ලන්ඩන් පාලම සැබැවින්ම බිඳ වැටුණොත්... | Page 583 | සිළුමිණ

ලන්ඩන් පාලම සැබැවින්ම බිඳ වැටුණොත්...

මෑත ඉතිහාසයේ ලොව ඉතිරිව ඇති රජ පවුල් අතරින් වඩාත් ජනප්‍රිය හා වඩාත් කතා බහට ලක් වූ රජ පවුල වන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලයි. එයට ප්‍රධානම හේතුව දෙවැනි එලිසබත් මහ රැජනය. 1926 අප්‍රේල් මස 21 වැනි දින උපත ලද ඇගේ උපත සම්ප්‍රදායානුකූලව සමරනුයේ ජූනි මාසයේය.මෙතෙක් ලොව බිහිවූ රාජ්‍ය නායිකාවන් අතරින් ‍මුළු ලෝකයේම සම්භාවනාවට ලක්වූ නායිකාව වන්නේ ද ඇයය. මේ වසර ආරම්භයේ දී රුසියානු ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ බ්‍රිතාන්‍ය මහ රැජන අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගයේ නිල වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලැබූ බවකි. මහ රැජනගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඇය මේ වසර උදාවේ උත්සවවලට සහ නත්තල් නිල උත්සවවලට සහභාගි නොවීම එම ප්‍රවෘත්තිවලට පාදක වන්නට ඇත. එහෙත් වැඩි වේලාවක් යෑමට මත්තෙන් එම පුවත අසත්‍යයක් බවට නිවේදනය වීමත් සමඟ රුසියානු ප්‍රවෘත්ති සේවය එම ප්‍රවෘත්තිය ඉවත් කර ගත්තේය.

බ්‍රිතාන්‍ය මහ රැජනගේ අභාවය සිදු වූයේනම් සැබැවින්ම එය ලෝක පුවතකි. පසුගිය දා එංගලන්තයේ 'ද ගාඩියන්' පුවත් පත පළ කළ ලිපියක් සමඟ මහ රැජනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය පිළිබඳ ලොව පුරා යළි කතාබහක් ඇතිවිය. ගාඩියන් පුවත් පත එම පුවත ආරම්භ කර තිබුණේ බ්‍රිතාන්‍ය හෙල්ලුම් කන දස දිනක් යනුවෙනි. රාජකීයකුගේ අභාවයක් යනු මහා බ්‍රිතාන්‍යය දශක හයකට මෙහා අත්නොදුටු අත්දැකීමකි. එනිසාම රැජනගේ අභාවයෙන් පසු කටයුතු කෙසේ වේද යන්න ආන්දෝලනයකට තුඩුදුන්නකි. මේ කුතුහලය සමනය කරමින් රැජනගේ අභාවයෙන් දින නවයක් ගතවනතුරු විශේෂයෙන්ම රැජනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය කිරීටයේ මීළඟ හිමිකරු පත්වීම හා මහ රැජනගේ අවමඟුල් කටයුතු සිදුකෙරෙන ආකාරය ගැන තොරතුරු ගාඩියන් පුවත් පතේ ලිපියට ඇතුළත් විය. ඉන් අනාවරණය වූ අන්දමට මේ සියලු කටයුතු සංවිධානය කර ඇත්තේ වසර ගණනාවකට පෙරය. එහෙත් ඒ බව හෙළිවී ඇත්තේ මෑතකදීය.

ගාඩියන් පුවත් පතට අනුව රැජනගේ අභාවයේ පුවත ඇගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් ප්‍රථමයෙන්ම දැනුම් දෙනුයේ ඇගේ පෞද්ගලික ලේකම්වරයා වෙතය. බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ අභාවයන් දැනුම් දීම සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙනුයේ රහස් කේතයක් භාවිත කරමිනි. රැජනගේ අභාවය දැනුම් දීමේ රහස් කේතය ලෙස තෝරාගෙන ඇත්තේ 'ලන්ඩන් පාලම බිඳ වැටුණා' යන්නය. මින් වසර 65කට පෙර 6වැනි ජෝර්ජ් රජු ගේ අභාවයේදී ඒ පුවත දැනුම් දී ඇත්තේ 'හයිඩ් පාක් කෝනර්' යන කේත වදනෙනි. ‍මහ රැජනගේ අභාවය පිළිබඳ පුවත ලොවට හෙළි කිරීමේ බලධරයා වන්නේ ඇගේ පෞද්ගලික ලේකම්වරයාය. අභාවයේ පුවත ඔහු විසින් මීළඟට දැනුම් දිය යුත්තේ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය වෙතය. යම් ලෙසකින් ඒ මොහොතේ ඇය නින්දේ පසුවුවහොත් අවදි කර ‍මේ ශෝකජනක පුවත දැනුම් දිය යුතුය. රැජන නායකත්වය දරණ රටවල් 15ක රාජ්‍ය නායකයන් වෙත අභාවයේ පුවත දැනුම් දිය යුත්තේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය මගිනි. අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩල රටවලට පුවත දැනුම් දෙනු ලැබේ.

මේ අතරතුර තුරදී බ්‍රිතාන්‍ය මාධ්‍ය හදිසි පුවතක් ප්‍රචාරය කිරීමට සූදානම් කරමින් ඒ බව දනවන වදන් ප්‍රචාරය කරද්දී මාලිගයේ වෙබ් අඩවිය කළු පසුබිමකින් යුතුව එක් පිටුවකට සීමා වෙමින් පිටුව පුරා එකම වදන් පෙළකින් මහ රැජනගේ අභාවය නිවේදනය කරන්නේය. බ්‍රිතාන්‍ය බීබීසී ගුවන් විදුලියට අනෙක් ‍ගුවන් සේවා අතරින් මෙහිදී විශේෂත්වයක් නොදැක්වේ. බීබීසීය ද හදිසි විකාශයක් සඳහා සූදානම් වීමේ සංගීත කණ්ඩ වාදනය කළ යුතු අතර රටේ සියලුම මාධ්‍ය වෙත පුවත දැනුම් දෙනුයේ එකවරය . රැජනගේ අභාවයෙන් පසු වාදනය කළ යුතු සංගීත පට ද මේ වෙද්දී තෝරාගෙන හමාරය. අභාවයෙන් අනතුරුව රූපවාහිනී නිවේදකයන් කළු ඇඳුමින් හා කළු ටයි පටිවලින් සැරසී ප්‍රවෘත්ති නිවේදනය කළ යුතු අතර එදිනෙදා විකාශය කෙරෙන සියලු සාමාන්‍ය වැඩ සටහන් අත් හිටැවේ.

මිහිමත සිටින අයට පමණක් නොව ගුවනේ සිටින අයට ද රැජනගේ අභාවය දැනුම් දීමට මේ වෙද්දී කටයුතු යොදා ඇත. ගුවන් යානාවල නියමුවන් අභාවය පිළිබඳ දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔවුන් ගුවන් මගීනට අභාවය දැනුම් දෙනු ඇත්තේය. අභාවය දැනුම් දීමත් සමඟ රටපුරා ධාවනය වන මගී බස් රථ මොහොතකට නැවැත්වෙන අතර රියැදුරන් බස් රථවලින් බැස පාරේ පසෙකින් සිට ගනිද්දී දුම්රිය ස්ථාන දෛනිකව සිදු කෙරෙන නිවේදන අත්හිටවේ.

කටයුතු මෙලෙස සිදු වෙද්දී අවමඟුල් ඇඳුමින් සැරසුණු බකිංහැම් මාලිගයේ සේවකයෙක් මාලිගයේ දොරකඩ පෙනී සිටිමින් අභාවයේ පුවත සඳහන් දැන්වීමක් මාලිගයේ ගේට්ටුවේ එල්ලා මරණය දැනුම් දෙනු ලැබේ. මාලිගයේ සියලු දෙනා මෙන්ම අන් අයද අඟල් තුනයි කාලක පළලින් යුතු කළු පටියක් වමතේ පලඳිනු ඇත. රැජනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය වැසියන්ට දිගු නිවාඩු කාලයක් ලැබෙන අතර එදින සේවයට පැමිණ සිටින්නන් හරවා යැවේ.

මහ රැජනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය හදිසි පාර්ලිමේන්තු සැසියක් කැඳවෙන අතර ඉදිරි කටයුතු සාකච්ජාවට ලක් කෙරේ. යම්කිසි ලෙසකින් රැජනගේ අභාවය විදේශයකදී සිදු වූයේනම් දේහය රැගෙන ඒමට විශේෂ ජෙට් ගුවන් යානයක් යෙදවේ. එහෙත් වාර්තා වන්නේ රැජන සිය අවසන් දින කීපය ඇය වසරේ මාස තුනක කාලයක් ගත කරන ඇගේ පෞද්ගලික මාලිගයක් වන බැල්මොරල් මාලිගයේ ගත කරනු ඇති බවයි. එසේ නොමැතිනම් ඇය එඩින්බර්ග් හි ඒ අවසන් දින කීපය ගත කරනු ඇත. මහ රැජන කොතැනක මිය ගියද ඇගේ දේහය ප්‍රථමයෙන්ම තැන්පත් කෙරෙනුයේ බකිංහැම් මාලිගයේ ඔටුනු කාමරයේය. ඒ අවස්ථාවට රජ පවුලේ සියල්ලෝම සහභාගි වීමට නියමිතය. අනතුරුව දේහය වෙස්මිනිස්ටර් හි සිවු දිනක් තබා අවමඟුල් දිනයේ දී වෙස්මිනිස්ටර් දේවස්ථානය වෙත ගෙන යෑමට නියමිතය. අභාවයෙන් නවවැනි දින පැවැත්වෙන අවමඟුල් උලෙළින් පසු මහ රැජනගේ දේහය සිය මවුපියන් මිහිදන් කළ ස්ථානයේම තැන්පත් කෙරෙනු ඇත.

කෙසේවුව බ්‍රිතාන්‍ය කොඩිය අඩකුඹු කර තැබෙනුයේ එක් දිනක් පමණි. මහරැජනගේ අභාවය මෙන්ම කිරීටයට නව රජකු පත් කිරීමේද චාරිත්‍ර කීපයක් මේ අවසන් සැලසුමට එක්ව ඇත්තේය. ඒ අනුව චාල්ස් කුමරු දිවුරුම් දෙනුයේ තුන්වැනි චාල්ස් රජු ලෙසිනි. රැජනගේ අභාවයෙන් පසු එළැඹෙන දින පෙරවරු 11ට එම දිවුරුම් දීම සිදුවනු ඇත.

මහ රැජනගේ අභාවය පිළිබඳ මේ සියලු කටයුතු සැලසුම් කරනු ලැබ ඇත්තේ හැට ගණන්වලදීය. පසුකලීනව එයට විවිධ අංග එකතු වී තිබේ. එහෙත් සැබැවින්ම මහ රැජන මියගිය පසු සිදුවන ‍දේ පිළිබඳ තවමත් කවුරුත් ‍නොදනී.

සේමාලි කැල්ලපත

Comments

The picture shown here is NOT London Bridge! This is called Tower Bridge! Get your facts right Silumuna!

පිටු