
පියදාස නිශ්ශංක හා පී. වැලිකල යන මීට වසර ගණනාවකට පෙර, එක ම (මාර්තු) මාසය තුළ අභාවයට පත් නාට්‍ය රචක හා නිෂ්පාදක ශ්‍රේෂ්ඨ කලාකරුවන් දෙපළ පිළිබඳ මෙසේ සමරු සටහනක් තැබීමට, ඔවුන් දෙපළගේම සම දායකත්වයෙන් බිහි වුණු ‘රත්නාවලී’ නාට්‍යයේ ම සංගීත නිර්මාතෘ වූ මෙම ලේඛකයා වෙත අවස්ථාවක් උදා වීම භාග්‍යයක් කොට සලකමි. පියදාස නිශ්ශංකයෝ 1996 මාර්තු 17 දින ද වැලිකලයෝ 1993 මාර්තු 07 දින ද අභාවයට පත් වූහ.
‘රත්නාවලී’ නාට්‍ය රචනයේ පටන් එම නිෂ්පාදනය දක්වා ගමන් මග පියවරින් පියවර හසුරුවා ලමින් තමා විවාහ ප්‍රාප්ත වී, බිරිය සමඟ එන ‘හනිමූන්’ ගමනේ දී පවා ‘රත්නාවලී’ ගීත ගයමින්, රස විඳිමින් ගමන් කළ එම නාට්‍යයේ සුපිරි රසවතා වූ අභාවප්‍රාප්ත මහාචාර්ය සරච්චන්ද්‍රයින්ගේ ලිඛිත සටහනකින් ම එම නාට්‍ය රචක නිෂ්පාදක දෙපළ පිළිබඳ සමරු සටහන ආරම්භ කිරීම මැනවැයි සිතමි.
‘විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍යයකු ව හුන් කාලයෙහි මම ඔහු (ජයන්ත අරවින්ද) සංගීත නිර්මාණයෙහි යෙදුයෙමි. විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයෝ සංස්කෘත රත්නාවලී නාට්‍යයේ පියදාස නිශ්ශංක අනුවාදය නිෂ්පාදනය කරන්ට සිතූහ. ඒ අනුවාදයේ ඉතා කන්කලු පද්‍ය තිබිණි. ජයන්ත මේවාට තනු නිර්මාණය කෙළේ ය. ඒ තනු නිශ්ශංකගේ පද්‍ය මෙන් ම ඉතා කන්කලු විය.’
‘විශ්වවිද්‍යාල නිෂ්පාදනය ශිෂ්‍යයන් කීප දෙනෙකු විසින් කරන ලද්දේ අත්හදා බැලීමක් වශයෙන් හා විභාගයට නියමිත වූ ‘රත්නාවලිය’ වඩා මැනවින් අවබෝධ කර ගැනීම පිණිසත් ය. පසුව, පී. වැලිකල මහතා විසින් එය පොදු ප්‍රේක්ෂකයා සඳහා, හෙන්රි ජයසේනයන් වැනි ප්‍රසිද්ධ නළුවන් යොදා නිෂ්පාදනය කරන්ට යෙදුණි.
‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’
පියදාස නිශ්ශංකයන් හා පී. වැලිකලයන් එක සේ දායක වූ ‘රත්නාවලී’ නාටකය කාව්‍ය රසයෙන් පිරි, නාට්‍යමය සිද්ධි සංඝටනය අතින් අපූරු සන්දර්භයකින් යුත් සංස්කෘත නාට්‍යයකි. ක්‍රි. ව. 7 වන ශත වර්ෂයේ භාරතයේ රජ කළ විශිෂ්ට කවියකු වූ ශ්‍රී හර්ෂ දේව රජුන් විසින් එය රචනා කොට තිබිණ. 1957 දී පමණ එම ‘රත්නාවලිය’ පියදාස නිශ්ශංක කවියා විසින් තමාගේ විශ්වවිද්‍යාලයීය පාඨමාලාවකට අදාළ නිබන්ධනයක් ලෙස සිංහලට නඟා සරච්චන්ද්‍රයන්ගේ ම සංස්කරණයෙන්, පළ කොට තිබිණ. එතැන් සිට ‘රත්නාවලිය’ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල විෂය හදාරන සිසුන්ට නියමිත පාඨ ග්‍රන්ථයක් ව පැවැති අතර, අදාළ දේශන පවත්වන ලද්දේ ද මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසිනි.
සරච්චන්ද්‍රයන් තම දේශන අතරතුර සිසුන් ඉදිරියට කැඳවා වැදගත් නාට්‍ය කොටස් රඟ පාන්නට සලස්වන අවස්ථා විය. ගී ගායනයක දී එම කොටස පැවරුණේ එවක විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වී සිටි මෙම ලේඛකයා වෙත ය. විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන විට මා සංගීතය හදාරා සිටියා පමණක් නො ව, සරච්චන්ද්‍රයන් හොඳින් හඳුනා ගෙන සිටියෙමි.
වැඩි කල් නො ගොස්, සරච්චන්ද්‍රයෝ නිශ්ශංකයන්ගේ ‘රත්නාවලී’ නාටකය අනුව සංස්කරණය කොට ගත් කෙටි පිටපතක් මා වෙත ඉදිරිපත් කරමින් එහි, සංගීත නිර්මාණය කරන ලෙස භාර කළේ ය. ‘රත්නාවලියේ’ ගීතමය පද්‍ය, කවි බස, කාව්‍යාලංකාර කෙරේ සිත් බැඳ ගත් මම දිවා රෑ නොතකා උත්තර භාරතීය රාග තාල ඇසුරින් එහි සංගීතය නිර්මාණය කෙළෙමි.
පසු කලෙක සරච්චන්ද්‍රයන්ගේ ‘හනිමූන් ගීතය’ බවට පත්, නිශ්ශංකයන්ගේ පද රචනයෙන් හා මගේ තනු රචනයෙන් බද්ධ වූ, ‘රත්නාවලියේ’ එන එක් ගීයක් මෙසේ ය.
රාගය මාන්ඩ් - තාලය දීප්චන්ද්‍රි
තුනු සිරියෙන් පසු කළ සිරි ලන් දූ
මා කෙරෙහි ම නිති පේමය රැන් දූ
මා හද මානස විල ලොබ බැන් දූ
කවුරුද හසඟන වන් මේ ලන් දූ
මෙබඳු කන්කලු පද්‍ය හා තනු සුසංගත වී සරච්චන්ද්‍රයන්ගේ දෙසවනට වැකුණු සැණින් එතුමා මහත් ප්‍රසාදයට පත් වුණා මතක ය. එතුමා එම තනු තම සිතාරයේ වයන්නට පටන් ගත්තේ ය; හිතමිතුරන් සමඟ වර්ණනාවට භාජනය කළේ ය. ගීතයෙන් ලත් ප්‍රලම්භනය නිසා දෝ, ‘අපි රත්නාවලිය’ ශිෂ්‍යයන්ගේ ම නාට්‍යයක් ලෙස රඟ දක්වමු’ යැයි යෝජනා කළේ ය. වහා ක්‍රියාත්මක වූ අපි, එවක ජ්‍යෙෂ්ඨ සිසුන් දෙපලක් වූ සරත් අමුණුගම (වත්මන් විශේෂ ව්‍යාපෘති ඇමැති) හා හේමමාලි ගුණසේකර (සිරි ගුනසිංහ ආර්යාව) ගේ නායකත්වයෙන් නිෂ්පාදන කටයුතු ආරම්භ කෙළෙමු. සිසුන් අතරින් ම නළු නිළියන් තෝරා ගැනුණු අතර, සරච්චන්ද්‍රයෝ පුහුණුවීම්වලදී රංගාභිනය පිළිබඳ උපදෙස් ලබා දුන්හ. මම ගීත ගායනය පුහුණු කෙළෙමි.
මසක පමණ පුහුණුවෙන් පසු ද්වී 1959 දිනක ‘රත්නාවලිය’ ‘හිල්ඩා ඔබේසේකර’ නේවාසිකය අසල තනන ලද තාවකාලික වේදිකාවක රඟ දැක්වීමු. සරත් අමුණුගම ‘උදයන’ රජු ලෙසත් හේමමාලී ‘රත්නාවලී’ කුමරිය ලෙසත් රඟපෑහ. පසු කලෙක ‘සිංහබාහු’ නාට්‍යයට සංගීතයෙන් දායක වූ, එවක ශිෂ්‍ය එච්. එම්. බණ්ඩාරත්, කථිකාචාර්ය හේමපාල විජේවර්ධනත් බටනලා හා තබ්ලා වාදනයෙන් සහාය වූහ.
සිසුන් කථිකාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් එදා නාට්‍යය නැරැඹූහ.
‘රත්නාවලී’ දර්ශනයෙන් පසු එම ගීත ජනප්‍රිය වීමත් සමඟ යළිත් සරච්චන්ද්‍රයන්ගේ උපදෙස් පරිදි එම ගීත, පොදුවේ සිසුන්ට ඉගැන්වීමට මට සිදු විය. මෙහි ප්‍රතිඵලය වූයේ ගායන කුසලතා සහිත තවත් සිසුන් එකතු වී, විශ්වවිද්‍යාලයීය රත්නාවලී ගීත කණ්ඩායම’ බිහි වීම ය. කලාගාරය වැනි දේශන ශාලාවල ‘රත්නාවලී’ ගීත ප්‍රසංග ආරම්භ වූයේ ද සරච්චන්ද්‍රයන්ගේ උපදෙස් අනුව ය.
කලාගාරයේ එක් ‘රත්නාවලී’ ගීත ප්‍රසංගයක් නැරැඹීම සඳහා සරච්චන්ද්‍රයන්ගේ ම ආරාධනයෙන් පැමිණ සිටියේ, එවක ගුවන් විදුලියේ නාට්‍ය නිෂ්පාදකවරයකු ව සිටි, සරච්චන්ද්‍ර හිතමිතුරු පී. වැලිකලයෝ ය. ගීත ශ්‍රවණයෙන් එතුමා ද සරච්චන්ද්‍රයන් මෙන් ඉමහත් සතුටට පත් ව සිටියා මතක ය. ප්‍රසංගය අවසානයේ සරච්චන්ද්‍රයෝ මා හා වැලිකලයන් හමු කරවා, ‘රත්නාවලිය’ ප්‍රකට නළුනිළි පිරිසක් යොදා ගෙන ප්‍රසිද්ධ රංගනයක් බවට පත් කරලීමේ බැරෑරුම් කාර්යය වැලිකලයන් වෙත පැවරූහ. වැලිකලයෝ 1960 දී ම, හෙන්රි ජයසේන, ඩැනියෙල් මුතුමාල, සුමනා ජයතිලක, මිරැන්ඩා හේමලතා වැනි ප්‍රකට නළුනිළියන් යොදා ගෙන ‘රත්නාවලී’ සංගීතමය නාට්‍යය නිෂ්පාදනය කළාහු ය.
පියදාස නිශ්ශංකයන්ගේ, රචනයෙන් හා වැලිකලයන්ගේ නිෂ්පාදනයෙන් මෙසේ වේදිකාවට ආ ‘රත්නාවලී’ සංගීතමය නාට්‍යය මෙරට නාට්‍ය ක්ෂේත්‍රය තුළ ඓතිහාසික වැදගමක් උසුලයි. එහි ප්‍රධාන චරිතය වූ රත්නාවලී කුමරිය ශ්‍රී ලංකාවේ රජ කළ වික්‍රමබාහු නමැති රජ කෙනකුගේ දියණිය ලෙස නාට්‍යයේ සඳහන් වේ. රත්නාවලී කථා පුවත වන්නේ එම සිංහල කුමරිය භාරතයේ ‘උදයන’ රජුන් හා විවාහ වීමට යාමෙන් උද්ගත වූ සිද්ධි සංඝටනය ය. තවද, එම සංස්කෘත නාට්‍යයේ ඇතුළත්, ‘ද්වීපාදන්‍යස්මාදපී’ යනාදි සංස්කෘත ශ්ලෝකය මෙරට දඹදෙණි යුගයේ ගුරුළුගෝමි පඬිවරයා විසින් රචිත ‘ධර්මප්‍රදීපිකා’ නමැති සිංහල ධර්ම ග්‍රන්ථයේ උදාහරණ පාඨයක් ලෙස ඇතුළත් වේ. සම්භාව්‍ය නාට්‍ය කලාවක් පිළිබඳ ව මෙරට අතීතයේ, යටත් පිරිසෙයින් දැන සිටි බවට පවත්නා එක ම ඓතිහාසික සාක්ෂිය මෙය වේ.
රත්නාවලියේ ඇතුළත් උත්තර භාරතීය රාග තාල සංගීතය සලකන විට, නමසිය තිස් හතළිස් ගණන්වල දී මෙරට අභාවයට පත් නූර්ති නාට්‍ය සම්ප්‍රදාය ‘රත්නාවලියෙන්’ පුනර්ජීවයක් ලැබුවා සේ ද, බස් වහර හා ගීතවල අධික කාව්‍යමය ගුණය සලකන විට, එහි වර්ධනයක් ලෙස ද සැලකිය හැකි ය.
‘රත්නාවලී’ නිෂ්පාදනයෙන් අනතුරු ව, නිශ්ශංක හා වැලිකල දෙපළ තවත් සංස්කෘත නාට්‍යයක් සිංහලට අනුවාදය කොට නිෂ්පාදනය කළාහු ය. ‘මෘච්ඡකටිකා’ නොහොත් ‘මැටි කරත්තය’ නම් වූ එය ද සංගීතවත් නාට්‍යයක් වූ අතර, එහි සංගීතය නිර්මාණය වූයේ සෝමදාස ඇල්විටිගලයන් අතිනි.
ඉහත සඳහන් පරිදි, පියදාස නිශ්ශංකයන්ගේ නාට්‍ය රචනයේ පටන් වැලිකලයන්ගේ එම නිෂ්පාදන කාර්යය දක්වා වූ ගමන්මඟ, සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය සහ දේශීය සංගීතඥයන්ගේ නිර්මාණ ඇසුරින් හැඩ ගස්වමින් සරච්චන්ද්‍රයන් කළේ, නාඩගම් සම්ප්‍රදාය ඇසුරින් දේශීය නාට්‍ය කලාවක් ගොඩ නැඟීම සඳහා තමා දියත් කළ දීර්ඝ ප්‍රයත්නය හා සමගාමී වන පරිදි, එක් අතකින් උත්තර භාරතීය වූ ද අනිත් අතින් දක්ෂිණ භාරතීය වූ ද මූලාශ්‍රයන් හරහා දේශීය සම්භාව්‍ය නාට්‍ය කලාවක් ගොඩ නැඟීමේ ද්විමාර්ගගාමී පිළිවෙතක් අනුගමනය කිරීම ය.