අඩුවක් පුරවාලීමට උදවු කළ ඇත්තාට නඩුවක් දැමීම යුතුකම ද? | සිළුමිණ

අඩුවක් පුරවාලීමට උදවු කළ ඇත්තාට නඩුවක් දැමීම යුතුකම ද?

 ‘දිරි දෙන සවි දෙන මඟක් නොපාදා පිරිහුමක් ගැන පැවැසුම කොතරම් නැණවත් ද?’ යන සිරසින් 2017 මාර්තු 12 සිළුමිණ සත්මඬලට මවිසින් ලියන ලද ලිපියට පිළිතුරක් ‘විචාරය යනු අසත්‍ය ප්‍රචාරණය නො වේ’ යන හිසින් 2017 මාර්තු 19 සිළුමිණ පත්‍රයට ශ්‍රීනාත් ගණේවත්ත මහතා ලියා ඇත.

මගේ ලිපියේ අරමුණ වූයේ ශ්‍රීනාත් ගණේවත්ත මහතා 2017 ජනවාරි 29 දා ලියූ ‘නිසි ලෙස නොවිමැසුණු හෙළ හවුල් කවි මඟ’ ලිපියට අඩුවක් එකතු කිරීම යි. එම කාරණය විශේෂ කොට ඒ ලිපියෙහි අනුසිරසකින් ද යොදා තිබිණි. ඌනපූරණයක් යනු කෙනකුට අතපසු වූ කාරණයක් තවෙකකු විසින් මතු කර දැක්වීම යි. මවිසින් කරන්ට යෙදුණේ ද එය යි. එහෙත් සිදු වී ඇත්තේ අනෙකකි. එවැන්නක් මතු කර දැක්වූවාට තුති පිදීම වෙනුවට කර ඇත්තේ මාව ගොනකුට අන්දවා වියරු වැටුණු මැරයකු මෙන් ඉවක් බවක් නැති ව පහර දීම ය. ඉනුත් නොනැවතී මා ‘පරයකු’ යන ගර්හාවට ද ලක් කොට ඇත. අනේ කලෙක හැටි! වියත් පඬිවරයකුගේ හැසිරුම! මේ හෙළ හවුල් නයුවාට අඩුවක් සපුරා ලීම නැති නම් ඌනපූරණය වත් තේරුම් ගැනීමට නොහැකි නම්, එහි වරද කාගේ ද?

මට සිදු වුණේ අඩුවක් පුරවා ලීමට ගොස් නඩුවක් වැටීමකි; එනම්: වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටීමකි. ගණේවත්ත මහතාගේ ලිපියෙහි අනුසිරස වී තිබුණේ ‘පරගොඩ සිරි මහතාගේ ලිපිය ගැන විමැසුමක්’ය. එයින් ම ඒ මහතා නොමඟ ගොස් ඇති බව පැහැදිලි ය.

කලබල වීම, ප්‍රකෝප වීම, දුර නොදැකීම, නිහතමානි නොවීම, තේරුම් නොයෑම හේතුවෙන් ගණේවත්ත සූරීන් තමන්ගේ දැනුම තමන් විසින් ම වල්මත් කරගෙන ඇත. තමන් හෙළ හවුලේ වත්මන් නයුවා බව ද ඔහුට අමතක වී ඇත. ඔහු දැන හෝ නොදැන හෙ‍ා් යම් දෙයක් වසාගැනීමට දරන තැතක් පාඨකයාට දිස් වේ. ඔහුගේ නුවණත්, නුවනත් දෙක ම වැසී අවුලක් වී ඇත. එබැවින් මගේ ලිපිය ඔහුට පෙනී ඇත්තේ අනෙක් ඇසකිනි! මගේ වියරණ දුබලකමක් අල්ලාගන්නේ එබැවිනි.

මා වියරණ බාලයකු බව මගේ ලිපියේ ම සඳහනි; එහෙත් කුමරතුඟු මඟට කැමැත්තක් ඇති බව ද ප්‍රකාශ කර ඇත. එසේ තිබිය දීත් ‍ඔවුන් මට වියරණ දඬුමුගුරින් පහර දෙන්නේ සාහසික මැරයකු පරිද්දෙනි. එපමණකින් නොනවතින ඔහු මට ‘ගොනා’ යයි පරිභව කරති. එසේ ම ‘පර’ වදන අල්ලාගෙන මා පරයකු බව පවසා, පර වැඩ නොකරන ලෙස ඉල්ලන ගණේවත්ත පඬිතුමාණෝ මට මගේ වැඩක් බලාගෙන ඉන්නා ලෙස නියෝවක් ද කරති.

පඬිතුමනි! මා පමණක් නො ව, රටේ ජනපති සිට වැඩ කරන සැම අය ම කරන්නේ ද පර වැඩ ය. ලේඛකයන් ද කලාකරුවන් ද කම්කරුවන් ද කරන්නේ පර වැඩ ය. ආගමික ශාස්තෘෘහු ද පෙනෙන නොපෙනෙන සත්ත්වයෝ ද පර වැඩෙහි යෙදෙති. සත්‍යය එසේ වන කල මා පර වැඩ නොකර ඉන්නේ කෙසේ ද? මගේ උපන් නාමය හැර, ‘පරගොඩ සිරි’ යැ යි යෙදුමෙන් ම මා පර වැඩට ම උපන්නකු බව හැඟැවේ. අනුන්ට වැඩ කිරීම පින්කමක් බව දහමේ ඉගැන්වේ.

වියරණය ගැන පැහැදිලි කළොත් එයට මා ද කැමැති ය. එසේ වුව ද හෙළ හවුල් පඬිවරුන් තරම් මට එහි හැකියාවක් නැත. ජන වහරට හුරු ව ලිවීම මගේ වියරණය යි. මා වැනි සොච්චමකුට වියරණය වැරැදීම කාරණයක් ද? හෙළදිව මහගත්කරු ලෙස පිදුම් ලබන මාර්ටින් වික්‍රමසිංහයන්ටත් වියරණ බැරි බව පෙන්වා දුන්නෝ ද හෙළ හවුලේ අය ම යි. වියරණය වැරදි නම් ඔහු මහගත්කරු ලෙස බැබළෙන්නේ කෙසේ ද? සරසවිවල ඉගැන්වුමෙහි නිරත මහැදුරන්ටත් වියරණය බැරි බව පෙනෙනවා නම්, වියරණ වැරැදි ගහන පුස්තකවලට සම්මාන පිට සම්මාන පිදෙනවා නම්, රජයත් ඒ සඳහා සම්මාන පුද දෙනවා නම් මා වැනි සිඟිත්තෙක් ඒ අතර මොකෙක් ද?

තවත් පැනයක් මට මෙහි දී පැන නැ‍ඟෙයි. මා සැකැසූ ‘හෙළ රුවන’ පත අඛණ්ඩ ව වසර පසළොසක් පවත්වාගෙන යනු ලැබිණි. එය ප්‍රකාශනය කළ සංවිධානයෙහි අදියුරු මඬුල්ල හත් දෙනෙකි. ඉන් අයෙක් වූවාහු අරීසෙන් අහුබුදුවෝ ය. එහෙත් එතුමා කිසිදු දිනෙක වියරණය නොරකින චෝදනාවක් අපට නඟා නැත. එතුමා ලියූ ලිපි ද නිතර එහි පළ විය. ඒ ඇරත් අනඳපිය කුඩාතිහි පුවත්පත් කලාවේදි භාෂා විශාරදණෝ ද ලිපි සැපයූ හ. එවැනි ගිහි-පැවිදි වියත්හු රැසක් ම ලිපි සැපයූවන් අතර වෙති. එපමණක් නො ව, මාගේ ‘සවිය සතුට දෙන ඉසුරුමත් දිවියකට’ ග්‍රන්ථය දොරට වැඩුමට පෙර බසෙහි අඩුලුහුඬු තැන් විමසා බැලූවහු ද පෙරවදනක් සැප‍යූවාහු ද අනඳපිය කුඩාතිහි සූරීහුය. පද බෙදුම හැරුණු විට වෙනත් දොසක් ඔවුන් දැක තිබුණේ නැත. එපොත දොරට වැඩුමේ උලෙළෙහි දෙසුම පැවැත්වූවෝ කලාසූරී අරීසෙන් අහුබුදු වියතාණෝ ය.

මගේ අරමුණ ගණේවත්ත පඬිවරයාණන් අපහසුවට කිරීම නො වේ; හෑල්ලු කිරීම නො වේ; බස් වහරෙහි යථාර්ථය සිහිපත් කිරීම ය. මේ සටහන කුමරතුඟුන්ගේ සියවස් උපත් සමරුවේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු මෙන් ම භාෂා විශාරදයකු ව ද සිටි ආචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල වියතාණන් දැක්වූ අදහස්වලින් උපුටා ගත්තකි:

“සිංහලය ව්‍යවහාරයක් හැටියට අප ගත්තොත් භාෂාව ‘මෙහෙම ලියන්නෙයි මෙහෙම ලියන්නෙයි’ කියලා කිසි කෙනකුට කියන්න බෑ. ‘වහරනුසෙරෙන් සපයා’ - ව්‍යවහාරය අනුසාරයෙන් සපයන්නෙයි කියල තියෙනවා. ඒක නිසා තමයි මේ ‘සිංහල භාෂා වර්ෂය’ කියලා ලියලා තියෙන්නේ. ඒ නිසා භාෂාව කියන එක කිසි කෙනකුට සම්මතයක් අනුව පිහිටුවන්න බෑ. ‘මෙහෙම ලියාපියව් මෙහෙම ලියාපියව්’ කීවාට කිසි කෙනකුට ඒක කරන්ට බෑ.”

(උපුටාගැනීම: සසඳු සටහන්, පිටුව 13, සකසුවෝ: වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම, හෙන්රි ඩබ්ලිව්. දහනායක, ප්‍රකාශනය: දේශීය වෛද්‍ය ආරක්ෂක පදනම)

වියරණය පිළිබඳ ව එබඳු වටපිටාවක් තිබිය දී ඒ දුබලකම පෙන්නා සැබෑ කරුණින් පලා යෑමට ගණේවත්ත පඬිතුමා උත්සාහ කරන්නේ ඇයි? හෙළ හවුල ඇසුරෙන් නව පරපුරක් මතු වීම දැකුමට හේ අකැමැති ද? සෝමපාල බුලත්සිංහල වැනියන් වසං කිරීමේ වෑයම පිටුපස ඇති සැබෑ රහස කුමක් ද? ‘ඔහුගේ නම එතැනට නුසුදුසු වීමට’ හේතුව කුමක් ද? ඔවුන් දක්වන අමරසිරි පොන්නම්පෙරුම, තාරක රණසිංහ බුලත්සිංහලයන්ට ඉහළින් පෙන්වා ඇති සවිය කුමක් ද?

“ඔබ මහ කිවියෙක්
වෙත්වා අරුත් පද වැකි
හැම පිරිසුදු වී නැඟැ
ඔබට මඟ සලසාවා!

“පොරණ කිවිවරන්
නුදුටු විසිත් අරුත් මල්
ඔබ සිත් කප් තුරු අගැ
පිපී ලොව පිනවා වා!

“කිවි බව් ගිනි කඳ
මොළවන්නට සමත් වන
පින් පුලිඟුව ඔබට ද
ඇති වැ සැඟැවී පවතී!”

 

කුමරතුඟුන් ‘විරිත් වැකිය’ මඟින් නව පරපුර දිරි ගැන්වූයේ එපරිද්දෙනි. එහෙත් වත්මන් හෙළ හවුල් නයු දිරිය සවිය ඇතිවුන් දැකදැකත් හලන්නේ තමා හැර අනෙකකු නැ‍ඟෙතැ යි බියෙන් ද? නැත හොත් යටි සිත නළියන ඉසි හැඟුමින් ද?

කුමරතුඟුන් සරසවි පට නොලදුයේ වුව ඔහු මෙහෙය මහ විසල්ය. බස - සුබස කිරීම, විමැසුම, සැසැඳුම, විවිසුම, නිමැවුම, ගුරුකම ඒ අතර මුල් තැන් ගනී. ඉන් පහළ බිහි වූ හෙළ නයුවන් ද යම් යම් දෑ-මෙහෙවරෙහි මතු ව පෙනෙන ලකුණු තබා ගොස් ඇත. අරීසෙන් අහුබුදුවෝ ඒ අතර ඉහළින් ම මතු ව පෙනෙන නැණ‍වතෙකි. කුමරතුඟුන් නොගිය දුරක් ඔවුන් ගියා යැ යි සිතෙන බවක් ද දැකිය හැකි ය. කවිය, ගීය, නළුව, යටගියාව, වියරණය, දෝ සතර, නම් තැබීම, දෙසුම ඈ ඉසවු රැසක අහුබුදුවෝ බැබැළුැණහ. මේ නන් නයින් ඔවුන් බස, රැස, දෙස උදෙසා දැල්වූ එළිය අමිල ය.

එහෙත් වත්මන් හෙළ හවුල් නයුවා පවසන්නේ ‘අද නො වැ අප කෙරුම් හෙට යි,’ කියා ය. සැබැවින් ම එය කුමරතුඟු - හෙළ හවුල් න්‍යාය ද?

ගණේවත්ත පඬිතුමාණෝ මගේ ලිපියට පිළිතුරක් දීම අපරාධයකැ යි ද, එවැන්නකට කාලය නාස්ති කිරීම හා වැදගත් පුවත්පතක ඉඩ වෙන් කිරීම නුසුදුසු නමුත් සිළුමිණ පාඨකයා මුළා වන බැවින් කෙටියෙන් හෝ කරුණු දක්වන බව ද පවසති. පඬිතුමනි! මා ඔබෙන් පිළිතුරු පැතූවෙත් නැත; පාඨකයා මුළාවේ ලෑවෙත් නැත. මා කළේ අඩුවක් පුරවා ලීම ය. එයින් පාඨකයා මුළා වන්නේ කෙසේ ද? අනෙක, සිළුමිණ පාඨකයා ඔබ කියන තරම් දුගියෙක් නො වේ; නැණැස ඇත්තෙකි. එදා සිළුමිණ ශත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ප්‍රකට විය. කලින් කල පිපෙන මලින් මලේ ගුණ සුවඳ වෙනස් වේ. සිළුමිණ ද එසේ ය. අද සිළුමිණ බලන්නකුට දැනෙන්නේ ද සරසවියකට ගියා වැනි ය. ඒ වත්මන් සකසු මඬුල්ලේ වෙනස යි; දස්කම යි.

ඔබගේ දැකුමෙහි දුගී භාවයට අන් අය පළි නැත. මගේ ලියමන ඔබට ‘අනන්-මනන්’ වූවාට නැණැති පාඨකයා එය තේරුම් ගත්තා නිසැක ය. සැබැවින් ම අනන් මනන් ලියා ඇත්තේ මා නො ව, ඔබ ය. ඔබගේ ලිපිය ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල් ය’. ‘පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බෑ’ ය යි ගමේ අය කියන්නේ ඔවැනි අවස්ථාවලට යි.

පඬිතුමනි! බලන්න ඔබේ පිළිතුරු ලිපිය පෙරළා. ඒ පුංචි ලිපියේ මගේ නම අට පොළක සඳහන් කර ඇත. ඒ ඇරුණු කල ‘පර’ වදන ද ඒ සමාන ව යොදමින් මා පහතට දමා ඇත. එහෙත් මා ලියූ ලිපියෙහි ඔබේ නම මා ලියා ඇත්තේ තැනක පමණි. එය ද ලියා ඇත්තේ ‘ශ්‍රීනාත් ගණේවත්ත වියතාණෝ’ කියා ගෞරවාර්ථයෙනි.

ශ්‍රීනාත් ගණේවත්ත වියත් පඬිතුමනි,

හැම බලයකට ම වඩා කලබලය අනතුරුදායක ය. එසේ වූ කල තමන් ම වැටෙන්නේ අලි අමාරුවේ ය. නැණවතකු යනු හුදු වදන් ඉපලක් නො වේ. සියලු අතින් දැකීමෙහි සහ ක්‍රියා කිරීමෙහි හැකියාව සතු පුද්ගලයා යි. කිසියම් නායකත්වයක් දරන්නා හුදු තනතුරෙහි හෝ මෙහෙයුමෙහි හෝ නිරත වන විට ඉන් ලබන හෝ ලැබෙන පලය උසස් විය යුතු ය. නමට නායක වන්නන් කමට හෝ ගමට වැඩක් නැත. පිරිහුමක් ඇති වනවා කියන්නේ එවිට යි. දකින, පෙනෙන, දැනෙන දේ වත් ලෝ හමුවේ කියන්ට පසු බාන්නේ නම් එය බරපතළ දුබලකමකි. ‘දිරි දෙන සවි දෙන මඟක් නොපාදා, පිරිහුමක් ගැන පැවැසුම කොතරම් නැණවත් ද?’ යි විමසූ කල ඊට පරල වී, ‘මල්ලේ පොල්’ ය යි පැවැසුම මඟින් අවබෝධ වන්නේ කුමක් ද?

“මෙහි වියත් අවියත්
සියල් වදනුත් මෙ පහන්
ගුණෙන් පවතී සවාරෙත්
තෙමෙ ලෝයා පවත්මින්”

සියබස්ලකරකරු මින් කියන්නේ කුමක් ද? එසේ වේ ලෝක සත්‍යය. මගේ දුබල තැනක් අල්ලාගෙන සැබෑ කරුණින් පලා යෑම පණ්ඩිතකමක් ද? අං ද නැති, කුර ද නැති අසරණ අහිංසක ගොනකුට සාහසික ලෙස පෙරළ පෙරළා පහර දෙන අයකුට උපමා කළ යුත්තේ කවර සතකු ද? ‘නයා’ කියා ද? ‘පොළඟා’ කියා ද? නැත් නම් ‘බූරුවා’ කියා ද?

ශ්‍රීනාත් ගණේවත්ත පඬිතුමාට කවරකු හෝ ‘බූරුවා’ ය යි අවමන් කරනවා නම් මම එයට තරයේ විරුද්ධ වෙමි. මන්ද: බූරුවාගේ නිදහසට එය අපහාසයක් වන බැවිනි.


කේ.කේ. සමන් කුමාරට වැරදුණු තැනක්

පසුගිය 12 වෙනිදා සිළුමිණ ‘සත්මඬලේ’ මා සම්බන්ධ කොට සටහන්ව තිබුනු කාරනයක් සම්බන්ධවයි:

ලේඛක කේ.කේ. සමන් කුමාර සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙන සුනිල් මිහිඳුකුල පහත සඳහන් ප්‍රශ්නය ඔහු වෙත යොමු කරනවා:

“ඔබ අජිත්ගේ ගෝලයෙක් නේද?”

ලේඛකයා දෙන පිලිතුර:

“ඔහු මගේ ‘සර්පයකු හා සටන් වැද’ පොත කියවලා මට එන්න කිව්වා. ඒ ගියාම ඔහු කියාපු දේ තමයි ‘සමන් මාර්ටින් වික්‍රමසිංහ වගේ කබල් කෙටිකතාකාරයෙක් වුනා නම් මං මේ විදිහට සමන්ට එන්න කියන්නේ නෑ...’”

මගේ පාසල් සමයේදී කෙටිකතා මාධ්‍යය මම යම් පමනකට හෝ හඳුනාගත්තේ මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා සහ එදිරිවීර සරච්චන්ද්‍රත් ඒ.පී. ගුණරත්නත් එකතුව පරිවර්තනය කොට පල කරපු ප්‍රංස සහ රුසියන් කෙටිකතා කියවීමෙන්. ‘මාර්ටින් වික්‍රමසිංහ කබල් කෙටිකතාකාරයෙක්’ යැයි මම කිසිවෙක් සමග එදා කිව්වේත් නෑ; අද කියන්නේත් නෑ.

අපේ පුරෝගාමීන්ට නිග්‍රහ කොට ඉන් පිම්මක් පැනලා අත් කරගන්න පුලුවන් ජයග්‍රහන නෑ.

තවද, සාහිත්‍ය ක්ශේත්‍රයේ මට ‘ගෝලයෝ’ ඇත්තේත් නෑ.

අජිත් තිලකසේන

Comments