
කවුරු කටින් බතල කොළ සිටුවීමට වෙර දැරුව ද ලාංකේය ක්‍රීඩාව ම දිනෙන් දිනම ගමන් කරනුයේ ආපස්සට මිසක ඉදිරියට නොවන බව සාධක සෙවීමට වෙහෙසවීමට අවශ්‍ය නැත. හොඳම උදාහරණය ක්‍රිකට්ය. බංග්ලාදේශය සිය ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් සහ එක්දින තරගාවලි අති සාර්ථකව (මේ සටහන තබන විට 20විස්ස තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි) අවසන් කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂයෙන් එක්දින තරගාවලියේ මරාගෙන මැරෙන සටනක්දීමට සිදුවූයේ තරගාවලිය ජය ගැනීමට නොව, ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමටය.
අවසන් ටෙස්ට් තරගය පී. සරා ඕවල් පිටියේ සහ පළමු එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පරාජය වීමෙන් පසු එකී ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මාධ්‍ය හමුවේ පැවැසුවේ, පළමු තරගය පරාජයෙන් පස්සේ අපි තරමක පීඩනයට ලක්වෙලා හිටියේ. අපිට වෙන විකල්ප නෑ. හෙට තරගය අපිට අවසන් තරගයක් වගෙයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීම් දිග පළල මැන ගැනීමට මීට වඩා සාධක ඇවැසි නැත.
පළමු එක්දින තරගය පරාජයෙන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ ලකුණු අතර සිටි පිතිකරුවන් නොමැතිවිමත්, අත්දැකීම් ඇති ක්‍රීඩකයන් නොමැතිවීමත් පරාජයට හේතුවූ බවය. මේ අතරම බංග්ලාදේශය සම්බන්ධයෙන් චන්දිමාල් ප්‍රකාශ කළේ ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ හත් - අට දෙනෙක්ම අවුරුදු දහයක් විතර ජාත්‍යන්තර පිටියේ ඉන්න අය.
ඒ ගොල්ලන්ගේ එකම කණ්ඩායමක් අන්තිම අවුරුදු දහයම ක්‍රීඩා කරලා තියෙන්නේ.
පළමු එක්දින තරගයේ විශිෂ්ට ශතකයක් රැස් කළ තමීම් ඉක්බාල් ප්‍රකාශ කළේ. අපි සමස්තයක් විදියට ආරම්භයේදී ප්‍රතිවාදීන්ට මුහුණ දෙන කොට ඉතා අපහසුවෙන් තමයි මුහුණ දුන්නේ. නමුත් දැන් වසර දෙකක ඉඳලා කණ්ඩායමේ හොඳ නැඟිටීමක් තියෙනවා. දැන් අපි ශක්තිමත්. අපි ක්‍රමයෙන් එය විදේශ රටවලටත් යොමු කරනවා.
බංග්ලාදේශය ඒ ආකාරයෙන් තරග බිම ආක්‍රමණය කරද්දී, ශ්‍රී ලංකා ක්‍රිකට් තවමත් හොරගල් අහුලමින් සිටියි. තේරීම් කමිටුව කරන්නේ කුමක් ද යන්න ඔවුන්වත් දන්නවා දැයි නොදනිමු. තේරීම් කමිටුව මේ ආකාරයට බලධාරින්ගේ පදවලට නටමින් එළඹෙන අයි. සී. සී. ශූරයන්ගේ ශූරතා තරගාවලියට යන්න හිතන්නෙත් මේ ආකාරයට නම් දෙයියන්ගේම පිහිට බව පැවැසිය යුතුය.
මේ තරගාවලියේ ප්‍රවීණ විස්තර විචාරකයකු වූ ඩීන් ජෝන්ස් පැවැසුවේ තවදුරටත් ක්‍රීඩකයන් අත්හදා බැලීම් නොකළ යුතු බවය. කණ්ඩායමට එන ක්‍රීඩකයන්ට ස්ථාවර වීමට කාලයක් දෙන්න ඕනා. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ ක්‍රීඩකයන් 40 කට වඩා කණ්ඩායමට එකතු වෙලා තියෙනවා.
ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ තරග 40 කට විතර ක්‍රීඩා කරලා තරග 15 ක්වත් දිනලා නෑ. ඒ තරගත් සිම්බාබ්වේ, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට විතරයි.
මේ අතර මෙවර අයි. සී. සී. ශූරයන්ගේ ශූරතාවලියට බටහිර ඉන්දීය කොදෙව්වන් ද ඇතුළත් නොවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් හෙට දවස මීට වඩා දිග පළලින් කටයුතු නොකළහොත් වැඩි දවසක් යන්ටන මත්තෙන් කාට කාටත් ඔලුවේ අත ගසා ගැනීමට සිදුවනු ඇත.
ඒක අවාසනාවන්ත තත්ත්වයක්
- සංගා
පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනකු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර තිබීම පිළිබඳ සංගා අදහස් පළ කිරීමක් පසුගියදා කළේය.
කණ්ඩායමක් ස්ථාවර වෙන්න ඕනෑ. ස්ථාවරව ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙන්න ඕනා. අවුරුද්දක් වගේ කාලයක් තුළ එක්දින තරග සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු වගේ ප්‍රමාණයක් යොදා ගැනීම කරන්න බෑ.
මේ කණ්ඩායම් හතරක ක්‍රීඩකයෝ. මේක අවසනාවන්ත තත්ත්වයක්. මේ වගේ අවිනිශ්චිත වටපිටාවක ක්‍රීඩා කරන්න බෑ.
අපේ පළමු පෙළ තරගවල ගැටලු තියෙනවා. ඒ නිසා තරගකාරී විදියට දක්ෂයන් අතරින් දක්ෂයන්ට ඉදිරියට එන්න අවස්ථාව නෑ. මේක තනිකරම මගේ අදහසක්. මේක සම්පූර්ණයෙන්ම වැරැදි වෙන්නත් පුළුවන්.