
ශ්‍රී ලංකාවේ අභිමානය ලොව බැබළවූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිනැමුණු ජාතික සම්මාන උලෙළේදී අප රටේ විද්‍යා හා තාක්ෂණ අංශ වෙනුවෙන් කැප වී කටයුතු කළ ලොව දිනූ විද්‍යාඥයෝ පස් දෙනෙක්ද බුහුමනට ලක් වූහ.
පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන හිමි කරගත් ඒ විශිෂ්ට ලක්වැසියෝ නම් මහාචාර්ය සිවා සිවානන්තන්, ආචාර්ය සරත් ගුණපාල, මහාචාර්ය බන්ධුල විජේ, මහාචාර්ය තිස්ස විතාරණ සහ මාහාචර්ය මොන්ටි කාසිම්ය.
එම උලෙළේදී 'විද්‍යා නිධි' සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය සිවලිංගම් සිවානන්තන් මෙරට පමණක් නොව සමස්ත ලෝකයේම ඇගැයීමට පාත්‍ර වූ නව නිර්මාණ රාශියක් කළ විද්වතෙකි. උදාහරණයක් ලෙස ඔහුගේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ බිහි වූ නිශා දර්ශක (Night Vision) දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය හිමි කරගත් ඔහු ස්වකීය ආචාර්ය උපාධිය ලබා ඇත්තේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙනි.
'ශ්‍රී ලංකා රංජන' සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය සරත් ගුණපාල කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය ලබා පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධිය හිමි කරගෙන තිබේ. පසුව අමෙරිකාවේ නාසා ආයතනයට සම්බන්ධ වූ ඒ මහතා ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයකු ලෙස එහි කටයුතු කරමින් සිටින්නේය. මේ දක්වා ඔහු පර්යේෂණ ග්‍රන්ථ 25ක් පමණ පළ කර තිබේ. අන්තර්ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලැබූ ඔහු නාසා ආයතනයෙන් සුවිශේෂ පුද්ගලයන් වෙනුවෙන් පුද දෙන (NASA's Outstanding Leadership Medal) සම්මානයද දිනාගෙන තිබේ.
මහාචාර්ය බන්ධුල විජේරත්න දැනට අමෙරිකාවේ ටෙක්සාස්හි උපාංග සංවර්ධනය කිරීමේ ආයතනයක ප්‍රධාන විධායක නිලධරයා ලෙස සේවයේ යෙදී සිටියි. විද්‍යාඥයකු ලෙස පමණක් නොව ඉංජිනේරුවකු සහ ව්‍යාපාරිකයකු ලෙසද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින ඒ මහතා ජනාධිපතිවරයා අතින් 'විද්‍යා ජෝති' ගෞරවනීය සම්මානය දිනා ගත්තේය. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන වෛද්‍ය උපංග නිපදවන්නකු වශයෙනි. රසායන විද්‍යා ඉංජිනේරු උපාධිය, රසායන විද්‍යා ඉංජිනේරු ආචාර්ය උපාධිය ඇතුළු උපාධි රාශියක්ම ඔහු විසින් දිනාගෙන තිබේ.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය වශයෙන් අප රටේ විද්‍යා හා තාක්ෂණ අංශයට විශාල මෙහෙවරක් සිදු කළ පුද්ගලයෙකි. විදෙස්ගත වීමේ අවස්ථා රාශියක් ලබූවද මෙරට රැඳී සිටිමින් දේශයට මෙහෙයක් කළ දුර්ලභ මිනිසෙකි. ඔහුගේ පශ්චාද් උපාධිය ලබා දුන් විශ්වවිද්‍යාලය සඳහන් වන්නේ University of Ceylon වශයෙනි. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූ ඔහු විදේශයන්ගෙන්ද උපාධි රාශියක් හිමි කරගෙන තිබේ. 1965දී කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට එක් වූ ඒ මහතා එහි අධ්‍යක්ෂ ලෙස වසර කිහිපයක්ම සේවයේ යෙදී තිබේ. ඔහු විසින් මෙරට ජනතාව වෙත ලබා දී ඇති පර්යේෂණ පත්‍රිකා රාශියක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයටද තම සේවය ලබා දුන් ඒ මහතා 1994 දී විශ්‍රාම යෑමෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුදුජීව විද්‍යා අංශයට තම දායකත්වය ලබා දී තිබේ. 1994 සිට 2001 වන තෙක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ උපදේශකවරයකු වශයෙන් සේවය ලබා දුන් ඒ මහතා පසුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසද වසර කිහිපයක්ම කටයුතු කර තිබේ. පසුගියදා පැවති ජනාධිපති සම්මාන උලෙළේදී 'විද්‍යා ජෝති' සම්මානයෙන් එතුමා පිදුම් ලැබීය.
ජනාධිපති සම්මාන උලෙළේදී 'විද්‍යා නිධි' සම්මානයෙන් පිදුම් ලද මහාචාර්ය මොන්ටි කාසිම් මහතා 2004 වසරේ සිට 2009 දක්වා රිත්සුමෙයිකන් ආසියා-ශාන්තිකර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සේවය කර තිබේ. පසුව 2015 වසරේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යේෂඨ උපදේශකවරයකු ලෙස පත්වීම් ලැබූ ඒ මහතා ජපාන - ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ සබඳතා සම්බන්ධ වගකීම් දරමින් කටයුතු කළේය. 2015 දෙසැම්බර් මාසයේදී ජපාන - ශ්‍රී ලංකා නව නිපැයුම් වේදිකාව බිහි කළ කාසිම් මහතා දෙරට අතර විද්‍යා හා තාක්ෂණ හුවමාරු කටයුතු සම්බන්ධව කටයුතු කළේය. ඒ මහතාගේ මූලිකත්වයෙන් 2016 වසරේදී විද්‍යාඥයන් රාශියක් මෙරටට ගෙන්වා දැනුම් හුවමාරු වැඩසහනක්ද ක්‍රියාවට නැංවීය. විද්‍යාවට කරන ලද සේවය වෙනුවෙන් මහාචාර්ය මොන්ටි කාසිම් ශ්‍රී ලංකාව සහ ජපානය යන දෙරටින්ම සම්මානයට පාත්‍ර වී තිබේ.
රටට සේවය කළ ගෞරවනීය ලක්වැසියන් වෙනුවෙන් පුද දෙනු ලැබූ ජනාධිපති සම්මාන උලෙළේදී මේ විද්වත්හු පස්දෙනා ජනාධිපතිතුමා අතින් සම්මාන ලබමින් දේශයේ ගෞරවාදරයට පාත්‍ර වූහ.
ඡායාරූපය - සිරිපාල හල්වල