අපේ ගාන බින්දු එකයි | සිළුමිණ

අපේ ගාන බින්දු එකයි

 

අපේ ගාන බින්දු එකයි

පත්තරේක දැන් තියෙන්නේ අවමඟුල් දැන්වීම් ටික විතරද කියවන්න?

අවමඟුල් දැන්වීමක තිබී මට ප්‍රවෘත්තියක් හමු විය. මගේ හොඳම මිතුරෙකුගේ පියාගේ අභාවයයි. සේවා මුරයක වැඩ කරන විට මගේ සේවා මුරයට කෙනෙකු යොදා අවමඟුලට සහභාගි වීමට තීරණය කළෙමි. නිවාඩුව අනුමත විය. සෙනසුරාදා රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයකුත් විනාඩි පහළොවක් ගත කොට ගාල්ලට පැමිණ වඳුරඹ මාර්ගයේ රාත්‍රි බසයක් පැමිණෙන තුරු විනාඩි හතළිහක් බලා සිටියෙමි. කුසගින්නට කඩල ගොට්ටක් පිහිට විය. වඳුරඹ බසයෙන් පැමිණ කීඹිය හන්දියෙන්, බැස රත්නායක ඉස්කෝලේ මහතාගේ, නි‍ෙවස බලා පයින් යන්නට මීටර් 50 ක් පමණ යනවිට, පසු පසින් ත්‍රිරෝද රථයක් පැමිණියේය. ත්‍රි‍‍රෝද රථයට අත ඇල්ලූ විට රියැදුරු එය නතර කළේ ය. රථයේ මැදිවිය පසුවූ කාන්තාවක් සිටියා ය.

“රත්නායක ඉස්කෝලෙ මහත්තයාලගේ ගෙදරනේ යන්නේ” කාන්තාව ඇසුවා ය‍. එම ත්‍රිරෝද රථයට ගොඩ වූ පසු ටික දුරක් යන විට මග දෙපස සුදු කොඩි තිබුණි. අවමඟුල් ගෙදරට යන පාර අසල ත්‍රිරෝද රථය නතර කළ විට ‍මම ඔහුගෙන් ගාන කීය දැයි විමස‍ීමි. “මමත් රත්නායක ඉස්කෝලෙ මහත්තයාගෙන් ඉගෙන ගත්තු කෙනෙක්. සල්ලි ඕන නැහැ. මේ නෝනව බස්සල නිදි මරන්න මමත් එනවා.” මම රියැදුරාගේ පිටට තට්ටුවක් දැමූ විට, ඔහු පිටත් විය.

පසුදින අවමඟුල සඳහා සියල්ල සූදානම් වෙමින් තිබුණි. වේලාව රාත්‍රි දහයයි. පියල් වේදනාව දරාගෙන තිබුණි. “ලලිත් ආවේ කොහොමද?” මම ගමන් මඟ විස්තර කළෙමි. තාත්තා මිය ගිය ආකාරය විස්තරව අසාගත් විට අමරජීව මල්ලි මා වෙත පැමිණ “අයියට මහන්සියි දැන් විවේක ගන්න” ඉස්තෝප්පුවේ පසෙක කාමරය මට පෙන්වීය. ඇඟ සෝදා ගත් විට සරමක් ද ලැබුණි. “දැන් අයියා නිදාගන්න.”

කාමරයේ පොත් රාක්කයේ පොත් දෙස මම විමසිල්ලෙන් බැලීමි. බැරැක් ඔබාමාගේ ජීවිත කථාව ඒ අතර විය. විට්ටමට උඩින් කොට්ටය තබා පොතේ අඩක් පමණ කියවන විට මට නිදිමත ඇති විය. මට නොදැනීම නින්ද ගිය විට, පසුදා උදෑසන ඇහැරෙන විට, අමරජීවගේ බිරිය “මෙන්න ලලිත් අයියගේ තේ කෝප්පය” යයි කීවා ය. දැහැටි කූරක දත් බෙහෙත් තවරා කට පිරිසිදු කරගෙන මුහුණ කට සෝදා ගෙන නැවත ආලින්දයට පැමිණෙන විට මට යැයි කරන්නට යමක් ඉතිරි වී නොතිබිණ.

රත්නායක ඉස්කෝලෙ මහත්තයාට ගැමියන් ගරු කළ ආකාරය පැහැදිලි වෙමින් තිබුණි. විටින් විට අවමඟුල් බෙරය නාද විය. තේ, කෝපි, සිහිල් බීම වලින් අමුත්තන්ට සංග්‍රහ විය. සමාජ සේවකයන්ගේ, දේශපාලනඥයන්ගේ, කතාවලින් පසු ආගමික චාරිත්‍ර පැවැත්වුණි. රත්නායක ඉස්කෝලේ මහත්තයාගේ ඥාතීන් පැන් වැඩීමෙන් පසු ආගමික වතාවත් අවසන් වීමෙන් පවුලේ බෑනණුවන් දෙදෙනකුගේ අතින් චිතකයට ගිනි දැල්වුණි. චිතකය අඩක් දැවෙන විට පියල් සහ අමරජීව මට නැවත ගාල්ල දක්වා යාම සඳහා ත්‍රිරෝද රථයක් සූදානම් කොට දුන්හ. කථාව ඇරඹෙන්නේ මෙතැන් සිට ය.

“ත්‍රීවීලර් එකමද රස්සාව”

“නැහැ මහත්තයෝ යෝගට් බිස්නස් එකකුත් තියෙනවා”

“‍එතකොට මේක අමතරව ද?”

“ඔව්”

“දරුවෝ කී දෙනෙක් ඉන්නවාද?”

“දෙන්නයි” “බැඳලා ගෙදරින් ඈත් වෙලා ඉන්නේ”

“ත්‍රීවීලර් එකට තවම ෆිනෑන්ස් තියෙනවා ද?”

“ගෙවලා ඉවරයි”

“මේක අරගෙන කොච්චර කල් ද?”

“අවුරුදු පහයි”

“තාම හොඳට තියෙනවා”

“කවදාවත් ඇක්සිඩන්ට් වෙලා නැහැ. නඩු වැටිලා නැහැ”

“ආගම අදහගෙන බිස්නස් එක කරන නිසා වරදින්නේ නැහැ කියලා මට විශ්වාසයි”

“ත්‍රීවීලර් එකේ ආදායම මදි ද?”

“පාරේ යනකොට හයර් ටිකක් අහුවුණොත් මිසක යෝගට්වලින් තමයි ආදායම”

“මාසෙකට යෝගට් කීයක් විකුණනවද?”

“පනස් දහසක් විතර”‍

“යෝගට් ෆැක්ටරියක් තියෙනවාද?”

“ඔක්කොම යෝගට් ටික අතින් හදන්නේ”

“කඩවල්වලට දාන්න විතරක් දෙන්නෙක් ඉන්නවා”

“කිරි”

“වස්සෝ ඉන්න අය දොවලා අපිට ගෙනත් දෙනවා”

“ඒගොල්‍ලන්ට කිරිවලට සාධාරණ මිලක් ලැබෙනවාද?”

“නැත්නම් මම යෝගට් හදන්නේ කොහොමද?”

“යෝගට් විකුණන කොට, කොටසක් කල් ඉක්තුවෙලා Return වෙන කොට පාඩුවෙන්නේ නැද්ද?”

“ඒක Study කරලා තමයි අපි කරන්නේ”

“කොහොමද පාඩුව වළකාගන්නේ?”

“එක එක තැන්වල විකිණෙන ප්‍රමාණය වෙනස්. වැඩියෙන් විකිණිලා ඉවරවෙන තැන්වලට. වෙන තැන්වල නොවිකිණී ඉතිරිවෙන කල් ඉකුත් නොවන යෝගට් ටික මාරු කරනවා. ඒ නිසා එක යෝගට් කෝප්පයක් Return වෙන්නේ නෑ.”

“ප්ලාස්ටික් කෝප්ප”

“ඒක වෙනම බිස්නස් එකක්, ඒවා විකුණන අය වෙනම ඉන්නවා.”

“පුංචි හැඳි ටික යන්නේ වියදමට විතරයි.”

“‍ඒකේ මිලත් යෝගට් එකට එකතු වෙනවාද?”

“නැහැ මහත්තයෝ”

“ඒක ඒ සුළු බිස්නස් එකක්. අපි ඒකට උදව් කරනවා.”

“දැන් එක එක යෝගට් එක එක නමින් Market එකේ තියෙන එක ප්‍රශ්නයක් නොවෙයිද?”

“නැහැ මහත්තයෝ”

“අපි යෝගට් දාන්නේ පොඩි පොඩි තැන්වලට”

“කොහේ ද ඒ වගේ තැන් තියෙන්නේ”

“ඉස්කෝලවල් ළඟ, ඉස්පිරිතාලය ළඟ, Market එක ළඟ වගේ තමයි”

“බිස්නස් එක පටන්ගන්න ණයක් එහෙම ගත්තද?”

“මගේ නෝනා සණස බැංකුවෙන් ණයක් ගත්තා”

“ණය ගෙවලා ඉවර ද?”

“ව්‍යාපාරය සාර්ථක වුණාම බැංකුව අපිට සුබ පැතුවා”

“ව්‍යාපාරය Insurance කරල ද තියෙන්නේ?”

“Insurance කරන්න දෙයක් නැහැ. අපිට ප්‍රශ්නයක් නම් බැංකුවට කිව්වම ඒගොල්ලෝ උදව් කරනවා.”

“ලැබෙන ආදායමේ වියදම?”

“මුනුබුරන්ට උගන්වනවා” ලයිට් බිල, වතුර බිල, කිරි වියදම, කෝප්ප වියදම ගියාම, අපි නඩත්තුවල හදිස්සියකට ගන්න තව කොටසක් බැංකුවේ”

“බැංකුව නිතර නිතර හොයල බලනවද?”

“බැංකුව අපිට විශ්වාසයි”

“ඒ කොහොමද?”

“අපි බැංකුවට පොලු තිබ්බේ නැහැනේ”

“දැන් අපි මේ කොහෙද ඉන්නේ”

“මහ මෝදර පහු කරනවා”

“මාව බස්සලා කොහේද යන්නේ”

“මම ඉන්නේ දෙවටේ”

“පොඩ්ඩක් පොද ගහනවා නේද?”

“මහත්තයාට තෙමෙන්න හොඳ නැද්ද?”

“මම කිව්වේ මේ දවස්වල වහින්නේ නැති නිසා”

“පොඩි පොදයක් සමහර වෙලාවට වැටෙනවා. නමුත් දවල්ට ගිනි කාස්ටකේ”

ත්‍රීරෝද රථය ගාල්ල බස් නැවතුමේ පොළේ අධිවේගී බස් පොලේ නැවතුණි.

“දැන් ඉතින් ගාන කීයද?”

“අනේ මහත්තයාගෙන් කීයක්වත් එපා”

“එහෙම හොඳ නැහැනේ”

“නෑ මහත්තයෝ මමත් රත්නායක ඉස්කෝලේ මහත්තයාගෙන් ඉගෙන ගත්තු කෙනෙක්. මම අධිවේගී බස් රථයට ගොඩ වුණෙමි. එය ද බිස්නස් එකකි.

Comments