්වය බලපෑවේය. වෙනදා ඇසෙන ලයාන්විත ගීතවත් නාදයට වඩා බෙහෙවින් තියුණු හද කීරි ගස්සවන නාදයක් ඇසෙන්නට විණි.
මම සෙමෙන් සෙමෙන් සදලුුතලය වෙත පියමැන්නෙමි. දැන් කොහා නාද දෙක ම ඇසෙන්නේ ගෙඩි වලින් සැරසුණු අඹ ගස පැත්තෙනි. පරිසරය ම ගිනි තැබූ විලාපයක් අතු පතර අස්සෙන් ඇසේ. නිසොල්මනේ බලා සිටි මට අපූරු දසුනක් දැක ගැනීමට අපහසු වූයේ නැත. මුහුණට මුහුණ බලාගත් කොහෝ යුවළක් රතු පැහැ දෙනෙත් වඩා විසල් කරගෙන ඔරවා ගත් වුවනකින් යුතුව එකිනෙකා දෙස බලා සිටිති. ඔවුන් වරින්වර බැන ගන්නා විලාසය සිහි ගන්වන්නේ මානව ක්‍රියාකාරකමකි. මිනිස්සු නිරන්තරයෙන් බැණ ගනිති; ගහ ගනිති; ඔරවා ගනිති. ඒවා අපට සාමාන්‍ය සංසිධීන් ය. එහෙත් කුරුලු යුවළක්!
කුරුලු හැසිරීම් නිරීක්ෂණයේ ලා බෙහෙවින් රුචි මා හට මේ නම් මහඟු අවස්ථාවකි. මුහුණට මුහුණ ලා කොහෝ දෙදෙන කරන මේ සටන කවරක් නිසා විය හැකි ද?
සාමාන්‍යයෙන් කොහා ගේ ප්‍රජනන සමය ඇරඹෙන්නේ මැදින්, බක්, වෙසක් වැනි මාසවලය. දේශගුණයේ වන විපර්යාස නිසා අද එය වසර පුරාවට ම ක්‍රියාත්මක වී ඇත ද කොහාගේ චර්යාවේ ප්‍රධාන ම අංගයට සොබාදහම ඉඩ හසර වෙන් කරන්නේ මෙකල්හිය.
මිනිස් සත්ත්වයා කොතරම් වෙනස්කම්වලට භාජනය වී ඇතිදැයි සිතන විට කොහාගේ මේ චර්යාව ගැන එතරම් පුදුම විය යුතු නැත. ඉදින් සිය ප්‍රජනන සමයේ කොහාගේ නාදය ගීතවත් ය; ලයාන්විතය. ඒ ලයාන්විත බව එන්නේ කෙවිලිය වෙනුවෙනි. කෙවිලි ගහනය, කොහා ගහනයට සාපේක්ෂව අඩු ය. ඒ අනුව හැම කොහාට ම කෙවිලියක් නැත. කෙවිලියන් දිනා ගැනීමට කොහා තරග කරන්නේ තම සුමධුර නාදය උපයෝගී කරගනිමිනි. මේවාද වර්තමානයේ රියැලිටි වැඩසටහන් වැනි ය. ඒවායේ ද මධුර, මනෝහර හඬ සහිත ව ජන ප්‍රසාදය දිනා ගන්නා තරුණයන්ට තරුණියන් ට මංගල යෝජනාවලින් නම් අඩුවක් නැත. සමහර මංගල යෝජනා නිසා ම සිය ජනප්‍රිය බව නැතිකර ගනිති; තවත් සමහරු ඉහළට නඟින්නට ආධාරකයක් ලෙස මේවා භාවිත කරති. ඒ සියල්ල සිදුවන්නේ තම තම නැණ අනුව ය. මේ සියල්ල ම කියන්නට සිදුවූයේ කොහා ගැන කියන්නට ගොස් ය. කොහා එතරම් ම අපට බලපෑම් කරන්නේ ය.
කෙවිලිය සිය පෙම්වතා තෝරා ගන්නේ හඬ නමැති ස්වයංවරය භාවිත කරමිනි. වඩාත් මිහිරි ලෙස ගයන්නේ කවුද; ඔහු සිය වල්ලභයා කරගන්නට ඕ නොපැකිළෙන්නී ය. ඉදින් කොහා මේ තරග කරන්නේ කෙවිලිය වෙනුවෙනි; මුහුණට මුහුණ සටන් කරගන්නේ ද කෙවිලිය වෙනුවෙනි. පැය ගණනක් මේ සටන පැවතිණි. විමසිලිමත් වූ මට ඈත අත්තක සැඟවී මේ සටන නරඹන කෙවිලිය දැක ගැනීමට හැකි වූයේ ය. ඇය කිසිදු කලබලයකින් තොරව මේ සටන නරඹමින් සිටියේ රැජිනක පරිද්දෙනි. අප අවුරුදු රැගෙන එන්නේ කොහා යැයි කීවාට ඇත්තට ම අවුරුදු විඳින්නේ කෙවිලිය දිනා ගන්නා කොහා ය.
අවුරුදු අත ළඟට ම පැමිණ ඇත්තේ ය. මර්සලින් ජයකොඩි පියතුමා නම් කීවේ දුප්පතුන්ට කන්නට ලැබෙන දා අවුරුද්ද යැයි කියා ය. එය පරම සත්‍යයකි. සොබාදහම සැරසෙන්නේ සශ්‍රික සමයකට ය. එහෙත් ඒ සොබාදහමේ සශ්‍රීක බව අවුරුදු සේ ගන්නට නම් අපට සොබාදහම ගැන මනාවූ බැඳීමක් තිබීමට අවශ්‍යය ය. දිනෙන් දින සොබාදහමෙන් ඈත් වෙන අපට සොබාදහමේ මංගල්‍යය අවුරුදු සේ ගත හැකි දැයි සිතෙන්නට පටන් ගන්නේ මර්සලින් ජයකොඩි පියතුමාගේ ප්‍රකාශයත් සමඟ ය. අවුරුදු, සැමට අවුරුදු වීමට කොතෙක් දේ පූර්ණය විය යුතු ද?
සොබාදහම සමඟ මනා වූ බැඳීමක් තිබුණු අතීතයේ අවුරුදු මංගල්‍යයක් ම වීය. අස්වනු කපා ගෙට ගෙන අටුකොටු පිරී, සෑම ගසක ම පලතුරු පිරී සොබාදහම ම මංගල්‍යයක් ව දායාද වී තිබිණි. මාර්ටින් වික්‍රමසිංහයන් ‘ගම්පෙරළිය’ ලියන 1944 දී පවා ගමේ අවුරුදු පැවතුණේ ඇති හැකි තැනක් වූ මහගෙදර නමින් හඳුන්වන ලද කයිසාරුවත්තේ මුහන්දිරම් ගේ නිවසේ ය.
මේ නිවෙසේ 1904 දී පවත්වන ලද අවුරුදු උත්සවය ගැන කියමින් ‘ගම්පෙරළිය’ ආරම්භ වෙයි. “වළං පොඩිවල ඉවීමෙන්” ආරම්භ වෙන මේ අවුරුදු උත්සවය පංච කෙළියෙන් ඔපවත් වෙයි. බාල මහලු සියල්ලෝ ම පංච කෙළිති. එක් පිළක් වෙනුවෙන් අය තබන්නේ අනුලා ය. අනෙක් පිළ වෙනුවෙන් එවකට ගමේ ඉස්කෝලේ මහත්තයා නමුත් යම් නමක් දිනාගත් පියල් අය තබයි. අය තබන්නට පවා යම් තත්ත්වයක් අවශ්‍ය ය.
මාතර හාමිනේ අතින් මුල් ම මුදල ගෙන අවුරුද්ද ම සරු කරගන්නට ගමේ ගැහැනු පෝලිමට එති.
“මාතර හාමිනේ ගේ අතින් පළමුව සතයක් ලබා ගැනීමට පැමිණි ගැහැනු රාශියකි. මෙසේ පැමිණි ගැහැනුන් අතර අැත්ත වශයෙන් ම අලුත් අවරුද්දෙහි මාතර හාමිනේගේ අතින් කාසියක් ලබා ගැනීම සුබ ලකුණක් ලෙස සලකන ගැහැනු බොහෝ වූහ.”
අවුරුදු කියන්නේ සතුටට ය. සොබාදහම සතුටු වෙද්දී ඒ සොබාදහමේ ම කොටසක් වන අපිදු සතුටු වෙමු. සොබාදහම සමඟ අපේ බැඳීම අඩුවන්නට අඩුවන්නට අවුරුදු ද අප සිතින් ඈතට යන්නේ ය; එය හුදු මවාපෑමක් වන්නේ ය; කා බී සතුටු වන විනෝදයක් පමණක් ම වන්නේ ය.
සොබාදහම තිළිණ කරන මේ නව උදාව අර්ථවත් කරගන්නට නම් සොබාදහම හා බැඳීයාව තීව්‍ර කර ගැනීම වැදගත් ය. එළැඹෙන මේ නව වසරේ සත්මඬල අප ඉල්ලා සිටින්නේ සොබාදහම තම ජීවිතයේ ම කොටසක් කරගන්නා සේ ය. එවිට සොබාදහම ද පෙරළා ඔබට හොඳ දේ පමණක් ම දෙන්නේ ය. ඇති හැකි අයට පමණක් නොව; මුහන්දිරම්ලාට පමණක් නොව පැලේ පිලේ ද එදාට අවුරුදු සිරි උතුරනු ඇත.