
නුවන් තාරකගේ නායකත්වය යටතේ එකොළොස්වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සුපිරි අට වටය පවා අහිමි විය. රටවල් දොළහක් මෙවර තරගාවලියට එක්වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට 9 - 10 -11 වැනි ස්ථානයන්හි තැනක් හිමිකර ගැනීම දක්වාම මෙකී තරගාවලියේදී පසුබෑමට ලක්වීම ක්‍රීඩා බලධාරින්ගේ විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.
මීට වසර තුනකට පෙර මෙරට සත්කාරකත්වයෙන් පැවැති දහවැනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේදී ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව ඉතිහාසයේ ජාත්‍යන්තර තරගාවලියක අත්පත් කරගත් ඉහළම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
දහවැනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ චාල්ස් තිලකරත්නගේ ප්‍රධාන පුහුණුකරු සහ චමින්ද ලක්ෂ්මන්, සුපිරි මංගල සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා යොවුන් බාලක වොලිබෝල් කණ්ඩායම ෂෙහාන් ලක්සිතගේ නායකත්වය යටතේ මෙරට වොලිබෝල් ඉතිහාසයම අලුත් කළහ. මූලික වටයේ අපරාජිතව දෙවැනි වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තියුණුම තරගයට පිවිසියේ පස්වැනි ස්ථානය සඳහා දකුණු කොරියාව සමඟ පැවැති තරගයටයි. ඉතා තියුණු සටනක් අවසානයේ දකුණු කොරියාව පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පස්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මීට වසර තුනකට පෙර පස්වැනි ස්ථානය දිනූ අප යා යුතුව තිබුණේ මින් ඉදිරියට මිස ආපස්සට නොවේ. මෙවර තරගාවලියේ ඉලක්කය විය යුතුව තිබුණේ පස්වැනි තැන ආරක්ෂා කරගනිමින් සිවුදෙනා අතරට ඒමට උත්සාහ කිරීමය. නමුත් අපට තිබූ තැන පවා ආරක්ෂා කර ගැනීමට නොහැකිවූවා පමණක් නොව, සුපිරි අට දෙනා අතරට පැමිණීමට ද නොහැකි විය.
ලාංකේය ක්‍රීඩාවේ වැටීම් යනු මොනවද යන්න බලධාරින් තේරුම් නොගන්නා තාක් කල් ඕනෑම දෙයක් පවසා ප්‍රශ්නවලින් පැන යා හැකිය. නමුත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වන විට අනෙක් රටවල් ගමන් කර තිබෙන දුර අපට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.










