කඩුගන්නාවේ ඩෝසන් කුලුන | Page 2 | සිළුමිණ

කඩුගන්නාවේ ඩෝසන් කුලුන

 කොළඹ - මහනුවර පාරේ 62 කණුව අසල පිහිටා ඇති කඩුගන්නාවේ ඩෝසන් කුලුන ඔබ දැක ඇත. කොළඹ සිට මහනුවරට විහිදෙන දොරටුව වූ කඩුගන්නාවේ ගල විදපු තැන නුදුරුව මේ කුලුන ඇත. මධ්‍යම හා සබරගමු පළාත් දෙක වෙන්වන සීමාව ද මෙයයි. කඩුගන්නාව සිට මහනුවරට දුර සැතපුම් දහයක් වෙයි.

ක්‍රි. ව 1817 - 1818 උඩරට කැරැල්ලට පසු යළි එවැනි කැරැල්ලක් මතුවීම වැළැක්වීම සඳහා ද එවැනි කැරැල්ලක් ඇති වුවහොත් කොළඹ සිට ඉක්මනින් කැරැලි ප්‍රදේශවලට හමුදා යැවීමට ද ඉංග්‍රීසින්ට මහාමාර්ග කැපීම අවශ්‍ය විය. ලංකාවේ ප්‍රධාන ම අවශ්‍යතාව මහා මාර්ග බව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු තීරණය කළහ. මහාමාර්ග කපා නිමවන තුරු කැරැලි සංසිඳුවීම සඳහා තාවකාලික ව උඩරට යුද බළකොටු ඉංග්‍රීසිහු පිහිටුවූහ. 1820 දී එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාර පදවියට පත් විය. මුලින් ම කැපීම ආරම්භ වූයේ කොළඹ නුවර අද ඇති පාරයි. (එයට පෙර තැනිතලා වට මාර්ග ඔස්සේ මහනුවරට පැමිණීමට බොරලු පාරක් විය. එය දන්තුරේ හරහා විහිදී තිබිණි.) කොළඹ නුවර පාර තැනීමේ දී එදා ක්‍රියාත්මක වූ රාජකාරි ක්‍රමය අනුව නොමිලේ මිනිස් ශ්‍රමය යොදා ගන්නා ලදී. කඳු - පර්වත දුර්ග ඔස්සේ විහිදුණු කොළඹ නුවර පාර කැපීම ඉතා අසීරු කල්ගත වූ රාජකාරියක් විය. මේ පාර කැපීම භාර ව සිටි ඉංජිනේරුවරයා කැප්ටන් ඩෝසන් ය.

උස් කඳු වතුර ගලායන හෙල් නොසි‍ඳෙන දිය දහරා බිහිසුණු වන සතුන් - කූඩැල්ලන් සමඟ මැලේරියා උවදුර ද සමඟ සටන් කරමින් පාර කැපීමට විය. කැප්ටන් ඩෝසන් වරක් රෝගාතුර වී එංගලන්තයට ගොස් ප්‍රතිකාර ගෙන සුව වී යළිත් ලංකාවට පැමිණියේය. කඩුගන්නාවේ ගල විදපු තැන අල්ලා ගත නොහැකි, ගල සිදුරු කළ නොහැකි ස්ථානයක් ලෙස සිංහලයන් අතර විශ්වාසයක් විය. ඩෝසන් ඉතා සූක්ෂ්ම ලෙස ගල් පර්වත, කඳු හෙල්, දියදහරා මැදින් පාර කපාගෙන මනාව සැලසුම් කළ අතර එය විස්මය දනවන කරුණක් විය. දොස්තර ඩේවිගේ “උඩරට විස්තරය” අනුව කොළඹ සිට වට රවුම් පාර ඔස්සේ මහනුවරට විහිදුණු පැරැණි බොරලු පාර එදා දන්තුරේ හරහා පේරාදෙණියට විහිදුණු එකක් විය.

කඩුගන්නාව ගල්පොත්ත විදිමින් ඩෝසන් සිංහලයන් මවිත කරවීය. ඔහුගේ සැලසුම් ඉංජිනේරුවන් පවා පුදුමයට පත් කළේය. ඔහුගේ සේවය අගයමින් 1829 ඩෝසන් රාජකීය විධායක ඉංජිනේරු ධුරයට පත් විය. මැලේරියාව නිසා දුර්වල වී සිටි ඩෝසන් පාචනය රෝගයත් වැලඳී ඔත්පළව වැඩ නිම වීමට පෙරම මළේය. මේජර් ෆෝබ්ස්ගේ විස්තර අනුව ඩෝසන් රෝගාතුරව මියගියේ 1829 දීය. පාරවල් කැපීමේදී ඉංග්‍රීසින් මුහුණ පෑ උවදුරු මේජර් ස්කිනර්ගේ “ලංකාවේ පනස් වසක්” ග්‍රන්ථයේ එයි). ඔහුගේ මරණයට පසු කොළඹ - නුවර පාර ගල් දමා තළා 1832 බොරලු අතුරා වැඩ නිම කෙරිණි. ආසියාවේ පළමු වරට අශ්ව කෝච්චි සේවය ලංකාවේ ආරම්භ කරන ලද්දේ 1832 කොළඹ - නුවර පාර ඔස්සේය. එහි ප්‍රභූන් ගමන් ගත් අතර, තැපැල් මලු මුදල් ගෙන ගම සිදු විය. පසු කල සරදියල් උතුවන්කන්ද අසලදී අශ්ව කෝච්චිය කොල්ල කෑමට පුරුදු විය.

ඩෝසන් මියගිය පසු ඔහුගේ සේවය ඇගැයීම් වස් ඩෝසන්ගේ මිතුරෝ පවුම් 343ක් එකතු කොට කොළඹ - නුවර පාරේ අසීරුම දුර්ගය වූ කඩුගන්නාව හෙළ මුදුනේ මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් කඩුගන්නාව ගල්පොත්ත හා දුර්ගය කෙළවර අඩි 125ක් උසට කඩුගන්නාව ‘ඩෝසන් කුලුන’ බැඳවූහ.

ඩෝසන් කුලුන පාමුල සිට ඉහළට විහිදෙන කැරකෙන ලෝහ තරප්පු පෙළ ඔස්සේ එහි මුදුනටම නැඟිය හැකිය. කුලුන මුදුනේ තිබූ රසදිය සහිත විදුලි බුබුළක් පසු කල අලුත්වැඩියාවේදී ගලවා ඉවත් කර තිබේ. කුලුන පාමුල ශක්තිමත් පදනමක් සහිත ව කුලුන බැඳ ඇත. පාමුල කොටා ඇති සිහිවටන පුවරුවේ ඩෝසන් පිළිබඳ විස්තර ඔහු මිය ගිය දින - වකවානු සඳහන් වෙයි. කුලුන මුදුනට නැඟීමේ දී හුස්ම ගැනීම අසීරුය. වාතාශ්‍රය නොලැබෙන බැවිනි. එමෙන් ම මේ වන විට සමහර ලෝහ තහඩු දිරා ගැලවී ඇත. කුලුන මුදුනට නැංග විට හැතැප්ම ගණනක් ඈතට අවට පරිසරය හඳුනාගෙන රස විඳිය හැකිය.

ඩෝසන් සිහි වීමට ඩෝසන් කුලුන හැර තවත් සිහිවටනයක් තිබේ. ඒ අඹේපුස්ස ඩෝසන් වාසය කළ නිල නිවෙසයි. එය තවම ඉතිරි ව ඇත. අඹේපුස්ස ඩෝසන් නිල නිවෙස ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදි වී ඇත. අද අඹේපුස්ස තානායම ලෙස සකස් වී ඇත්තේ ඩෝසන්ගේ පැරැණි නිල නිවෙසයි.

එස්. කේ. ජයවර්ධන
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

Comments