අපූරු චරිත ‍වියමනක් | සිළුමිණ

අපූරු චරිත ‍වියමනක්

කෘතිය - මෙත්තම්මා

කර්තෘ - සුනිල් ගුණවර්ධන‍

ප්‍රකාශක - සරසවි ප්‍රකාශකයෝ

කවියකු සහ ගීත නිබන්ධකයකු ලෙස ප්‍රකට සුනිල් ගුණවර්ධන කෙටිකතාකරණයට පිවිසූ පසු ඉතා උසස් ගණයේ කෙටිකතා ඔහු අතින් බිහිවිය. ඔහුගේ නවතම කෘතිය වන ‘මෙත්තම්මා’ කෙටිකතා සංග්‍රහයේ කෙටිකතා දහයම නොයෙක් විෂය ක්ෂේත්‍රයන් තුළ ගලා යයි‍. සුනිල් බොහෝ දුරට තම කෙටිකතා සඳහා තෝරාගත්තේ මනඃකල්පිත සංකල්ප නොව ඔහු සජීවම එදිනෙදා ජීවිතයේ ලැබූ අත්දැකීම් ය. ඔහු‍ෙග් චරිත සියල්ලම ජීවමානය.

සුනිල්ගේ බොහෝ කෙටිකතා දෘෂ්ටාන්ත ලක්ෂණ ප්‍රකට කරයි. තවත් අතකින් යමක් පවසා නිහඬවීමට වඩා ඔහු පාඨකයාට උපදේශාත්මකව යමක් පැවසීමට උත්සාහ ගනියි. “මස් කිරීමකි - මස්වීමකි” කෙටිකතාව එයට උදාහරණයය. එහි එන මංජු සතුන් ඇති කරයි, මරයි, මස්වලට විකුණයි. අවසානයේ ඔහු තමා විසින් මැරීමට තැත් කරන ගවයා අතින්ම ඝාතනය වෙයි‍. සතුන් මැරීම වැනි පාප ක්‍රියා මෙලොවදීම දෑස් පනාපිටම පල දෙන බවට මෙම කතාව ඉඟිකරයි. එහෙත් මේ සතුන් මරණ මංජු නමැති චරිතයේ ගති ස්වභාවයන් ද සියුම් ලෙස නිරූපණය කිරීමට කතුවරයා වෙහෙස දරයි. මංජු නමැති මෙම මිනිසා තමාගේ ජීවිතය රැක ගැනීම සඳහා මෙම සියලු පාප කර්මවලට අවතීර්ණ වෙයි. ඒ නිසාම මංජු කෙරෙහි ද පාඨකයා තුළ ඇතිවන්නේ අනුකම්පාවකි.

පවුල් ජීවිත තුළ පවතින සංකීර්ණ ගැටලු තම කෙටිකතා සඳහා පාදක කර ගැනීමේදී ද යම් යම් උපදේශණාත්මක අදහස් දැක්වීමට ඔහු පසුබට නොවෙයි. වැරදි කළොත් දඬුවම් ලැබෙයි යන උපකල්පනය ඔහුගේ කතා තුළ ගම්‍ය වෙයි. ‘නිසල උයන’ කෙටිකතාවේදී අසරණ මිනිසුන්ගේ ඉඩම් ධනපතියන් විසින් මිලදී ගැනීමෙන් එම අසරණයින් පත්වන තත්ත්වය දේශපාලන තලයක ලා ඉදිරිපත් කිරීමට කතුවරයා වෙහෙසෙයි. බිරිඳක් සැමියෙක් අතර සංවාදයකින් කෙටිකතාව අවසන් කරන සැමියා (සුනන්ද) මෙසේ කියයි.

“උපන් බිමේ අඟලක්වත් නැති උන් මෙහෙම තමයි ක්‍රියා කරන්නේ ඒක යුක්ති සහගතයි කියලා විප්ලවවාදීනුත් කියනවා මිනිස්සු හැසිරෙන්නේ තමන් ගේ ආර්ථිකයට බුද්ධි මට්ටම අනුව, සේරම විසඳෙන්නේ ආර්ථිකය සාධක මත”

සමාජයේ ජීවත්වන චරිත සමාජ දේශපාලන තත්ත්වයන් ගෙන් වියුක්ත කොට නොතබා තේරුම් ගැනීම හොඳ කතාකරුවකුගේ ලක්ෂණයක් ය.

පවුල් ජීවිතයකදී බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් වන දරුවන් නැතිකම ද සුනිල් ගේ අවධානයට ලක්වෙයි. දරුවෙකු නැති සොවින් තැවෙන අඹු සැමි යුවලකගේ ප්‍රේමය කඩා බිඳ දමා නොගෙන ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ දැයි ඉතා උපේක්ෂා සහගත ලෙස බැලීමට ‘විඳවන්නි’ නමැති කෙ‍ටිකතාවෙන් ඔහු උත්සාහ කරයි. ප්‍රේමයේ සුන්දර බව මෙම යුවළ විශ්ව විද්‍යාලයේදී වින්දද, විවාහ වූ පසු දරුවකු නැතිවීම නිසා ඇතිවන ප්‍රශ්නය තම දෙමවුපියන් සහ අනිකුත් පවුලේ අය කෙරෙහි ද බලපාන අයුරු සුනිල් විග්‍රහ කරයි. එහෙත් ජීවිතය කඩා බිඳ නොගෙන මේ ගමනේ යා යුතු බව කතුවරයා අවධාරණය කරන්නේ මනුෂ්‍ය ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන සියළුම බාධක ජයගත යුතු බවට ඉඟි කරමිනි.

“අන්ධභූත ජාතකයට නව පිටුවක්” කෙටිකතාව ද සමාජයේ පවතින විවාහ ජීවිතයක් මුල් කොට ගෙන ලියුමකි. වයස් පරතරය වැඩි පුරුෂයකු තම බිරිය කරගන්නේ තමාට වඩා අඩු වයසැති කාන්තාවකි. ජාතක කතාවක් සිහියට නැගෙන මෙම සිද්ධිය සුනිල් විග්‍රහ කරන්නේ වෙනත් කෝණයකිනි. බොහෝ විට මෙවැනි අවස්ථාවල සිදුවන්නේ ලාබාල තරුණිය තම සැමියා හැරදා ගොස් වෙනත් පිරිමියකු ඇසුරු කිරීමය. ඒ නිසා ම හටගන්න විවාහයේ අර්බුද නිසා ජීවිත විනාශ වී යෑම සාමාන්‍යයෙන් සමාජයේ සිදුවන ක්‍රියාවකි. මහල්ලන් ලාබාල තරුණියන් විවාහකර ගැනීම පිරිහීමට කරුණක් බව බුදු බණේ ද සඳහන් වී ඇත. මෙහි පුරුෂයා වන සුමනසිරි තම බිරිය නිවස තුළ ගාල්කර දොර ගුළු දමා යන්නේ ඔහුගේ සිත ද බිරිය කෙරෙහි සැක සංකා මතු කරන බැවිනි. බිරිය එක්තරා ආකාරයට බොළඳ පුවත්පත් කියවීමට ආසා කළ ද ඒ සඳහා ද අවස්ථාවක් ලබාදීමට සුමනසිරි උත්සුක නොවීම තම බිරිය කෙරෙහි ඔහු දරන ආකල්පය විදහාපායි. නමුත් බිරිය ඒ සියල්ලක්ම විඳ දරාගෙන තම ස්වාමියාට භක්තියෙන් ජීවිතය ගෙවයි. අවසානයේ ඇය මවක් වීම සඳහා සුබ ලකුණු පළ කරයි.

විවාහ ජීවිතයේ දී උත්කෘෂ්ඨ සැපත වන දරුවෙකු ලැබීමේ චේතනාවෙන් ඇය සතුටු වෙයි. විවාහ ජීවිතයේදී අඹු සැමියන් පියවරු මවුවරුවීමේ අවස්ථාව මෙම කතාවෙන් කදිමට නිරූපණය කෙ‍රෙයි.

පවුල් ජීවිත ගැන ලියන සුනිල් ගේ බොහෝ කතා මානව හිතවාදී ගුණයෙන් අනූනය. සමහර විට මෙම වාණිජ සමාජයේ තේරුම් ගැනීමට නොහැකි දේවල් පවා මිනිසුන්ගේ සිත් සතන් ගැඹුරින් හදාරමින් ඔහු චරිත නිර්මාණයේ යුහුසුළු වෙයි. ‘මෙත්තම්මා’ මෙම කෘතියේ විශේෂත්වයක් උසුලන කෙටිකතාවකි. කුඩා දරුවන් දෙදෙනෙකු සහ අඹු සැමි යුවළක් ද ප්‍රියන්ත නමැති ස්වාමියා කලින් විවාහ කරගෙන සිටි මෙත්තම්මා ද යන අපූරු චරිත කිහිපයක් කතුවරයා ඉදිරිපත් කරමින් පාඨක මනස නව ඉසව්වකට ........... යාමට කතුවරයා වෙහෙසෙහි මිනිස් ජීවිත තම පවුල තුළ ද සමාජයේ දී ද සැරි සැරීමේදී මෙම පෘථග්ජන මිනිසුන් මුහුණපාන අධ්‍යාත්මික සහ භෞතික ගැටලු දෙස ඉතා කලාත්මක ලෙස බැලීමට කතුවරයා උත්සාහ දරයි.

විවාහ වී කාලයක් තිස්සේ දරුවකු නොලැබ ලතවෙන ප්‍රියන්ත සහ මෙත්තම්මා එම අර්බුදය ජය ගැනීම සඳහා ක්‍රියා කරන්නේ ඉතාමත් ඉවසිලිවන්ත ලෙසිනි.

දරුවකු නොලැබෙන්නේ කාගේ වරදකින් දැයි නොදත් ඔවුන් අවසානයේ ප්‍රියන්ත වෙන ස්ත්‍රියක් සමඟ විවාහවීමට සිතුවත් මෙත්තම්මා එයට හරස් නොවී ඒ වෙනුවෙන් තම ජීවිතයම කැප කරයි. ප්‍රියන්තට වෙනත් කාන්තාවක් විවාහ කර ගැනීමට මුළු සිතින් ම මෙත්තම්මා අවසර දුන්නද? එම දෙපළට උපදින දරුවන් දෙදෙනා ද අග විකලවම නිසා ප්‍රියන්ත වඩාත් අසරණ තත්ත්වයට පත්වෙයි.

මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටින මෙත්තම්මා ප්‍රියන්තත් නිවසට පැමිණ නතර වී මේ දරුවන් දෙදෙනාව ද හොඳින් රැක බලා ගනිමින් මෙම දරුවන් දෙදෙනාට මවක් මෙන් ප්‍රියන්ත සහ නාලනීට හිතාදර මිතුරියක වෙයි. මේ පුවත බැලූ බැල්මට අභාව්‍ය සිද්ධියක් සේ කෙනෙකුට සිතිය හැක. එහෙත් මානව වර්ගයාගේ පැවැත්ම ඉදිරියට ගලායන්නේ මෙවැනි මිනිස් චරිත අබිමුවට ගැනීමෙන් මේ චරිත කතුවරයාගේ මනස තුළ කෙසේ මැවිණි දැයි සිතා ගත නොහැක.

මා කුඩා කල සිටම දන්නා හඳුනන සුනිල් ගුණවර්ධන තමා හාත්පස ඇති සැබෑ චරිතම තම නිර්මාණ සඳහා යොදා ගැනීම තුළ ම එහි ආවාජ බව මතුවෙයි.

Comments