මයාමි විවෘත ටෙනිස් තරඟාවලිය 2017 වාර්තාව යොහානාට තෙවැනි ජය රොජර්ට | සිළුමිණ

මයාමි විවෘත ටෙනිස් තරඟාවලිය 2017 වාර්තාව යොහානාට තෙවැනි ජය රොජර්ට

ප්‍රශාන්ත ඇල්පිටිය

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කී බිස්කේන් නුවර ක්‍රැන්ඩන් පාර්ක් ටෙනිස් මධ්‍යස්ථානයේ දී පැවැති 33 වැනි මයාමි විවෘත ටෙනිස් තරගාවලියේ කේවල ශූරතා හිමිකර ගැනීමට ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ බ්‍රිතාන්‍යයේ යොහානා කොන්ටා සමත් වූහ. ඒ අනුව ඔවුනට අමෙරිකන් ඩොලර් 1,175,505 ක් බැඟින් ත්‍යාග මුදල් හිමි වූහ.

25 හැවිරිදි කොන්ටා විසින් කාන්තා අවසන් තරගයේදී ඩෙන්මාර්කයේ 26 හැවිරිදි කැරොලයින් වොස්නියැකි පරාජය කළාය.

ඒ තරග වට 2 - 0 කිනි. ලකුණු 6 - 4, 6 - 3 කි. මෙය ඇය හිමිකර ගත් තෙවැනි කේවල ශූරතාවයයි. එමෙන්ම මෙම තරගාවලියේ කේවල ශූරිය වූ ප්‍රථම බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවත් ඇය වේ.

කොන්ටාගේ උපන් රට වනුයේ ඔස්ට්‍රේලියාවයි. ඇගේ මවුපියන් හංගේරියානුවන්ය. ඇය 2012 වසර දක්වා නියෝජනය කළේ ඔස්ට්‍රේලියාවයි. ඇය වයස අවුරුදු 14 දී එංගලන්තයේ පදිංචියට ගියාය. 2012 වසරේදී ඇයට බ්‍රිතාන්‍ය පුරවැසිකම ලැබුණි. දකුණතහුරු ක්‍රීඩිකාවක් වන කොන්ටා අඩි 5 අඟල් 11 ක් උසැතිය.

එමෙන්ම මේ වන විට ලොව අංක 07 ක්‍රීඩිකාවත් වේ.

35 හැවිරිදි ෆෙඩරර් මෙවර අවසන් තරගයේදී තරග වට 2 - 0 ක ජයක් ලැබීය.

ලකුණු 6 - 3, 6 - 4 කි. ඒ ස්පාඤ්ඤයේ 30 හැවිරිදි රෆායල් නඩාල් හමුවේය. මෙය ෆෙඩරර් හිමිකර ගත් 91 වැනි කේවල ශූරතාවයයි. ඔහු මීට පෙර 2005 සහ 2006 වසරවලදිත් මෙම ශූරතාව හිමිකර ගෙන තිබුණි. නඩාල්ට නම් තවමත් මෙම ශූරතාව හිමිකර ගැනීමට හැකි වී නැත.

 

Comments