වේග රිද්මයත් සමඟ ආධ්‍යාත්මික පාර්ශ්වය දුර්වල වෙනවා | සිළුමිණ

වේග රිද්මයත් සමඟ ආධ්‍යාත්මික පාර්ශ්වය දුර්වල වෙනවා

නයනා ශ්‍යාමලී රාජපක්ෂ

• භාරතයේ මහා ගායන වේදිනිය වන “ලතා මංගේෂ්කාර්” පිළිබඳව කෘතියක් ඔබ රචනා කරනවා. අපේ රටේ ඉන්දීය ගායිකාවක පිළිබඳව තතු සොයා රසවින්දන සීමා පුළුල් කරගන්නා පාඨක ප්‍රජාවක් සිටිනවා යැයි ඔබ සිතනවාද?

ඇය ඉන්දීය සංස්කෘතිය තුළ ජීවත් වුවත් ජගත් සම්භාවනාවට පාත්‍ර වූ ශිල්පිනියක්. ඒ වගේ ම අපේ රටේ සංගීතය හදාරන පිරිසෙන් ඉතා වැඩි පිරිසක් උත්තර භාරතීය රාගධාරී සංගීතයයි හදාරන්නේ. ඒ අතර අප උපන් දා සිට ලතා මංගේෂ්කාර්ගේ ගීත රස විඳිනවා. ඒ හඬ අපට වඩාත් හුරු පුරුදු හඬක්. මොකද ගුවන්විදුලිය ආරම්භයේ සිට ම හින්දි ගීත අප අතර ජනප්‍රියයි. අපේ හින්දි අනුකාරක ගී යුගයකුත් තිබුණු බව අමතක කරන්න බෑ. ඇත්තෙන් ම ඇය අපට සමීප ගායිකාවක් බවයි මට හැඟෙන්නේ.

ඒ වගේ ම ඇය පිළිබඳව සොයන අපේ රසික ප්‍රජාවක් ඉන්න නමුත් සිංහල භාෂාවෙන් ඇය පිළිබඳව ලියැවුණු කෘතියක් නැහැ. හැබැයි අපේ රසික සමාජය ඉන්දියාවේ තරම් තමන් ප්‍රිය කරන ගායක ගායිකාවන් පිළිබඳව සොයන, අධ්‍යයනය කරන ප්‍රවණතාවක් නැහැ. ඒකට හේතුව එසේ විශේෂ පුද්ගලයන් පිළිබඳව ලියැවෙන සාහිත්‍යයකුත් නැති වීමයි. ඒ වගේ ම බහුතරයකට අපේ ප්‍රවීණ සංගීත ශිල්පීන් පිළිබඳව වත් අවබෝධයක් නෑ. කේමදාසයන්ගේ තනු රචනයක්, රෝහණ වීරසිංහයන්ගේ තනුවක් ඇසූ පමණින් වෙන් කර හඳුනාගැනීමේ හැකියාව නෑ. අපි ඒ සඳහා පුහුණු වීමක් හා අධ්‍යයනයක් සිදු කර නෑ.

ඒ වගේ ම මේ කෘතියෙන් මා රාගධාරී සංගීතය අධ්‍යයනය කරන පිරිසට වැදගත් වන කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කෘතිය මගේ සංගීත අධ්‍යයනයේ තවත් එක් දිගුවක්. ඒ වගේම ලතා මංගේෂ්කර් කෙනෙකු බිහිවීමට බලපෑ හේතු වගේ ම ඇයගේ වැටීම්, නැගිටීම් ආදියත් විග්‍රහ කරමින් පාඨකයා වෙනත් මානයකට යොමු කරනවා. ලතා මංගේෂ්කර් කියන චරිතය අධ්‍යයනය කරන විට අපට පෙනෙනවා ඇය සංගීතය මොන තරම් සංයමයකින් අධ්‍යයනය කර තියනවද කියලා. ඇය ගායනය සඳහා එක් ගුරුවරයකුත්, ස්වසන අභ්‍යාස සඳහා තවත් ගුරුවරයකුත් උච්චාරණ සඳහා වෙන ම ගුරුවරයකුත්, ශාස්ත්‍රීය අධ්‍යයනයට වෙන ම ගුරුවරයකුත් යටතේ අධ්‍යයන කටයුතු කරනවා. ඇයගේ හඬට අපට ළඟාවිය නොහැකි නමුත් පරමාදර්ශී චරිතයක් ලෙස ඇයගෙන් අපේ සංගීත ක්ෂේත්‍රයේ දියුණුවට උකහාගත හැකි දේ බොහෝයි.

ගීතයක් ගායනයට කලින් ඇය ඒ ගීතයේ සංගීත නිර්මාණකරුවන් සමඟ පද රචකයන් සමඟ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් අවශ්‍ය තැන වෙනස්කම් ද සිදුකරමින් ඇයගේ සංගීත ඥානයත් සමඟයි ඒ ගීතය ගායනයට පිවිසෙන්නේ. ඒ නිසා ඇය නිකම්ම නිකම් ගායිකාවක් නොවෙයි. අපේ සංගීත ක්ෂේත්‍රයටත් පරමාදර්ශ ගත හැකි චරිතයක්.

• අපේ රටේ ඕනෑ තරම් ගායක ගායිකාවන් බිහි වෙනවා. ඒ සඳහා විවිධ ක්‍රමවේදත් නිර්මාණය වී තිබෙනවා. එහෙත් ඔබ සඳහන් කරන ආකාරයේ අධ්‍යයනයකින් පසුව ගායන ක්ෂේත්‍රයට පිවිසෙන පිරිස අඩුයි. ඔබ පාසල් සංගීත ගුරුවරියක වශ­‍ෙයන් මේ තත්ත්වය දකින්නේ කෙසේද?

පාසල් දරුවකු ඉතා කුඩා ම ප්‍රමාණයේ සංගීත දැනුමක් තමයි පාසල් අවදියේදී ලබා ගන්නේ. විශ්වවිද්‍යාල මට්ටමේදී වැඩි දුර අධ්‍යයනයක් කරන්නත් ඒ දැනුම ප්‍රමාණවත් මදි. ඉන්දියාව වැනි රටක ඉතා කුඩා දේ පවා විශාල කාලයක් අධ්‍යයනය කරනවා. ඒ අයට තිබෙන්නේ සංගීතය මනාව ඉගෙන ගැනීමේ අවශ්‍යතාවක්. අපේ දරුවන්ට ඇති කර තිබෙන්නේ විභාග මානසිකත්වයක්. අපේ රටේ ඉගෙන ගන්නේත් උගන්වන්නේත් විභාග ඉලක්ක කරගෙනයි. ඉතිං කොහොමද සංගිතයට පදනමක් නිර්මාණය වෙන්නේ? ඒකට කාලයක් අවශ්‍යයි. “ස්ටාර්ලා” වෙන්න යන ළමයි දක්ෂයි. ඒත් විධිමත් අධ්‍යයනයක් කර නෑ. එහෙත් ඔවුන්ට හඬ අනුකරණය කරලා ගයන්න පුළුවන්. එයින් තරුවක් වෙනවා. එවිට අපේ ප්‍රවීණයන් බනිනවා ඒ අයට පදනමක් නැහැ කියලා. දැන් මේ තරග තියන්නේ කවුද? ඒ අය තෝරන්නේ කවුද? ඒවාට ඉදිරිපත් වෙන්න සුදුසුකම් නිර්ණය කරන්ෙන කවුද? ඒ මොකුත් නොකර බැන්නට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒවායෙන් සංගීතය දියුණු වෙන්ෙනත් නෑ. පාසලක වුණත් දරුවන් සංගීතය ඉගෙන ගන්නේ විශාල විෂය මාලාවක එකක් විදියටයි. ඒ කාලය සංගීතය ඉගෙන ගන්න ප්‍රමාණවත් නෑ. නැතුව අපේ දරුවන්ගේ හැකියාවේ අඩුවක් නැහැ.

• පාසලෙන් මේ තත්ත්වයට විසඳුමක් නොලැබෙනවිට ඉදිරියේදී අපේ රටේ සංගීත රසඥතාව තවදුරටත් පිරිහීමට භාජනය වේවි?

අපි රසවින්දනය ඉගෙනගත යුතුයි. රසවින්දනය ඉගෙන ගන්නවා කියලා හැමදෙනාට ම ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න බැහැ. ඒ සඳහා හොඳ ම දේ සවන් දීමයි. අපේ රසිකයන්ට රසිකත්වය දියුණු වෙන්න මාධ්‍යය තුළ හොඳ සංගීත භාවිතාවක් තිබෙනවද? පවතින වේග රිද්මයත් සමඟ ආධ්‍යාත්මික පාර්ශ්වය දුර්වල වෙනවා. ආධ්‍යාත්මික දියුණුව වැඩි වෙන්න නම් වේගය අඩු උසස් ගීත ශ්‍රවණය කළ යුතුයි.

• නව තාක්ෂණික භාවිතයන් ඇසුරින් සංගීත නිර්මාණ කරන පිරිසකුත් අප අතර සිටිනවා. සංගීතයට තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව මතවාද තිබෙනවා?

තාක්ෂණයත් සමඟ ගායනය ඉතා පහසුයි. ශ්‍රැතිය පවා වැරදුණොත් නැවත සකස් කළ හැකියි. එහෙත් ඒවා සාර්ථක වෙන්නේ නෑ. රසඥතාව අඩු ප්‍රජාවකට එය ගැළපෙනවා. ඒකෙන් වෙනම අවරගණයේ රසඥතාවෙන් යුතු පිරිසක් බිහි වෙනවා. මේවා යම් විනයකින් පාලනය වීමේ ක්‍රමයක අවශ්‍යතාව තිබෙනවා.

• දැනට දශක දෙක තුනකට පෙර ගායකයකු වීමට පිළිගත් ක්‍රමයක් තිබුණා. ගුවන්විදුලියේ ගායන පරීක්ෂණයකින් සමත් නොවූ කෙනකුට ගායකයකු ලෙස සමාජගත වීමට ඉඩක් ලැබුෙණ් නෑ. ඒ යුගයේ හොඳ ගීත කලාවකුත් බිහි වුණා?

අද ඒ තත්ත්වය වෙනස් වෙලා. මුදල් තිබෙනවා නම් ඕනෑ ම ගීතයක් ජනප්‍රිය කරවන්න පුළුවන්. ගායන හැකියාවට වඩා මුදල තමයි මේ අවස්ථාවලදී ප්‍රමුඛ වී තිබෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඕනෑ තරම් මේවා ප්‍රසිද්ධ වෙනවා. මේ ක්‍රමය නිසා ගායනය කරන්න බැරි අයත් ගායකයන් වී සිටිනවා, ගායනය හැකි අය බලා සිටිනවා. අද මාධ්‍ය විශාල ප්‍රමාණයක් තමන්ට ඕනෑ ඕනෑ දේවල් ප්‍රචාරය කරනවා. ඒවායේ ප්‍රමිතියක් නිර්මාණය කරගන්නේ නෑ. මාධ්‍යයේත් විශාල වගකීමක් තිබෙනවා.

Comments