
කෙටිකතාව
හිසට ඉහළින් කැරකෙන විදුලි පංකාව ගතට සිසිලක් නොව හිතේ කීරිගැස්සීමක් උපදවයි. කපුටන් සේ කළු පැහැයෙන් සැරසුණ පෙරකදෝරුවන් එකිනෙකා, ඔවුනොවුන් හා සෙමින් කෙඳිරුවත්, ඔවුන්ගේ නෙත් දිවයන්නේ සැකකරුවන්ගේ වැරදි ලියැවුණු රෝනියෝ කඩදාසි මතයි. සුදු ඇඳුමෙන් සැරසී බංකුවල හිඳ සිටින විත්තිකරුවන් බියෙන්දෝ ගල් රූ මෙන් නිසල ව සිටිති. වටපිට බලා සිටින්නෝ නිහඬ බව රකිතත් ඔවුන්ගේ උකුසු ඇස් උසාවිය පුරා දිවයන්නේත්, දෙකන් වටපිටාවට හරවන්නේත් කාට හෝ සිනාසීමට අවස්ථාවක්, කොහෙන් හෝ ඉස්මතුවන තෙක් මෙනි.
දෙව් පිළිරුවක් අබියස යදිනා වන්දනාකරුවකු මෙන් සිරිපාල විනිසුරු ආසනයේ තේජවන්තව වැඩ සිටින විනිසුරුතුමා දෙස බලා සිටී. ඔහුගේ වමතට යාවුණු යදමේ බැඳී සිටින සභාරත්නම් බිම බලාගෙන කල්පනාවක ය. ඊටත් එහා, එනම් පේළියට සිටගෙන සිටින්නේ, සිරිපාල නොහඳුනන මුස්ලිම් මිනිසුන් කීපදෙනෙකි.
“පළමුවන විත්තිකරු... නල්ලයියා සභාරත්නම්... දෙවන විත්තිකරු... ටී.ජේ. සිරිපාල....” මවාගත් ගැඹුරු කටහඬින් ආරච්චි දිගින් දිගට ම නම් කීපයක් කියූ මුත්, තම නම ඇසීමෙන් ඇතිවූ නොසන්සුන්තාව නිසා ඉන් එහා කිසිවක් සිරිපාලට මතක නොසිටියේ ය. තම පපුවේ ගැස්ම බලා සිටින මිනිසුන්ටත් විනිසුරුටත් ඇසේදෝයි බියක් ඇති වූ සේ ඔහු වට පිට බැලුවේ ය.
මේ සියල්ලෙහි ම අග මුල කොහේ දැයි සොයා ගැනීමට සිරිපාල තවමත් අපොහොසත් ව සිටී.
“විත්තිකරු... ටී.ජේ. සිරිපාල...” ඒ හඬේ දෝංකාරය දහස් වාරයක් ඔහුගේ සවන්පත්වල වැඳී අවතාරයක් මෙන් හදවත බියවද්දනු ඔහුට දැනේ.
“තමා විත්තිකරුවකු වූයේ කෙසේද? යන්න තවමත් සිරිපාලට පැනයකි. විත්තිකරු යනු වැරදිකාරයකු වීමේ ප්‍රවණතාවක් හෝ ප්‍රස්තාවක් ඇත්තෙක් වේ. එහෙත් වරදක් නොකළ මිනිසකු විත්තිකරුවකු වන්නේ කෙසේද? ඔහු ඔහුගෙන් ම ප්‍රශ්න කර සිටියේ ය.
“ස්වාමීනි මේ දෙවන විත්තිකරු කොයියම්ම අයුරකින්වත් මේ සිද්ධීන් කිසිවකට සම්බන්ධ නැහැ. ඔහු මේ කෝලාහලය සිදුවූ තැන සිටියේ එතැන තිබූ පුස්තකාලයට ගිය බැවිනි. එසේ ම ඔහු පළමු විත්තිකරු හෝ කෝලාහලයට සම්බන්ධ මුස්ලිම් මිනිසුන් දැන සිටියේ නෑ” සිරිපාලගේ නීතිඥයා දිගින් දිගටම කියවයි.
“ඇත්ත, ඔය සේරම ඇත්ත. ඒත් ඔය ඇත්ත කියන්නත් මට පෙරකදෝරුවෙක් හොයන්න වුණා නේද? ඒකත් නිකම්ම නම් කමක් නැහැ. සල්ලි ගෙවලා. පෙරකදෝරුවෙක් නොඇල්ලුවා නම් මාව දුර්වල කරල පැමිණිල්ල දිනනවා. සත්‍යය ඒ තරමට බාල්දු වෙලා අද සමාජයේ”
තම අසරණකම ඔහු තුළ ඇති කළේ අපේක්ෂා විරහිත හැඟීමකි. සිරිපාල එදා පුස්තකාලයට ගියේ කාලයකට පසුයි. එදිනම මෙවන් සිදුවීම් වැලක් මුල් අදින්නටත්, ඒ සිදුවීම් බූවල්ලකු සේ තමාවත් ග්‍රහණය කරමින් අනාගතය වෙත ඇදෙන්නටත් පටන් ගත් අයුරු පුදුමාකාර ය. මෙය තම ඉරණම යැයි ඔහුට සිතිණි.
“ගිනි තියපියව්... මරාපියව්... කියමින් මුස්ලිම් මිනිසුන් කිහිපදෙනෙක් දිව ආ අයුරු ඔහුට මැවී පෙනේ. සිංහල මෙන් ම දෙමළ භාෂාවෙන් කෑගැසූ හඬ රෞද්‍ර විය. පුස්තකාලය ඉදිරිපසින් වූ නිවසකට සහ ඒ අසල ම වූ තරමක ඩිස්පෙන්සරියකට කඩා වැද ඒවාට ගිනි තබන්නටත්, එහි සිටි මිනිසුන්ට හිරිහැර කරන්නටත්, මොවුනට එතරම් වෙලා ගියේ නැත. මේ කෝලාහලය දෙස සිරිපාල බලා සිටියේ දැඩි කනගාටුවෙනි. පහර වදින්නවුන් ඇඳ සිටි ඇඳුම පිටින් ම පාර දිගේ දුවනු ඔහු දුටුවේ ය. ඒ අතර කුඩා ළමුන් කිහිප දෙනෙක් ද වූහ. එහෙත් ඔහු හෝ බලා සිටි වෙනත් අයකුට අර ඝට්ටනකාරී මිනිසුනට විරුද්ධවීමට තරම් එඩිතර නොවී ය.
සමහරවිට මෙය නිවස හිමි දොස්තරගේ කිසියම් වරදක් විය හැකි ය. සමහර විට ඒ මැරවර මිනිසුන්ගේ අවිනීතකමේ ප්‍රදර්ශනයක් විය හැකි ය. එහෙත් මිනිසකු දිවිය පුරා රැස් කළ වස්තුව හා යාන වාහන ගිනි ගනිද්දීත්, ඒ මිනිසාගේ බිරිය සහ දූ දරුවන් උන් සිටි තැන් නොමැතිව හිස් ලූ ලූ අත දුවද්දීත්, ඊට මුල් වූ මිනිසුන් කෙරෙහි වෛරයක් සිරිපාලගේ සිත තුළ ඇති විය.
“මෙහෙම දෙයක් මට වුණා නම් හෙට වන විට මම අනිවාර්යයෙන් ම හිඟන්නෙක්, ආයෙ කවදාවත් හිටි තත්ත්වයට එන්න මට ලැබෙන්නෙ නැහැ” ඔහුට එවේලේ සිතුණි. මේ කෝලාහලයෙහි අග මුල කුමක්දැයි දැන ගැනීමට කුකුසත් ඇති වූ හෙයින් අසල සිටියකුගෙන් විමසූ නමුත් ඔහු ද වැඩියමක් දැන සිටියේ නැත.
“ඔය දොස්තර මහත්මයෙක්... නම සභාරත්නම් ටික දවසකට කලිනුත් මේ දෙගොල්ල අතරෙ රංඩුවක් වෙලා තියෙනවා මුස්ලිම් කෙනකුගෙ බිරියකට ගබ්සාවක්, කසාද මිනිහට හොරෙන් කළා කියල. සමහර විට මේකටත් හේතුව ඒක වෙන්නැති.”
සිරිපාල සභාරත්නම් ව දැන ගත්තේ ඔය අයුරිනි. සිද්ධිය ගැන නිවැරදි අදහසක් ගැනීමට ඒ විස්තරය නොසෑහුණත් කිරා බලා අඩුතැන් පුරවා සත්‍යය යැයි හැඟෙන කථාවක් සිරිපාල විසින් ගොතාගත්තේ ය.
“ගබ්සාවක් කරනව කියන එක නම් නීති විරෝධී වැඩක්. දොස්තර කෙනෙකුගෙ යුතුකම තියෙන නීති යටතේ ලෙඩුන් සුවපත් කිරීම, ගබ්සා වගේ දේවල් ඇතිවෙන්න, ඇතිවෙන්න සමාජෙ තියන සදාචාර ලක්ෂණ විනාශ වෙලා යනවා. දොස්තර කරල තියෙන්නේ වැරදි වැඩක්. ඒත් දොස්තරගේ පවුලයි, දරුවොයි මෙන් ම ගේ දොර මොනව කරන්නද මිනිහගෙ වරදට. මේ මිනිසුන්ට තිබුණෙ දොස්තරව පොලිසියට අල්ලල දෙන්න.
සිරිපාල නැවත පියවි ලොවට පිළිපන්නේ ඔහුගේ නම නැවතත් සාක්කි විභාගයේ කියවෙනවා ඇසීමෙනි.
“ස්වාමිනි, සිරිපාල සිද්ධියට පටලැවුණේ අහම්බෙන්. ඒ ඔහුගේ සිතේ තිබුණ මිනිස්කම නිසා ඔහුට අද උසාවි එන්න වෙලා තියෙන්නෙ ඔහු සතුව ඇති මේ මිනිස්කම නිසා. අපි අද ජීවත්වෙන්නෙ මිනිස්කම නුහුරු සමාජයක නිසා. ඔහු එදා පුස්තකාලයෙ වාඩිවෙලා නොසිට පිටවෙලා තියෙන්නෙ කෝලාහලය දුරදිගු යාවි යැයි සිතලා. ඔහුගේ රථයක් රැගෙන කෝලාහලය සිදුවූ තැන පසුකර නිවස දෙසට එන ඔහුට බියෙන් පලායන සභාරත්නම්, බිරිය හා ළමයි හමුවී තිබෙනවා. ඔහුගේ සිතේ ඇති වූ අනුකම්පාව නිසා ම ඔහු ඔවුනට පිහිටවෙලා තිබෙනවා ස්වාමීනි.
“කුමන ආකාරයකින් ද දෙවන විත්තිකරු, පළමු විත්තිකරුට උදව් වී ඇත්තේ?”
විනිසකරුගේ ගැඹුරු කටහඬ සිරිපාලට ඇසිණි.
“ඔහු කාරය නතරකොට අසා තිබෙනවා. මහත්තයාට යම් උපකාරයක් අවශ්‍ය ද කියලා සභාරත්නම් මේ අවස්ථාවේ සිට ඇත්තේ එවන් උපකාරයක් අවශ්‍ය ව. විශේෂයෙන් මිනිසකුට තවත් මිනිසකු පිහිට නොවන මෙවන් කාලයක, ඒ අවස්ථාවේ සභාරත්නම් සහ පවුල තම නිවසට ගෙනවිත් නවත්වා පසුව සභාරත්නම් සමඟ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබෙනවා. මෙය මිනිසකු විසින් විපතකදී ක්‍රියා කළ යුතු ආකාරයයි ස්වාමීනි.
සිරිපාලට දැඩි සතුටක් නොවුව ද තරමක සැනසුමක් ඇති විය. අසරණ වූවෙකුට තමා වෙත පාව එන අනුකම්පාව අංශුමාත්‍රයක් පවා වතුරේ ගිලෙන මිනිසෙකුට හමුවන ලී කොටයක් මෙනි. ඔහු මුළු සභා ගැබ පුරාම බැලුවේ තමා නිවැරැදි යැයි වටහාගත් මිනිසුන් දැකීමට වුවත් සභා ගැබේ කිසිවකු ඔහු දෙස බලා සිටියේ නැත.
“එක අතකින් මටත් තිබුණේ මට ඉස්සරහින් ගිය අය වගේ අහක බලාගෙන යන්න. අහල පහළ මිනිසුන් වගේ ගෙවල්වල දොරවල් වහගන්න. උන්ගෙ ගමේ මිනිස්සුන්ගෙ ලෙඩ දුක බලපු දොස්තරට, උන් එහෙම කළා නම් ඇයි මට බැරිවුණේ ඒ ටික කරන්න. දැන් ඒ මිනිස්සු හිතනවා ඇති මට ඕනෙ නැති දේට අතදාල බැටකනවා කියලා.”
කෙසේ වෙතත් සභාරත්නම්ට උපකාරීවීමෙන් සිරිපාල ලැබුවේ උපරිම තෘප්තියකි. ගෙදරදී ඒ කුඩා දරුවන් සිරිපාල දෙස බැලුවේ සුරංගනා කථාවල එන වීර චරිතයක් දෙස මෙනි. ඔවුන්ගෙන් ස්තුතිවල කෙළවරක් නොවූවේ ය.
“මට තේරෙන්නෙ නෑ සිරිපාලට කොහොම ස්තුති කරන්න ද කියලා. මගෙ මුළු සේසතම විනාශ වෙලා ගියත් එක මිනිහෙක් හරි මට උදව් කළා කියල මට සතුටුවෙන්න පුළුවන්.”
“මොකක්ද මහත්තයා මේ සිද්ධිවලට මුල? සිරිපාල ඇසුවේ සිතේ නැගෙන කුකුස තරමක් වත් මැඬගැනීමේ අභිලාෂයෙනි.
“අනේ මන්ද සිරිපාල. දැනට මාසයකට විතර කලින් ගැහැනු කෙනෙක් ආවා වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඇත්තටම ඇය ගැබිනියක්. ඇගේ වුවමනාවෙන් ම ඇය කිව්වා ඒ ගැබ විනාශ කරන්න ඕනෙ කියලා. ඉස්සර නම් මමත් බයයි ඔය වගේ දේ කරන්න. දැන් සමාජයේ ඔය වගේ දේ අනල්පයි. ටික දවසකට පස්සේ ඇගේ ස්වාමියා ඇවිත් මා එක්ක බහින් බස් වුණා. ඒ මනුස්සයා දැනගෙන ඉඳලා නැහැ, ඇය ගැබිනියක් බව හෝ ගබ්සාවක් සිදුවූ විත්තියක්.
ඒ මතක ලොවේ රැඳෙන්නට අවස්ථාව නොදී සිරිපාලව උසාවියට ගෙන්වීමට විනිසුරුගේ ගැඹුරු කටහඬ සමත් විය.
“දෙවන විත්තිකරුගේ නිවසේ පළමු විත්තිකරු කොපමණ කාලයක් වාසය කොට ඇතිද?”
“ස්වාමිනි, මොවුන් සිරිපාලගේ නිවසේ වාසයකොට ඇත්තේ දින දෙකක් පමණි. පසුව ඔවුන් පළමු විත්තිකරුගේ නෑදෑ ගෙදරකට ගොස් තිබෙනවා.”
“මා විශ්වාස කරනවා මේ උගත් නීතිඥ මහතා අප හමුවේ සත්‍යය ප්‍රකාශ කරන බව. විශේෂයෙන් අප පළමු විත්තිකරු දොස්තර කෙනෙක් වශයෙන් යහපත් නමක් දරන අතරම, අනිත් අතින් රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී කටයුතුවලට යොමු වී ඇත්තේය කියා සැක කෙරෙනවා. නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය, වීඩියෝ චිත්‍රපටි, රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම වැනි කටයුතු වලින් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට රුකුල් දී ඇතැයි පොලිසිය වාර්තා කරනවා. ඒ නිසා අපට සම්පූර්ණ සත්‍යය දැනගැනීමට අවශ්‍යයි.”
“මා පවසන්නේ මාගේ දැනීමේ හැටියට සම්පූර්ණ සත්‍යයි ස්වාමීනි, මගේ ග්‍රාහකයා ඒ බව දිවුරා කියා සිටී.”
දන්දීමටත් වඩා මිනිසකුට සුළු උපකාරයක් කිරීම පුණ්‍යකර්මයක් යැයි සිතා සිටි සිරිපාලට කණපිට පෙරළී තම හිස මතට කඩා වැටුණ මේ සිදුවීම් පෙළ ම පුදුමයක් විය. හදිසියේ ම තම නිවෙස පොලිසියෙන් වට කිරීමෙන් ඔහු දැඩි විමතියට පත් විය. ඒ සභාරත්නම් පිට වී දින දෙකකට පමණ පසු ව ය. තමා වරදක් කර නැති නිසා සිරිපාල ඔවුන් හමුවට ගියේ සිනාමුසු මුහුණෙනි.
“තමුසෙද සිරිපාල කියන්නේ.”
“ඔව් රාලහාමි...”
“කෝ අර සභාරත්නම් කියන එක..., ඌ මෙහෙ නේද හිටියෙ...?”
“එයා ගිහින් දැන් දවස් දෙකක් වෙනවා.” සිරිපාල දන්න සියල්ල ඔවුනට පැවසූවත් පෙරළ පෙරළා සොයද්දී කුමක් හෝ වරදක්, කොහේ හෝ සිදුව ඇතැයි සිරිපාලට හැඟුණි. පොලිසියේ රාලහාමිලාගෙන් වැදුණු පහරවල් වලින් මිනිසකුට උදව් කර ඔහු ලැබූ ආත්ම තෘප්තිය කෙළවර විය. සභාරත්නම් ත්‍රස්තවාදියකු බවත්, ඒ බව සනාථ කෙරෙන ලියකියවිලි ඔහුගේ නිවසේ තිබී හමුවුණ බවත් කියමින් ඔවුන් සිරිපාලට තව තවත් පහර දුන්හ.
“මම වරදක් කරල නැහැ රාලහාමි...” ඔහු වේදනාවෙන් මොර දුන්නත් පොලිසිය ඔහුට පහර දුන්නේ ලේ කඳුළුවල, සත්‍යය රැඳී ඇතැයි සොයා ගැනීමට මෙනි.
පොලීසිය විසින් සභාරත්නම් සොයාගන්නා විට සිරිපාල පොලිස් අත්අඩංගුවේ පසුවිය. තම වමතට සභාරත්නම්ගේ දකුණත යදමකින් බැඳුණු දා සිරිපාලට කෑගසා හඬන්නට තරම් සිත් කම්පාවක් ඇති විය. ඔහුට ජේසු තුමා මතක් විය. බරබ්බස් සහ තවත් හොරෙක් සමඟ එතුමාවත් කුරුසියේ ඇණ ගැසුවේ මිනිස්සු ය. ජේසුතුමා ඒ නින්දා ඉවසුවේ නම් මම වගේ සුළු මිනිහෙක් මොනවට කලබල වෙනවා දැයි සිත හදා ගැනීමට සිරිපාල පුරුදු වූවත්, යදම් වලින් බැඳ මහ පාරේ ගෙන යන විටත්, වරදකරුවකු ලෙස සලකා මිනිසුන් විසින් පිළිකෙව් කරන විටත්, ඔහුට දැඩි කනගාටුවක් දැනිණි. විශේෂයෙන් දෙමළ ත්‍රස්තවාදී අදහස් දරන්නකුට තමා ආධාර කළ බැව් ප්‍රකාශ වීම හේතුවෙන්. සිංහල මිනිසුන් තුළ ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති නොවී වෛරයක් හෝ අප්‍රසාදයක් ඇතිවීම ස්වාභාවික විය.
සභාරත්නම් අමුතුම මිනිසකු වී සිටියේ ය. ඔහු සිරිපාල සමඟ කතා කළේ ඉඳහිට පමණි. ඒත් ඕනෑවට එපාවට මෙනි. කෙසේ වුවත් සිරිපාලගේ සිතේ වූයේ වෙනත් බලාපොරොත්තුවකි.
“මම වරදක් කර නැති බව සභාරත්නම් මහත්තය දන්න නිසා සමහර විට කියයි. මාව මේකට ගාවන්න එපා කියලා. මම හිතන්නේ නෑ එයා ගුණමකුවෙක් වේය කියලා.”
එහෙත් සභාරත්නම්ට එවැනි අවශ්‍යතාවක් හෝ හැඟීමක් නොවී ය. සමහර විට සභාරත්නම් සැඟවී සිටි තැන පිළිබඳව පොලිසියට කීවේ සිරිපාල බවට ඔහු සැක සිතන්නට ඇත. නොඑසේ නම් සිරිපාල සිංහල නිසා ඔහුගෙන් පළිගන්නට මෙලෙස කරන්නට ඇත. සභාරත්නම් කළේ සිරිපාල සමඟ කතාව තවදුරටත් අඩු කිරීමයි. මේ ප්‍රතිචාරය සිරිපාල තුළ ඇති කළේ ආත්මානුකම්පාවකි.
එදා සභාරත්නම් සිටි අසරණ විලාසය විටින් විට සිරිපාලට මතක් වේ. එදා පිදූ තුති සහ දෙඩු මුදු වදන් මතක් වෙද්දී සිරිපාලගේ හද අභ්‍යන්තරයේ ඉඳිකටු අනින්නා සේ දැනෙයි.
“ස්වාමිනි, ...මේ කෝලාහලය අපට ආරංචි වුණේ පළමු විත්තිකරු දෙවන විත්තිකරු සමඟ පොලිසියට පැමිණ පැමිණිල්ලක් දැමූ පසුයි. ඔවුන් පැමිණියේ දෙවන විත්තිකරුට අයත් රථයෙන් අප වහාම මේ ගිනි තැබීම පිළිබඳ සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. (එම පැමිණිල්ල වෙනම ඉදිරිපත් කර ඇත) පසු දින ඒ නිවස පරීක්ෂා කරන විට ඉතිරි වූ පිඹුරු පත් හා ලිපි කීපයක පළමු විත්තිකරු ත්‍රස්තවාදී කටයුතු වලට උදවු කරන බව හැඟෙන කරුණු අඩංගුව තිබුණා. ඊට පසුවයි අපි මොහු ගැන සොයා බැලුවෙ.”
“ගමේ මිනිස්සු දැන සිටියේ නැහැ මොහු ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ බව. අප මොහුව සෙවූ කාලය තුළ මොහු සැඟවී සිට ඇත්තේ සිරිපාලගේ නිවසේ වන අතර පසුව වෙනත් ගමක ඥාතියෙකුගේ නිවසේ දී අත්අඩංගුවට ගත්තා. ඔහු ළඟ තිබූ ලිපි හා පිඹුරුපත් අනුව අසල ප්‍රධාන නගරයට පහරදීමේ තැනක් ඇති බවට ඔප්පු වෙනවා. අප දෙවන විත්තිකරුට චෝදනා කරන්නේ පළමු විත්තිකරුව සඟවා තැබීම, ත්‍රස්තවාදී කටයුතුවලට සහය දීම හා සැකකටයුතු පුද්ගලයකු හා කිට්ටු ආශ්‍රය නිසයි.”
“ස්වාමිනි, මේ සභාරත්නම් නැමැත්තා නීති විරෝධී කටයුතු කීපයක යෙදී සිටි බව ආරංචියි. මේ කලබලය ඇතිවී ඇත්තේ ගබ්සාවක් සම්බන්ධ ව. මගීන් ප්‍රවාහනය කරන බස් දෙකක් ඔහු සතුව ඇති අතර වීඩියෝ චිත්‍රපට හා මත්ද්‍රව්‍ය තිප්පළක හිමිකරුවෙක් ස්වාමිනි.
“ස්වාමීනි, ඔහු ධනවතෙක්.”
සිරිපාලට පුදුම සිතුණි. කවුදෝ කී දේ සැබෑ ය. පොලීසිය සභාරත්නම් ගැන සියල්ල දනී. සාජන්ගේම අර සුවිශේෂ වචනය සිරිපාලට මතක් වේ. “ඔහු ධනවතෙක්” මෙතුවක් යමක් නොකළේ ඒ නිසා වන්නට ඇත. නීති විරෝධී ගබ්සාවක් කළ බවට පැමිණිල්ල ලැබූ අවස්ථාවේ අල්ලසක් ගෙන නිදහස් නොකොට, තමාට මෙන් තළා පෙළා සත්‍යය උදුරා ගැනීමට බැලුවා නම් මේ කිසිවක් සිදු නොවනු ඇත. “අපි දුප්පත්” ඔහුට සිතිණි. කාගෙන් හවුහරණක් නැති අපිට අපේ ම නීතියක් ද්‍රෝහි වෙලා.
සිරිපාල විනිසුරු අසුන දෙස බැලී ය. විදුලි පංකාව තවමත් කැරකෙයි. බලා සිටින්නෝ බැලූ බැලූ අත බලාගෙන සිටිති. යදම්වල බැඳුණු විත්තිකරුවෝ නිහඬ ය. පෙරකදෝරුවෝ තම සටන්වල ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටිති. සත්‍යයේ ජයග්‍රහණය හෝ නිවැරැදිකරුවන්ගේ නිදහස කෙසේ වුවත් තම අනාගතය, ලැබෙන ප්‍රතිලාභ හෝ ප්‍රසිද්ධිය මෙවන් තින්දු මත රැඳී තිබෙන බව ඔවුහු දනිති.
“විනිශ්චය සභාවේ මහත්වරුනි,” ඒ ගැඹුරු කටහඬ සිරිපාල තුළ දැඩි බියක් ඇති කළේ ය. සභාරත්නම් බිම බලාගෙන සිටී. ඔහුට කෙසේ වෙතත් සිරිපාලට ජීවිතය වටී. නිදහස ඊටත් වඩා වටී.
“පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි සසඳා බලා මෙහි පළමු විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමටත්, වැඩිදුර පරීක්ෂණ කටයුතු කරගෙන යාමටත් නියෝග කරමි. මෙම නඩුවට අදාළ ගිනි තැබීම්වලදී විත්තිකරු නිදොස් සේ හැඟෙන මුත් මේ තීරණයට ඒ කාරණය අදාළ නැත.
කිහිල්ලෙන් ගලා ආ දහ බිඳුවක් බඩ තුළින් සරමට වැටී බොඳවී යනු සිරිපාලට දැනිණ. රිමාන්ඩ් එකේ බත් පෝලිම, අපුල කෑම, බර වැඩ, ගුටි බැට සිතුවම් පටක් සේ ඔහුගේ මනසේ දිස් වෙයි. ඒ දුකට වඩා මරණය යෙහෙකැයි ඔහුට සිතුණි.
“මෙම සාක්ෂි සසඳා බැලීමේදී දෙවැනි විත්තිකරු බරපතළ වරදක් කර නැති බවත්, ඔහු අහම්බෙන් මේ සිද්ධි දාමයට පැටලී ඇති බවක් මට පෙනී යනවා. අදාළ සිද්ධියේ දී මිනිසත්කම සංකේතවත් කළ දෙවැනි විත්තිකරුට මගේ ප්‍රණාමය පුද කරන අතර ම, මම ඔහුට අවවාද කරනවා විෂම වූ සමාජයක උත්තරීතර ගුණ යහපත්කම් දැක්වීමේ දී මීට වඩා මඳක් පරිස්සම් ව කටයුතු කරන ලෙස. ඔහු නිර්දෝශියි.”