දුටුගැමුණු රජුට නැඟණියක සිටියාද | Page 2 | සිළුමිණ

දුටුගැමුණු රජුට නැඟණියක සිටියාද

දුටුගැමුණු රජුගේ සහෝදරියක විසින් පරිත්‍යාග කරන ලද පාත්‍රයක කොටසක් ලෙස සැලකෙන අභිලේඛනයක සටහනට අනුව දුටුගැමුණු රජුගේ සහෝදරියක පිළිබඳ පුවත රට ම දන්නා කාරණයකි. ඇය සොයා ගනු ලැබුයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩ විතාන මහතා විසිනි. ඔහු ඒ බව සනාථ කිරීම උදෙසා බොහෝ වෙහෙස වී ඇත. එහි සඳහන් වන ‘ අයතිශ හ ඣිත අ‘ යන සටහන මගින් කාවන්තිස්ස රජුගේ දියණියක පිළිබඳ කියැවෙන්නේ යැයි නාගොඩ විතාන මහතා ප්‍රකාශ කරයි. අදාළ අභිලේඛනය මේ වනවිට මාතර තාරකා කොටුවේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තිබේ. තිස්සමහාරාමයේ අකුරුගොඩ හෙවත් වර්තමානයේ සර්වෝදය වත්ත ලෙස හඳුන්වන ප්‍රදේශයේ 1992 -1995 අතර කාලයේ ජර්මනියේ කාවා ආයතනය හා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව එක්ව කරන ලද පර්යේෂණ කැණීමක දී හමු වී ඇත. මෙම පර්යේෂණයේ දී දෙරටේ ම පුරාවිද්‍යාඥයන්ට කැණීම් ක්‍රමවේදයන් පිළිබඳ පුහුණුවීම් ද සිදු කර තිබේ. එම පර්යේෂණ වාර්තාව ANCIENT RUHUNA (sri lanka-german archaeological project) නමින් H.J. WEISSHAAR, H. ROTH, W. WIJAYAPALA යන මහත්වරුන්ගේ සම කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ.

ක්‍රිස්තු පූර්ව 3වැනි සියවසේ සිට මහා නාග කුමාරයා රුහුණුරට තිස්ස මහාරාමය තම අගනගරය කොට රජ කළේය. තිස්ස මහාරාමය යනු ලංකාවේ මුල් අගනුවර ලෙස සැලකෙන අනුරාධපුරය ඇතුළු නුවර තරම් ම ඓතිහාසික වටිනාකමකින් යුතු භූමි ප්‍රදේශයක් ලෙස පර්යේෂණ කැණීමේ දී හඳුනාගෙන ඇත. අනුරාධපුර ඇතුළු නුවරට සමානව පස් ස්ථරය මීටර් අටක් ගැඹුරට විහිදෙන අතර පස් ස්ථර නොවිසිරි ඇත. කැණීම් භූමියේන් ලබා ගත් කාබන් දින නියමයන් ක්‍රිස්තු පූර්වයෙන් 6වැනි සියවසට අයත්වේ. මේ ස්ථානයේන් ක්‍රි. පූ. 6 වැනි සිය වසට අයත් ජනාවාස තොරතුරු ලැබී ඇත. මෙම කැණීම අනුරාධපුර ඇතුළු නුවර කැණීම, කන්තරෝඩෛ කැණීම, මන්නාරම් කැණීම හා කැලණිය පිලපිටියට කැණීමට සමානය. මේ කැණීම් සියල්ල මගින්ම ලංකාවේ ප්‍රෝටෝ ඓතිහාසික යුගයට අයත්, එනම් ලංකාවේ ප්‍රාග් ඉතිහාසයට හා ඉතිහාසය අතර කාලයට වැටෙන කාල නිර්ණයන් ලැබී ඇත. ඉහත කැණිම් සියල්ල මගින් ක්‍රි. පූර්වයෙන් 6වැනි සියවස වෙද්දි දියුණු සංස්කෘතික ලක්ෂණයන් ගෙන් යුතු ශිෂ්ට‍ාචාරයක් පැවැති බව තහවුරු වී ඇත. මහින්දාගමනයත් සමඟ සංස්කෘතික සමාජය ස්ථාවර වීම සිදු වී තිබේ. එසේ ස්ථාවර වී ඇත්තේ මහින්දාගමනය සමඟ ගල් මත අක්ෂර සටහන් කිරීමට හා ඒ සමඟ ලංකාවට පැමිණි දහ අට කුලයක ශීල්පීන් හේතුවෙනි.

තිස්සමහාරාම කැණීමේ දී ක්‍රිස්තු පූර්ව 3-2 කාලයට අයත් ගොඩනැඟිලි අවශේෂ, වහලය හෙවිලි කරන මැටි උළු, කාලරක්ත මැටිබඳුන් හා පබලු, අබරණ, අතීතයේ භාවිත වූ ලිප හස් එබු කාසි, ලක්ෂ්මී කාසි හා ලංකාවේ භාවිත වු ඉපැරණි කාසි රැසක් කැණීමේ දී හමු විය. මෙම කැණිමේ හමු වූ දෑ අතර වී මුට්ටිය විශේෂ වේ. මතුපිට සිට මීටර් 6 පමණ ගැඹුරේදී ගොඩනැගිලි අවශේෂ අතර මැටි මුට්ටියක බහා මැටි මුට්ටියකින් වසා තිබූ මේ වී බඳුන සුරක්ෂිතව හමු වු අතර එම ධාන්‍ය වී බව මහාචාර්ය මාරඹේ විසින් තහවුරු කර තිබිණ.

ඊට අමතරව රන් පත් (තුනි රන් ලෝහ පත්‍ර) තුනක් හමු වි ඇති අතර එවා මි.මි. 8, 10 හා 1.5 බැගින් වූ දිගින් යුතු ඒවා විය.

මේ කැණීම ලංකා ඉතිහාසයේ බොහෝ සැඟවූණු දේ මතුවු අවස්ථාවක් ලෙස සැලැකේ. එහි අගය තව දුරටත් වැඩි වන්නේ කාවන්තිස්සගේ දියණියක පිළිබඳ තතු හමු වීමත් සමඟය. මේ හමු වූ අභිලේඛනය සහිත පාත්‍ර කොටස කාලනිර්ණයට අනුව හා අක්ෂර රටා අනුව ක්‍රි.පූ. 2-1 යුගයටඅයත්ය. එනම් අවුරුදු 2200ක් පැරැණිය. මේ කැණීම සඳහා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වු ඩබ්ලිව්. විජයපාල මහතා ද සහභාගි විය. අභිලේඛනය වැදගත් කරුණක් සහිත බැවින් කෞතුකාගාරයේ තැන්පත් කළ ද එයට අර්ථයක් දීමට ඔවුහූ උත්සාහ නොකළහ. ඔවුන්ට ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොවීය.

කාවන්තිස්ස යනු රුහුණු රට නිහඬ වීරයා ය. හෙතෙම අනුරාධපුරයේ රජ කළ එළාරට මුහුණදීමට තරම් ශක්තිමත් ප්‍රාදේශීය රාජ්‍යයක් බවට රුහුණ පත් කළේය. ආවාහ විවාහ අාගමික කටයුතු හා යුද ක්‍රියාකාරකම් හරහා රටේ අනේක් ප්‍රදේශ තම ආධිපත්‍යට නතු කර ගත්තේය. සශ්‍රීක භූමියක් වූ රුහුණේ කාවන් තිස්ස රජුට දූවරුන් සීටි බව ද ඔවුන් පැවිදිව සිටි බව ද දීප වංශයේ සඳහන්වේ. “ කාවන්තිස්ස රජු ගේ මනා සේ ධර්මයෙහි දක්ෂ වූ සියලු දියණියෝ මේ වන විට භික්ෂුණියන් වී සිටිය හ“ යි දීප වංශයේ 18 වැනි පරිච්ඡෙදයේ සඳහන්ය. එහෙත් එය මහාවංශය සඳහන් කොට නැත. රූපසම්පත්තියෙන් අනූන විහාර මහා දේවියට එක් දියණියක් හෝ සිටියා නම් මහා වංශය එය අමතක කර දමන්නේ නැත. බුද්ධි නාගොඩවිතාන පවසන පරිදි එම දියණිවරුන් කාවන්තිස්ස රජුගේ අන් බිසවකගේ දියණියන් විය හැකිය.

අවධානයට යොමු වූ කාලරක්ත මැටිපාත්‍රෙයහි වූ අභිලේඛනයේ ‘අයතිෂ‘ ලෙස හඳුන්වන්නේ කාවන්තිස්ස රජු බව පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන පවසයි. අතීත රුහුණට අයත් බෝවත්තේගල, සමන්ගල, කුසලාන්කන්ද, මොට්ටයාකල්ලු ආදි ස්ථානයන්ගෙන් හමු වු පූර්ව බ්‍රහ්මීය සෙල්ලිපිවලින් එම කාරණාව තහවුරු වී ඇතයි යන්න ඔහු ගේ අදහසයි. එම ශිලා ලේඛනයන්හි ‘අය තිෂ‘ ‘රඣ තිෂ‘ ‘ ගමණි තිෂ‘ වන නම් වලින් කාවන් තිස්ස රජු හඳුන්වා තිබේ. එම සාධක මත අභිලේඛනයේ කියැවෙන ‘ඣිත‘ (දියණිය ) කාවන් තිස්ස රජුගේ දියණියක බව ද එහෙයින් ඕ තොමෝ දුටුගැමුණු රජුගේ නැගණියක් වන බව ද පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාගෙන් අපි ඒ පිළිබඳ විමසීමු.

මට පුරාවිදයාඥයෙක් ලෙස ඉහත මතටය එකඟ වෙන්න බැහැ. අපි මේ පිළිබඳ විමර්ශනාත්මකව බැලිය යුතුයි.

‘අය‘ යනු රාජකීය පවුලේ කුමාරවරුනට යෙදෙන ‘ආර්ය‘ නම් ගෞරව නාමයක්. (prince) තිෂ යනු තිස්ස යන නාම යයි . ‘හ‘ යන්නෙන් අයිතිය හෙවත් ‘ගේ‘ ඉන් තිස්ස කුමාරයාගේ දියණිය යන්න සනාථ වේ. එහෙත් මේ තිස්ස කවුද යන්න පිළිබඳ අදහසක් ඉන් ගම්‍ය නොවේ. අවසානයේ ඉතිරිවී ඇති ‘අ‘ අක්ෂරයෙන් ආරම්භවන නාමය සැඟැවී ඇත. එබැවින් මේ රාජකීය පරම්පරාවට අයත් තිස්ස කුමාරයා කවුරුන් ද යන්න පිළිබඳ ගැටලුවක්.

“සෙල්ලිපි සාධක හා අභිලේඛන එකම මතයකට ගෙන එමේ හැකියාවක් පුරාවිද්‍යාඥයන්ට නැහැ.“ මේ තිස්ස කාවන්තිස්ස ද? කැලණිතිස්සද? යන ගැටලුව මතුවෙනවා. එහි සඳහන් තිස්ස කැලණිතිස්ස ලෙස හඳුන්වනු ලැබුවහොත් අවසනට ඉතිරිවී ඇති ‘අ‘ අක්ෂර රාජකීය පරම්පරාවක කුමරියක යෙදෙන “අභි “ ලෙස සැලකිය හැකිවෙනවා. කැලණිතිස්ස ගේ දියණිය අභිසවෙර හෙවත් අභිශවෙර ලෙස හඳුන්වා තියෙනවා ඇය විහාරමහා දේවියයි. කැලණිතිස්ස රුහුණට සම්බන්ධ නැතැයි කෙනෙකුට මතයක් ගොඩනැඟිය හැකි වූ වද කැලණිතිස්ස රජුගේ දු වූ අභිසවෙර දේවිය හෙවත් විහාරමහා දේවිය රුහුණට සම්බන්ධ වූවාය. රුහුණේ කාවන්තිස්ස රජුගේ අගබිසව ඇයයි. මේ පාත්‍රය ඇය විසින් පූජා කරන ලද්දක් වීමට ද ඉඩ තිබේ.

මේ අභිලේඛනයෙ අඩංගු තොරතුරු ප්‍රමාණවත් නොවන බැවින් නිශ්චිත වශයෙන් රාජකීය පරම්පරාවක තොරතුරු අනාවරණය නොවන බැවින් මෙය ඉතා වැදගත් අභිලේඛනයක් ලෙස සැලැකුවද ස්ථාවර මතයක් ඉදිරිපත් කිරීම කළ නොහැකියි. නාමල් කොඩිතුවක්කු මහතා පවසයි. ඒ හේතුවෙන් විද්වතුන් මේ අභිලේඛනය පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළැකී සිටි බව පුරාවිද්‍යාදෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු පවසයි. ඒ තිස්ස කාවන්තිස්ස යැයි නිශ්චිතව

තහවුරු කර ගත නොහැකි බැවින් හා අභිලේඛනයේ තොරතුරු ප්‍රමාණවත් නොවන බැවින් ඕ තෙමෝ දුටු ගැමුණු රජුගේ සහෝදරිය නොව මව වීමට ද ඉඩ ඇතැයි කොඩිතුවක්කු මහතා මහතා ප්‍රකාශ කරයි. කෙසේ වූවද ලංකාවේ රාජ පරම්පරාවකට අයත් කවුරුන් හෝ තිස්ස කුමරුවකුගේ දියණියක් මේ පාත්‍රය සංඝයා වෙත පූජා කළ බව මේ අභිලේඛනයෙන් සනාථ වේ.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

Comments