
දිවා විවේකය බැවින් සිසුවෝත් සිසුවියෝත් පාසල පුරා විසිර සිටිති. එහෙත් ඡායාරූපයට පෙනී සිටීමට ටයි පටි පැලඳි සිසුවෝ පමණක් පෙළගැසී සිටිති. සිසුවියෝ නැත. ලොකු අඩුවකි. කුමාර සර් ඒ ගැන කියන්නට සැරසේ.
‘අපේ පාසල මිශ්‍ර පාසලක් වුණත් නව නිපැයුම් සංගමයේ ඉන්නේ පිරිමි ළමයි විතරයි. ගෑනු ළමයි මේ ක්ෂේත්රයට උනන්දුවක් දක්වන්නේ නැති තරම්‘.
කුමාර සර් සිසුවියන්ගේ අඩුව එසේ පැහැදිලි කරයි. එහෙත් සිසුවියන්ටත් එක්කම ප්‍රමාණවත් වන තරමේ සම්මාන, සහතික පත්‍ර රාශියක් දරා ගනිමින් සිසුවෝ සැදී පැහැදී සිටිති. මේ කැලණිය ගුරුකුල මහා විද්‍යාලයයි. එහි නව නිපැයුම් සංගමය දැනට ලංකාවේ වඩාත් හොඳින්ම ක්‍රියාත්මක වන නව නිපැයුම් සංගම් අතරින් එකක් බව ප්රකාශිතය. අප එහි යන විට කලින් කරන ලද දැනුම් දීම අනුව තමන් විසින් නිපදවනු ලැබ සම්මානවලින් පිදුම් ලත් නිර්මාණ ද සමග සංගමයේ සාමාජික සිසුවෝ සූදානමින් පසු වූහ. එය සැබවින්ම බැලීමට අපූරු දර්ශනයකි. නොයෙක් ආකාරයේ මැෂින් සමග තැනින් තැන තබා තියෙන දැවැන්ත සම්මාන රැසකි.
මනි පිට්ටු සාදන මැෂිම අසල, ඉඳි ආප්ප සාදන මැෂිමකි. ඒ අසල ඇත්තේ පොල් කටු හෝ ලී කුඩු දහනයෙන් වඩා වැඩි තාපයක් උපදවාගත හැකි ළිප් පහේ සුවිශේෂ උදුනකි. ඒ අතර රන් පැහැයෙන් දිලිසෙන අති විශාල සම්මාන කිහිපයකි. සිසුන් අත රැඳි රන්, රිදී ලෝකඩ පදක්කම් එකිනෙක ගැටීමෙන් නිකුත් වන්නේ සිහින් කිංකිණි හඬකි.
තුන් දහසක් පමණ වන පාසලේ සමස්ත සිසුන් අතරින් සිසුහු තුන්සීයක් පමණ ගුරුකුල විද්‍යාලයීය නව නිපැයුම් සංගමයේ සාමාජිකත්වය දරති. ඒ අතරින්ද සිසුහු පනහක් පමණ සක්‍රීයව නිපැයුම්කරණයේ යෙදෙමින් සම්මාන, සහතික දිනාගෙන සිටිති.
ඔවුන්ගෙන් සිසුන් කිහිපදෙනකු සමග කතාබහ කරමින් ඔවුන් තුළ සැඟව ඇති නිර්මාණශීලීත්වයේ අංකුර හඳුනාගැනීමට මම වෑයම් කළෙමි.
දහය වසරේ ඉගෙනුම ලබනා ගමිත චමෝද් ඒ අතරින් එක් සිසුවෙකි. ඔහු සංගමයට බැඳෙන්නේ හත වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය. කුඩා කල සිටම නොයෙක් නොයෙක් දේ නිර්මාණය කිරීමට උත්සාහ දැරූ ගමිතට අත්වැල වන්නේ පාසලේ නව නිපැයුම් සංගමයයි. එහි ප්‍රතිඵලය ලෙස ඔහු අද විදෙස් නව නිපැයුම් තරගවලට පවා සහභාගී වෙමින් දක්ෂතා දක්වමින් සිටින්නේ අපේ රටේ අනාගත නිෂ්පාදන ආර්ථීකයක අරුණැල්ල පෙන්වමිනි.
ගමිත දැනට සම්පූර්ණයෙන් නිම කර ඇති විශිෂ්ටතම නිර්මාණය පිට්ටු සාදන මැෂිමකි. එසේ කියන්නට හේතුව තව තවත් නිර්මාණ මේ වන විටත් ඔහු අතින් සම්පූර්ණ වෙමින් පවතින නිසාය. පිටි අපතේ යෑම අවම කර, ශ්‍රමයත් කාලයත් ඉතිරි කර රසට පිට්ටු හදන්නට ගමිතගේ පිට්ටු මැෂිමට හැකිය. මහා පරිමාණ පිට්ටු නිෂ්පාදනයකදී මේ මැෂිම මිලක් සහිත භාණ්ඩයක් වනු නොඅනුමානය. ඒ අනුව ගමිත දැනටම තම ඉදිරි ජීවනෝපාය සම්බන්ධයෙන් පියවරක් තබා ඇති බව පැහැදිලිය. නව නිපැයුම්කරුවකු එබඳුය. ඔහුගේ නිර්මාණ මිල කළ හැකි සමාජ, ආර්ථික රටාවක පවතින්නේ නම් ඔවුන් තරම් මිනිසුන් නැත. අප ගමිතලාට ඉඳි කර දිය යුතු අනාගතයේ ඔවුන්ගේ නිර්මාණවලට මිලක් හිමි විය යුතුමය.
ගමිත සතු ෆයිල් කවරයේ සහතිකපත් රාශියකි. අත රැඳි කුඩා පෙට්ටියක පදක්කම් කිහිපයකි. පසෙක අතින් ඔසන්නට බැරි තරම් බර සම්මානයකි. මේ සියල්ල ඔහුගේම හැකියාව සහ පාසලේ නව නිපැයුම් සංගමයේ මග පෙන්වීමය.
මා සමග අදහස් දක්වන ගමිත තම දෙමාපියන්ට ස්තුති කරන්නේය. පියාගේ මග පෙන්වීම සහ මවගේ දිරිය තමාගේ සාර්ථකත්වයට හේතුව බව පවසන්නේය. පාසල සහ නිවෙස සමබර වූ විට ලැබෙන සාර්ථක අතුරු ඵලයකට ගමිත තරම් නිදර්ශන නැත්තේය.
ඉඳි ආප්ප හදන මැෂින් රට පුරා ඕනෑ තරම් ඇත්තේය. එහෙත් නිපුන් අවිශ්කගේ ඉඳි ආප්ප හදන මැෂිමේ ඉඳි ආප්ප ඉවතට එන්නේ තැම්බීමෙන්ද පසුවය. වේගය අනුව සැලකුව හොත් විනාඩියකට ඉඳිආප්පයක් බැගිනි. මේ මැෂිම රට පුරා පැවති ප්‍රදර්ශන සහ තරගවලදී ජයග්‍රහණ ලබා තිබේ. මැෂිම ව්‍යාපාරික වශයෙන් භාවිත කිරීමට නිෂ්පාදන ඉල්ලුමක්ද ලැබී ඇතද නිපුන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටය. ඒ නිසා ඉල්ලුමට සැපයුම් දීම මඳක් කල් දමා තිබේ. නවීකරණය කළ සුදු සැරයටිය නිපුන්ගේ තවත් නිර්මාණයකි. මේ සුදු සරයටියට සවිකොට ඇති සෙන්සර් මගින් තමා ඉදිරියේ ඇති බාධක සම්බන්ධව එය භාවිත කරන්නා දැනුම්වත් කිරීමක් සිදු කෙරෙන බව නිපුන් පවසයි. තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වීමේ අභිලාශයෙන් කටයුතු කරන නිපුන් පවසන්නේ තමන්ගේ අනාගත අභිලාශය පරිගණක වැඩසටහන් ආශ්රයෙන් නිර්මාණයක් කිරීම බවයි.
එපමණක්ද නොව නව නිපැයුම්කරුවකු වීම සම්බන්ධව කිසියම් මානයක්ද නිපුන් සතු බව පෙනේ. ඔහු පවසන්නේ නව නිපැයුම්කරුවා යනු සමාජය වෙනස් කිරීමට සුවිශේෂ මෙහෙවරක් කරන්නකු බවයි. ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීමට යමක් නිර්මාණය කිරීම නව නිපැයුම්කරුවාගේ මෙහෙවර වන බැවින් සුවිශේෂ කරුණ වන්නේ සමාජයේ පවතින ගැටලු හඳුනාගැනීමට තරම් ගැඹුරු මනසක් ඔහු සතු වීම බව නිපුන් පැහැදිලි කරයි. එමෙන්ම නව නිර්මාණකරුවකු වේගවත් විය යුතු බව ඔහුගේ මතයයි. එසේ වේගවත් නොවන්නාට වේගවත් ගතික සමාජය පසු කර යා නොහැකි බව ඔහු පෙන්වා දෙයි.
අවසන මේ සියල්ල බිහි වන්නට හේතුව තම දෙමවුපියන් සහ ගුරු භවතුන් බවද නිපුන් පවසන්නේ හැදෙන ගහකට අවශ්‍ය වතුර සහ පෝර ගැන සමාජයට අවබෝධයක් ලබා දෙමිනි.
තවමත්අට වසරේ අධ්‍යාපනය ලබන සනිඳු අවිශ්ක හුරතල් කුඩා දරුවෙකි. එහෙත් ඔහු තුළින් මේ රටේ අනාගතය දැකිය හැකිය. ඔහු විනෝදාංශය ලෙස ඉලෙක්ට්‍රික් පන්තියට යන බව පවසන්නේය. මේ ඉලෙක්ට්‍රික් පන්තිය අගය කළ යුතුය. එහි සිසුන්ට ඉලෙක්ට්‍රික් දැනුම ලබා දෙන්නේය. සිසුන්ට යම් යම් දේ නිපදවීමට අවශ්‍ය දේ මේ ඉලෙක්ට්‍රික් පන්තියේ ගුරුවරයා කොළඹීන් ගම්පහට ගෙනත් දෙන්නේය. මේ දරුවාත්, ගුරුවරයාත් අයග කළ යුතුමය. මෙවැන්නෝ ලෝකය වෙනස් කරන්නෝය.
මෙලෙස ඉලෙක්ට්‍රික් දැනුම ලබන සනිඳුගේ නව නිපැයුම ආරක්ෂිත හීටරයකි. නිවෙසේ ඇති සාමාන්‍ය හීටරය භාවිතයට ගන්නා විට ඒ ගැන අවධානයෙන් සිටිය යුතුමය. එසේ නොවුණ හොත් ජල භාජනය පෙරළී යෑමෙන් අනතුරු විය හැකිය. සනිදු මේ සාමාන්‍ය හීටරයට අමතර ගැල්වනයිස් කූරු දෙකක් සවි කර ඇත්තේය. ඉන් එකක් දිගුය. අනෙක කෙටිය. මේ කූරු දෙකේම ජලය ගෑවෙන්නේ නැති නම් හීටරය අක්‍රීය වේ.
තවමත් අට වසරේ ඉගෙන ගන්නා සනිඳුගේ වෑයම අගය කළ යුතුමය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ සනිඳුලා වැනි සිසුන්ටය.
ගුරුකුලයේ තවත් නව නිපැයම්කරුවෝ බොහෝය. කතාබහ කොට ඔවුන්ගේ අරමුණ, අභිලාශ හඳුනාගැනීමට කාල වේලාව හිඝය. ඉඩ ලත් අන්දමට විමුක්ති දේවින්ද සහ චරිත් සත්සරද කතාබහට එක් විය. විමුක්ති ගේ නව නිපැයුම තාප බලයෙන් ක්‍රියා කරන උදුනකි. එහි ළිප් සංඛ්‍යාව පහකි. තව තව නිර්මාණ කිහිපයකම අදහස් ඔහු සතුය. කිරිබත්ගොඩ චරිත් සත්සර නිපදවා ඇත්තේ වැලි හලන මැෂිමකි. තෝසේ සාදන මැෂිමක්ද ඔහු නිපදවා තිබේ. මේ සිසුන් සියලු දෙනා සතු එක් පොදු සාධකයක් වන්නේ ඔවුන් සෑම දෙනාම කුස්සියේ වැඩ පහසු කිරීමට යන්ත්‍රෝපකරණ නිපදවීමය. ඔවුන් ගැටලු ලෙස හඳුනාගෙන ඇත්තේ, එසේ නැතිනම් වැඩි අවධානය ලබා දී ඇත්තේ ගෘහාශ්‍රිතව දැකිය හැකි අර්බුදවලටය. මෙහි අර්ථය ඔවුන් තවමත් පාසල් සිසුන් වීමද එසේ නැතිනම් ශ්‍රී ලාංකික ජන සමාජයේ පවුල් ඒකකය දෙමවුපියන් සහ දරුවන් කොතරම් තදින් එකට බැඳ තබා ඇතිද යන්න සැලකිල්ලට ලක් කළ යුතු කරුණකි.
මේ සියල්ල පසුපස සිටිමින් නව නිපැයුම් සංගමය බාර ආචාර්ය අංජන කුමාර මහතා තමන්ගේ වෑයමේ ප්‍රතිඵල සතුටු සිතින් භුක්ති විඳින්නේය. ඔහු ගුරුකුලයට පැමිණ ඇත්තේ 2014 වසරේදීය. ඒ වන විටද සක්‍රීයව පැවති නව නිපැයුම් සංගමය අලුතෙන් පණ ගසා යළි වැඩ ආරම්භ කරන්නේ කුමාර සර්ගේ උනන්දුව නිසාය. ඒ ප්‍රශංසාව ඔහුට හිමි විය යුතුමය. ඔහුගේ මග පෙන්වීම යටතේ ගත වුණු වසර කිහිපය තුළ මේ සිසුන් ලබා ඇති සම්මාන සංඛ්‍යාව ඉතා විශාලය. ඒවා එකින් එක සටහන් නොකරන්නේ එකක් හෝ මග හැරීමට නොහැකි බැවිනි. සෑම සිසුවකුම ලත් සම්මානයක් හෝ සහතිකයක් එකසේ වටිනාකමින් යුක්තය. හේතුව ඒ සියල්ල පැළ කරන්නේ අනාගතයේ වනස්පතියන් වන මහා වෘක්ෂයන්හි මූල බීජ නිසාය. ශාලිකා ගුණතිලක, ඉසුරු කරුණාරත්න, අයි.එස්.මායාදුන්න, බීමා ජයසේකර, සන්ධ්‍යා කුමාරි යන ගුරු මහත්ම මහත්මීන් නව නිපැයුම් සංගමයේ කටයුතුවලට එකසේ සහය දක්වන බව අංජන කුමාර මහතා පවසන්නේය. ඒ සියලු දෙනාටද ප්‍රශංසාව හිමි විය යුතු බව ඔහු සිහිපත් කර දෙන්නේය. ඒ තඅරට විදුහල්පති සහ උපවිදුහල්පතිද අයත්ය.
විදුහල්පති අනිල් ගීතලාල් ගේ අදහස වන්නේ නව නිපැයුම් යනු අමුතු දෙයක් නොව අධ්‍යාපනයේම කොටසක් බවයි. එය සෑම විදුහල්පතිවරයකු සතු විය යුතුම අගනා අදහසකි. නිර්මාණශීලීත්වය යනු බාහිර වැඩක් නොවන බව ගුරුකුල විදුහල්පතිවරයාගේ මතයයි. ඔහු නව නිපැයුම් සංගමයට දිරි දෙන්නේ ඒ අනුව සිටිමිනි. තමන් මේ සියලු දරුවන් පසුපස සිටිමින් ඔවුන්ට දිරි දුන් බව ඔහු අවධාරණය කර සිටියි. ගුරුකුලයේ ජයග්‍රහණවල රහස එය මිස අන් කිසිවක් නොවේ.
හෙට දින අප රටේ විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් අතර බහුතරය ගුරුකුල ආදි සිසුන් වේ නම් එහි පුදුමයක් නොවනු ඇත.