
1. කෝකිල - මේ පාලියෙහි මෙන් ම සංස්කෘතයෙහි ද එක සේ පැනෙන තත්සමයෙකි. (දන්තජ) ‘ල’ විනා (මූර්ධජ) ‘ළ’ යෙදීම වරදෙකි. එහෙයින් කෝකිළ යනු වැරැදි වහරෙකි. මේ හා අනුරූප හෙළ වදන ‘කොවුල්’ යනු යි.
2. කෝපාවිෂ්ට - මේ සංස්කෘත තත්සමයෙකි. මෙහි සන්ධි වී ඇත්තේ කෝප, ආවිෂ්ට යන දෙ වදන යි. ආවිෂ්ට යනු සංස්කෘතයෙහි (ආ පූර්ව) ‘විෂ්’ ධාතුවෙන් (ක්‍රියා මූලයෙන්) නිපන් අතීත කෘදන්ත පදය යි. එහි අග යෙදෙන්නේ (අල්පප්‍රාණ) ‘ට’ විනා (මහා ප්‍රාණ) ‘ඨ’ නො වේ. එ හෙයින් බොහෝ විට වහරෙහි යෙදෙන කෝපාවිෂ්ඨ යනු වැරැදි වදනෙකි.
3. කාර්ය පරිපාටිය - බොහෝ තන්හි මෙය යෙදෙනුයේ කාර්ය පටිපාටිය යනුවෙනි. ව්‍යාකරණානුකූල වැ මෙහි වරදක් නැත ද එ තරම් උචිත සමාසයක් නො වේ. කවර හෙයින් ද යත් සංස්කෘත - පාලි දෙ වදනක් එක් කොට සංග්‍රහ කළ සමාසයක් හෙයිනි. මෙහි කාර්ය යනු සංස්කෘත යි. පටිපාටි යනු පාලි යි. ඒ දෙක මෙසේ එක් වැ සමාස කොට ගැන්ම එහෙයින් එ තරම් සුදුසු යැයි කිය හැකි නො වේ.
4. ක්‍රමානුකූල - මෙහි වනුයේ සංස්කෘත වචන දෙකෙක සන්ධි වීමෙකි. එ නම් ක්‍රම හා අනුකූල හා යනු යි. (ක්‍රම + අනුකූල = ක්‍රමානුකූල) සංස්කෘත ව්‍යාකරණයට අනුව නම් මෙහි (දන්තජ) ‘නු’ නොව (මූර්ධජ) ‘ණු’ යෙදිය යුතු යැයි කිය හැකි ය. කවර හෙයින් ද සංස්කෘත ව්‍යාකරණයේ දැක්වෙන ‘අවතුප්වන්තරේණ’ යන රීතිය අනුව නිවැරැදි වනුයේ (මූර්ධජ) ‘ණු’ වන හෙයිනි. ‘අවතුප්වන්තරේණ’ යනු යම් වචනයෙක යෙදෙන ‘ර්’ ‘න්’ දෙක අතර ස්වරයන් හෝ ‘ව’ කාරයක් හෝ ‘ක’ වර්ගයට නැතහොත් ‘ප’ වර්ගයට අයත් අක්ෂරයක් (ත,ඛ, ග, ස, ම, ඩ, ප, එ, බ, භ, ව) හෝ යෙදුණ ද එකී ‘න්’ යනු (මූර්ධජ) ‘ණ්’ බවට හැරීම යි. ර කාරයේ බලපෑම යට කී අකුරු හරහා ද එන බව ඉන් හැඟැවේ. ඒ අනුව මෙහි ‘ක්‍ර’ යන්නෙහි ඇති ‘ර’ කාරයේ බලපෑම ‘ම’ විනිවිද ගොස් ‘නු’ යනු ‘ණු’ කළ යුතු වෙයි. එහෙයින් නිවැරැදි වදන වනුයේ (මූර්ධජ) ‘ණු’ සහිත ක්‍රමාණුකූල යනු යැයි තර්ක කළ හැකි ය.
රීතිය එ සේ වුව ද සිංහලයෙහි ඡේක ව්‍යවහාරයෙහි වියතුන් ගේ වහරෙහි - පවා ක්‍රමානුකූල යනු යෙදේ. මෙය සංස්කෘත ව්‍යවහාරයෙහි පැනෙන යෙදුමක් නො ව, සංස්කෘත වචන දෙකක් එක් කොට සිංහලයෙහි දී නිපදවා ගැනුණු යෙදුමක් වීම එයට හේතු විය හැකි ය. වහරෙහි බොහෝ සෙයින් දක්නා ලැබෙන ‘යන්ත්‍රානුසාරයෙන්’ යනු ද එ බඳු යෙදුමෙකි.
කෙසේ වතු දු, සංස්කෘතයෙහි පවා යථෝක්ත ‘ණත්ව’ රීතිය සන්ධි - සමාසවල දී වෛකල්පිත වැ යෙදෙන්නක් බව ධාරානිපාත/ ධාරාණිපාත, ආම්‍රවන/ ආම්‍රවණ වැනි යෙදුම්වලින් පෙනේ.
5. කෛරාටික - මෙ ද සංස්කෘත තත්සමයෙකි. සිංහලයෙහි දු බොහෝ විට සංස්කෘත වචන ලිවීමේදී එ බසෙහි අක්ෂර වින්‍යාස ක්‍රමය ම අනුගමනය කැරෙන හෙයින් ‘කයිරාටික’ යනුවෙන් මෙ වදන ලිවීම එ තරම් සුදුසු නොවන බවක් පෙනේ. යමෙක් සංස්කෘත තත්සම දු සිංහල රීතියට අනුගත වැ ලියන්නේ නම් එ සේ (කයිරාටික යැයි) ලිවීම වරදකැයි කිය හැකි ද නොවේ. කිරාන + ඉක = කෛරාටික වේ. කිරාන දේශය නොහොත් එහි වැසියන් හා සබැඳි යනු අරුත යි. එහෙත් අද වහරෙහි යෙදෙනුයේ කපට භාවය හැඟැවීමට යි.
6. ක්‍රීඩාංගණ - ඇතැම්හු මෙහි (දන්තජ) ‘න’ යොදා ‘ක්‍රීඩාංගන’ යැයි ලියති. ඒ වරදෙකි. භූමිය හැඟැවීම පිණිස යෙදෙනුයේ (මූර්ධජ) ‘ණ’ සහිත අංගණ යනු යි. ක්‍රීඩා + අංගණ = ක්‍රීඩාංගණ වේ.