“රංචාගොඩ ළමයා” තවමත් පොත් කියවන්නේ කණ්ණාඩි නැතිව... | සිළුමිණ

“රංචාගොඩ ළමයා” තවමත් පොත් කියවන්නේ කණ්ණාඩි නැතිව...

 

ඔහු දැන් වියපත් ය. අතීත මතකයන් එක එල්ලේ ම නොවුණ ද තවමත් ඔහුට හොඳ හැටි මතකය‍. තම වෘත්තීය පත්‍ර කලා ජීවිතයේ අතීතය හාරා අවුස්සා බලන ඔහු එකල තමන් සමඟ එකට කටයුතු කළ අයගේ නම් ගම් අමතකව මොහොතක් කල්පනා කරයි. අනූතුන් වැනි විය පසු කරමින් සිටින මේ වියපත් ලේඛකයා පුවත්පත් කලාවේදියා කලක් පත්තර ලෝකයේ පෙරැළිකාරයකු ලෙස කටයුතු කළේ ය. සිරිලාල් කොඩිකාර නම් වූ මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා බොහෝ දෙනෙකු හඳුනන්නේ ‘රංචාගොඩ ළමයා’ ලෙසිනි.

මේ වනවිට ලේඛන කලාවෙන් යම් පමණකට දුරස් වී හිඳින ඔහු තවමත් පොතපත කියවන්නේ ය. තමන්ට වැදගත් යැයි සිතෙන දේ කුඩා පොතක සටහන් කරන්නේ ය.

ඉකුත් දිනෙක අපි ඔහු හමුවීමට කොට්ටාව පන්නිපිටියේ පිහිටි ඔහුගේ නිවෙසට ගොඩවැදුණෙමු. ඒ, ඔහු පිළිබඳව ලිපියක් ලියන්නට හෝ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අදහසින් නොවුණද ඔහු හා කතා බහ කිරීමෙන් පසු ලිපියක් ලිවීමේ සිතිවිල්ලක් පහළ වූයේ ය. ඒ අන් කිසිවක් නිසා නොව, ඔහු කියූ බොහෝ දේවල වැදගත් යැයි හැ‍ඟෙන කරුණු ගැබ්ව තිබූ බැවිනි. මේ ලියැවෙන්නේ අප සමඟ ඔහු කියූ දෑ ය.

“මම පත්තර කලාවට සම්බන්ධ වුණේ 1947 අවුරුද්දේ. අපේ කාලේ දැන් මේ වගේ තාක්ෂණය දියුණු නැහැ. අපි පුවත්පත්වලට පිවිසුණ යුගය අකුරු අමුණන යුගයක්. තොරතුරු ලබා ගැනීමට ජංගම දුරකථන තිබුණේ නැහැ. පුවත්පතට තොරතුරු ලබා ගැනීමට නිතර නිතර එළියට ‍ යා යුතුයි. අපි පත්තර කළේ ඒ විදිහට‍. මට දැන් අවුරුදු අනූහතරට ළඟයි. මම පොත් කියවනවා. මතක් වෙන මතක් වෙන දේවල් සටහන් කරනවා. එතකොට පොතක් ලියන්නත් පුළුවන්නේ. ඉස්සර පත්තරවල ඉන්න කාලේ පොත් ලැබුණා. ඒත් දැන් එහෙම පොත් ලැබෙන්නේ නැහැ. ඇතැම් පොත් කියවන විට තේරෙනවා ලියන රටාව, භාෂාව හොඳයි කියලා. ඒත් සමහර පොත්වල නොගැළපීමක් තියෙනවා කියලා දැනෙනවා. දැන් භාෂාව බොහෝ ම විනාශ වෙනවා. භාෂාව ගැන කිසිවෙක් සැලකිල්ලක් දක්වන බවත් පෙනෙන්නට නැහැ. පුවත්පත් වල බොහෝ විට පළ වන භාෂාව වැරදියි. හැමදාම ව්‍යාකරණ වැරදි දකින්නට තිබෙනවා. මං හැමවිටම හිතන දෙයක් තමයි අද සිටිනක අය භාෂාව ගැන ව්‍යාකරණ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා. මේ තත්ත්වයට වග කියන්න ඕනෑ ගුරුවරු. අපි දරුවන්ට ම දොස් කියන එක වැරදියි. පාසල්වල, විශ්වවිද්‍යාලවල සිංහල උගන්වන ගුරුවරු සිංහල විෂය හදාරන ආචාර්ය, මහාචාර්යවරු, භාෂා විශාරදයන් සිංහල භාෂාව පිළිබඳව මීට වඩා උනන්දු විය යුතුයි. මං හිතන්නේ අද ඉන්න ළමයි එදා වගේ පත්තර පොත් පත් බලන්නේ නැහැ. ඒත් අපේ යුගයේ සිටම ගුරුවරු තමයි ළමයින්ට භාෂාව හදාරන්න උනන්දු කළේ.”

• සිරිලාල් මහත්තයා කොහොමද පත්තර කලාවට යොමු වුණේ...?

මං කුඩා කාලයේ හිතාගෙන හිටියේ වෛද්‍යවරයෙක් වෙන්න. තාත්තාට ඕනෑ වුණා මාව වෙද මහත්තයෙක් කරන්න. ඒත් තාත්තා හදිසියේ ම මිය ගියා. මම පන්සල් ඇසුරේ අධ්‍යාපනය ලැබුවා. පාලි සංස්කෘත භාෂා ඉගෙන ගත්තා. 1947 වසරේ ප්‍රාචීන විභාගය ලිවීමට කොළඹට ආවා‍. ඒ අතර කොළඹ මාලිගාකන්ද චන්ද්‍රසේන පොත් සාප්පුවේ රැක්යාවක් කළා. ඒ කාලේ උඩකැන්දවල සරණංකර හිමියන්ගේ සඟරාවක මුල්වරට මගේ කවියක් පළවුණා. මට මතක හැටියට ඒ සඟරාව ‘කාව්‍යාලෝකය’ වෙන්න ඕනෑ. පසු කාලෙක මට ‘සිංහල ජාතිය’ පුවත්පතට සම්බන්ධ වුණා. මම සිංහල ජාතිය පුවත්පතට සම්බන්ධ වෙන්නේ මුද්‍රණ ශිල්පියෙක් විදිහට.

• ‘දවස’ පුවත්පතට සම්බන්ධ වුණේ කොහොමද?

දැන් නම් ඕවා හරි හැටි මතකත් නැහැ. මට මතකයි මම ‘දවස’ පත්තරේ, කෝසල රජුගේ අලුත් සිහිනය කියලා ලිපි පෙළෙක් ලිව්වා. ඒ කාලේ දවස පුවත්පතේ ප්‍රධාන කතුවරයා ඩී.බී. ධනපාල මහත්තයා. ඒ වුණාට වැඩි කාලයක් එතැන හිටියේ නැහැ. දේශපාලන ප්‍රශ්නයක් නිසා දවස පත්තරෙන් අයින් වුණා. ඊට පස්සේ තමයි ‘ඇත්ත’ පත්තරයට සම්බන්ධ වුණේ.

සිරිලාල් කොඩිකාර මහතා ‘ඇත්ත’ පුවත්පතට සම්බන්ධ ‍වන්නේ 1964 වසරේදී ය. ‘ඇත්ත’ පුවත්පතට සම්බන්ධවීමෙන් පසුව හත් හවුල් කවි මඩුව, රඟදෙන බයිලා සහ රංචාගොඩ ළමයා යන විශේෂාංග එහි ලියැවුණා. කලක් සිරිලාල් කොඩිකාර මහතා ‘ඇත්ත’ පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙස ද කටයුතු කළේ ය. ‘ඇත්ත’ පුවත්පතින් ආරම්භ වූ සිරිලාල් ‍ෙකාඩිකාර මහතාගේ රංචාගොඩ ළමයා විශේෂාංගය පසුකාලිනව ‘සිළුමිණ’ පුවත්පතේ ද පළ වූයේ ය. මෑතක් වන තුරු ම ඔහු ‘රංචාගොඩ ළමයා’ නමින් සිළුමිණ ට කාලීන සිදුවීමක් ප්‍රවෘත්තියක් ඇසුරෙන් කවි විශේෂාංගය ලීවේ ය. එමෙන් ම ඇත්ත පුවත්පතේ කතුවැකිය ද ලීවේ ය. පෑනෙන් හරඹ කළ ඔහු අද වනවිට ජීවිතයේ සැඳෑසමය බොහෝ සාමකාමීව ගෙවන්නේ ය.

“දැන් මම මේ ඉන්නේ මගේ දොස්තර දුවගෙ ගෙදර. දුව වගේ ම හොඳට බෑනත් මට සලකනවා. ඔහු මම මගේම පුතෙක් වගෙයි.”

ඒ කාලේ රංචාගොඩ ළමයා බොහෝ ම ජනප්‍රියයි. මම දකුණේ උපන් කෙනෙක්. මම ළමා කාලයේ ඉඳලම රංචාගොඩ ළමයාගේ කවි අහලා තියෙනවා. අද ඉන්න බොහෝ අය රංචාගොඩ ළමයා ගැන දන්නේ නැතිව ඇති. වැලිගම පැත්තේ කාලයකට ඉහත මෙහෙම සම්ප්‍රදායක් තිබුණා. කවුරු හරි තරුණයෙක් පිට පළාතකින් ගෑනු ළමයෙක් සහකාරිය හැටියට ගෙනාවම ඒ ගෑනු ළමයගේ ගම්පළාතේ නම යොදලා අහවල් ළමයා කියලා කියනවා‍. රංචාගොඩ ළමයා කියන්නෙත් එහෙම කෙනෙක්. ඇයත් රංචාගොඩ පළාතෙන් මාතරට කැන්දන් ගිය කෙනෙක්. විවාහ දිවියට ඇතුළත් වුණත් මේ ගෑනු ළමයගේ ජීවිතය සාර්ථක වෙලා නැහැ. ඇය දුක්බර ජීවිතයක් ගත කළේ. ඒ ළමයා මෙන්න මෙහෙම කවියක් කිව්වා කියලා, මං කුඩා කාලේ ඉඳලම අහලා තියෙනවා.

“එහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මං දීලා ඉළව්වේ
දෙමට පොතු කකා කට හම යන්නෝයා
හැම දෙයියනේ මගෙ වාහේ රකෝ රකෝ!”

මෙයින් කියැවෙන්න ඇය විදපු දුක. ඇය තවත් කවි ලියලා තියෙනවා. මේ කවිවල තාලය විතරයි තියෙන්නේ. කවිවල එළිවැටක් නැහැ කියලා උගත්තු තියනවා කියලා ඇගේ මිතුරියෝ ඇයට කියලා තියෙනවා. ඒවාට ඇය මෙහෙම උත්තර කියලා තියෙනවා‍.

‘දුකට ලියන කයියට මොන අස්සර ද?

ඇත්තට මං රංචාගොඩ ළමයාගේ ආරෙට ලිව්වේ. ජනතාවගේ දුක සමාජ ප්‍රශ්න මම ලිව්වා. ඒ හැම කවියක් ම පළවුණේ ‘රංචාගොඩ ළමයා’ නමින්.

• ඔබ ‘රංචාගොඩ ළමයා’ ලිවීම නතර කළා ද?

ඉස්සර වගේ නෙමෙයි, මම දැන් වයසයි. මං දැන් ඉන්නෙම ගේ ඇතුළේ. දවස ගානේ පළ වන හැම පත්තරයක් ම මට බැලෙන්නේ නැහැ. තොරතුරු ලැබෙන්නේ ප්‍රමාද වෙලා. මම ‍රෝගියෙක් නෙමෙයි. ඒත් වයසට යෑම නිසා ඉස්සර වගේ ඉක්මනින් ම වැඩ කරන්න බැහැ. දැන් පොතක් පතක් කියවගෙන ඉන්නවා ඇරෙන්න පත්තරවලට කිසිවක් ලියන්නේ නැහැ‍. ඒත් මට මතක් වන අතීත සිද්ධි සටහන් කරනවා. බයිබලය, ධම්මපදය වගේ ම කුරානයත් කියවනවා. මේ පොත්පත්වල ජීවිතයට එකතු කරගන්න දේ තිබෙනවා.

• ඔබේ සමකාලීනයන් ව මතකද?

මං හිතන හැටියට මගේ සමකාලීනයෝ බොහෝ දෙනා දැන් ජීවතුන් අතර නැහැ. සිරිල් සී. පෙරේරා මෑතකදී නැති වුණ බව මතකයි. මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ මගේ බිරියගේ ඥාතියෙක්. මගේ බිරිය ජීවත්ව සිටියදී මාර්ටින් වික්‍රමසිංහ ට කතා කළේ ‘මාමා’ කියලා. ඔහු හොඳ සාහිත්‍යධරයෙක්. ඒ වගේ ම ඔහු‍ට හොඳ ගතිගුණ තිබුණා.‍ ්‍මම ‘ඇත්ත’ පුවත්පතට යන විට එහි කර්තෘ වුණෙ බී.ඒ. සිරිවර්ධන මහතා‍‍. ඔහු මට හොඳට සැලකුවා. ඒ වගේ ම මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.

මම පොත්පත් දාහතක් විතර ලියලා තියෙනවා. ඒත් මම ඇත්ත පත්තරෙන් තමයි බොහොම ජනප්‍රිය වුණේ. මම ‍උපන්නේ එක් දහස් නවසිය විසි හතරේ අගෝස්තු විසි හත්වෙනිදා. තවමත් මට කණ්ණාඩි නොදමා ලියන්න කියවන්න පුළුවන්.

සිරිලාල් කොඩිකාර මහතා පවසන්නේ සිනා සෙමිනි. ඔහු තවමත් ජීවිතය බොහෝ සැහැල්ලුවෙන් ගත කරන්නේ ය.

“මම හරිම නිදහසේ ඉන්නේ මගෙ දුව, බෑනා මට හොඳින් සලකන නිසයි.” අමතක වූ දෙයක් යළිත් සිහිපත් කරන්නා සේ ඔහු පවසන්නේ ය.

 

Comments