කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

පන්හිඳ කග පතක් කළ පියා­ණෙනි

(කලා­සූරී ගුණ­දාස ලිය­නගේ මහ­තාගේ දහ­නව වන ගුණ සම­රුව නිමි­ත්තෙනි)
සත්ත­මයි මයෙ තාත්තෙ අද ඊයෙ වගේ­මයි
ගිලන් ඇඳ පා මුලෙහි ඇහෙ­නුයේ ඉකි හඬයි
සිහි­නය රිදුම් දෙන මට මහා තනි­ක­මයි
ලියන ගෙයි හැම තැනම ඔබ තවම සැරි­ස­රයි

වැහි අඳුර කුර ගගා හිස පොවන ඉස­ව්වෙන්
අත­ දරා නොපළ පොත අත වනනු මට පෙනේ
සෙවණ දුන් නුග තුරක පැහැ­ස­රය රඳ­ව­මින්
ජීවි­තය ගොත­න්නෙමි ඔබ මහරු කලා­වෙන්

වාලුකා වැලි කඩෙක වැතිර හිඳ මියෙන සඳ
තාරුකා ඇස දුරයි සිතිජ ඉම පමණි අද
රළක් සේ ඇදී එන දහක් දුක් ගැහැට මැද
පිය සෙනෙහෙ තරම් ලොව සැන­සු­මක් කොහි වේද

දරා­ගත නොහැකි දුක දරා හිත එක­ලාව
අත බිඳුණේ් අම්මගේ කඳුළු සයු­රට මුහුව
ඔබ ලියූ අකුරු වැල් කෑ ගසයි ඔබ නැතිව
අනේ අද­වත් එන්න හිනැ­හෙන්න හිත ගාව


ශ්‍රීමත් ඉන්ද්‍ර­ජිත් ලිය­නගේ


තවම නොලි­ය­වුණ කවිය

පෙර දිනක
ඔබ ගැන මම ගැන
අපේ ආද­රය ගැන
ලිය­න්නට පටන් ගත් කවිය
කෝ කොහි ද...

හිතා ගන්න­ටත් බැරි තරම්
වේග­යෙන්
කාලය ඉක්ම ගොස් ඇති' මුත් ,..
එකම එකම අකු­රකුදු නොලි­ය­වුණු
සුදු පාට කඩ­දා­සි­යක් විත­රක්ම
සිනා­සෙයි මා සමඟ
(ඔච්ච­මට වාගේම)

පත් ඉරු එලෙස හිස්ව තිබි­යදී
ඔබ - මම
අපේ ආද­රය
කවි­යක්ව පව­තීය....හද­වත් හි
ස්පර්ශ කළ නොහෙන
ගැඹුරු සොඳු­රුම තැනෙක
ලියා ගනු බැරි තරම් රස­වත්


රංජි අමරා


 ගස සහ උය­න්පල්ලා

වස්සාන සෘතුවේ පේමයේ මල් පිපුණ
විසල් තුරු යට සිටිති පෙම්වත්හු තුරුලු වී
අතු අතින් මල් ඇතිව පවන සලසා නිබඳ
ගස සදයි රැක­ව­රණ ප්‍රේම­යට නිහ­ඬ­වම

හෙමි හෙමින් පව­සනා මුනුමුනුව නො අසාම
කුලෑ­ටිව හාදු­වක් දෙන අයුරු නොබ­ලාම
ලොවට සඟ­වනු පිණිස දයා මුසු පෙම් දසුන
ගස සදයි රැක­ව­රණ ප්‍රේම­යට නිහ­ඬ­වම

මල් රේණු, පෙති ගොන්න එකින් එක ගල­ව­මින්
සිනිඳු කර­වයි අවට ප්‍රේම­යට දිරි දෙමින්
අව් වැසි ද වළ­ක­මින් නොල­බාම තුති වදන්
ගස සදයි රැක­ව­රණ ප්‍රේම­යට නිහ­ඬ­වම

උය­න්පල්ලා සෙමෙන් ඇවිද එයි ඒ දෙසට
කියයි කිසි­වක් රොසින් පෙම්ව­තුන් හට සැනින
නැගිට යන උන් දිහා ඇසි පියන් නොහෙ­ළාම
දුක් මුසුව ගස සෙමෙන් කියනු ඇත
පව් නේද

තිලක් ඒක­නා­යක
 


ඔබ නිසා

එන්න හිස් අතින්
යන්න හිස් කළ සිතින්
බවුන් වඩනා අස­පුව
අම­තයි මෙලෙ­සින් ම'සිතට

දිවි ඇති තුරා­වට
නොමැ­කෙන ලෙසින් ඔබ රුව
කාවැදී උණූ­සුම්ව ඇති ම'සිතට
සසර තව තවත් දිගු වනු මිස
කුමන නම් සද­හ­ටම වන නිවී­මක්ද

ගංගා වරු­ෂ­වි­තාන


ඇය නැති මඟුල් ගෙදර


ඔබ විත­ර­මයි
අද මෙහි නැත්තේ..
කොහේ කොතැ­නක සිට හෝ
නුඹ බලන් ඉන්න බව දන්නවා..
ඇස් වල කඳුළු පුරෝ­ගෙන
නුඹ බලන් ඉන්න බව දැනෙ­නවා..
අපේ දුව
මගේ අතේ එල්ල­ගෙන
පෝරු­වට නගි­නවා
ඒ ඇස්වල කඳුළු ඉති­රෙ­නවා
ඔබ විත­ර­මයි
අද මෙහි නැත්තේ
කිරි දරුවෝ වගේ අපි අඬ­නවා
පෝරුව ළඟත් කඳුළු...
ඔබ ඈතින් සිට බලන් ඉන්න­වත් ඇති
අපිත් එක්කම අඬ­න­වත් ඇති
දූ ගේ කඳුළු පිසි­න්නට
හිස අත ගා සන­සන්න
නුඹ නැති බව දැනෙන විට
මගෙ හිත මහ සද්දෙන් අඬ­නවා


නිහාල් ගුණ­ව­ර්ධන


ඉසු­ඹුව

පෙර­ඹ­රින් නූපන් ළහිරු
විසුළ අරු­ණලු අහුරු
පිස­ද­මත පිනි කඳුළු
ගෙමි­දු­ලෙහි කොනක සිට
සෙමෙන් මහ මඟ දෙසට
ඇදෙන විට මා දෙපා
බල­න්නෙමි මඟ දෙපස

සුදු කොකුන් පෙළ­හ­රක
සිරි මවන දිරි දරුන්
පෙර මඟෙහි ඇදෙන යුරු
දකින විට මා හදෙහි
පිපෙයි කුසු­මක් සුසුදු

එම සැණින් දෙඇස
තුටු කදුළු පිස­ල­මින්
අඳුරු මත­කයේ පතුල
සුසු­ම­කින් සඟ­ව­මින්
සවිය දෙන සැර­ය­ටිය
බිම­නි­මින් වැර වෙරෙන්
අදෙමි ම පියස දෙසට
බිම නමා ගත් හිසින්


තිඹි­රි­යා­ගම බණ්ඩාර


පුතෙක්

සිය මෑණි­යන්
ජීවත්ව සිටි­යදී
එකම එක චීත්ත­යක්
රැගෙන නොදුන් පුතෙක්
මව මිය­ගිය දා
ඇගෙ සිරුස්
සැර­සූවේ ය
පට සළු පිළී­යෙන්


ජෝජ් රොබ්සන් ද සිල්වා


රේල් පාර අද්දර කෙල්ල

කන් අගුල් වට්ටන
ඈතින් තියන හූව
පුරු­දුයි මට..

ඇස කඳුළු ගල්වන
රොඩු බොඩු උගු­ල්ලන
සුළං වේගය
කැපයි මට..

කවු­ළු­වෙන් ඇස් ගහන මහ­ත්තුරු
දිවත් දික් කරන මහ­ත්තුරු
ඇඳි­ව­තත් උස්සලා පෙන්න මහ­ත්තුරු
හුරු පුරු­දුයි මට..

පීලි උඩ වක්ක­රන
මල මූත්‍ර දුඟ­දට
නහය නොහැ­කි­‍ෙළයි දැන්..

වහලත් හොල්ලන
නුඹේ පැමි­ණීම
බලාපොරො­ත්තු­වක් වුවද
දෙද­ර­වයි මගේ හද­ව­තත්..

නුඹ
කවු­ළු­වෙන් බලා­ගෙන
නිහ­ඬව ම විසි­ක­රන
මන්ද­ස්මිත මල් කිනි­ත්තට
ආද­රෙයි මං...

අනු­සාර මාහිං­ගොඩ


වඩුවාගේ විලා­පය

මිටිය යතු­කැට නියන කියත ද
ජීවිතේ එක් කල්ප කාලෙක
සුමි­තු­රන් ලෙස ගෙවුණු යුග­යකි
කඳුළු කැට වී බිම හැලෙන්නේ...

මිටිය යතු­කැට නියන කියත ද
රුදු රුපුන් වී මා තළ­න්නට
අද දිනේ මා ලුහු­බ­ඳින්නේ
හදට ගිනි­වැද දිවිය පිච්චෙයි...!

රාක්කද පුටු මේස ටීපෝ
මගේ දිවි­මඟ සරු කර­න්නට
මා වටා සිටි මගේ මිතු­රන්
මගේ දෑතින් උපන් දරු­වන්!

රාක්ක ද පුටු මේස ටීපෝ
දැව­මුවා නිපැ­යුම් විලා­සෙන්
වෙ‍ෙළඳ පොළ­වල ඉහළ ඉල්ලුම
මගේ පැල්පත එළිය කෙරුණේ...

රාක්ක ද පුටු මේස ටී‍පෝ
කෘත්‍රිම බඩු ලෙස ඉපිද වත්මන
විරැ­කි­යාවේ රුදු රකුසු ලෙස
මගේ දිවිය ම ගිල දැමූයේ...!


සරත් කුමාර වික්‍ර­මගේ


රහස කිය­න්නම්

සහස පොකුරු තරු වට­කරැ එන සඳ­රැස් උතු­රලා
අහස පොළොව එක් කර­වන සිති­ජය ළඟ අතු­රලා
දහස හැඟුම් හද පුරවා සෙනෙ­හස් දිය පතු­රලා
රහස කිය­න්නම් සව­නට හොර රහසේ මතු­රලා.

හදට දැනෙන්නේ නොසැ­ලෙන නොමි­යන හිත­වත ගතී
සුදට පිපෙන්නේ හද විල පතුලේ පෙම් මල් වෙති
සඳට කියන්නේ මොක­ටද තරු දැන­ග­ත්තම ඇතී
අදට නොවන්නේ හෙටට දමා ඔබගේ සිරී මතී

ඉන්න ටිකක් හිරු එන­තුරු රැස් කඳ වෙරළේ ඔතා
අන්න ඇහෙයි වැහි ළිහි­ණින් තෙප­ලන සුන්දර කතා
ඔන්න බිඟුන් පොර­ක­නවා වැටකේ මල් රොන් පතා
එන්න බලමු පරි­ස­ර­යම සුව­ඳයි සොඳු­රුයි ඉතා

සීත රැයක් එළි­කර ගෙන සම්පත් පුරවා සරූ
ඈත මුහුද පසු­ක­ර­ගෙන වෙර­ළට එනවා ඔරූ
සීත දැනේ ගත රිද­වන-පිය­වෙයි නෙත නිදි වැරූ
දෑත දෙන්න මගෙ දෑතට උණු­සුම දෙන හිරු

උදා තරුව සැඟ වෙන්නේ ළඟ ළඟ හිරු එනු අසා
නිදා ගන්න සැර­සෙන්නේ සඳු මෙහෙ­වර නිම නිසා
මුදා දෑත පට­ලන්නේ ගෙල­වට ඇස් දෙක වසා
සදා කල්ම මා ඉන්නේ ඔබ ළඟ මොක­ටද මුසා


රත්නා ලංකා අබේ­වි­ක්‍රම


අම්මා එන­ තුරු

ගම හැම තැනම බල්ලන්ගේ උඩ බිරුම
ඉන් පසු අපට සිදු­විය ගෙයි නිදි වැරුම
දිය දම එයයි ඒ පිළි­බඳ නැත අරුම
මම කවි ලිය­න්නෙමි අම්මා එන තුරුම

“රැක­ගෙන විලි­සංගෙ හොඳ වැඩ ඉවත නොලා”
කිය­මින් අපේ පැටි හද­වත් අවදි කළා
පසු­තැවි තැවී මම හේලං­ක­ඩට වෙලා
පෙර­ළමි දින දසුන ඔබ එන දිනය බලා

යා යුතු ම‍ෙඟ් අප­හට දිගු නියර තනා
අම්මා සසර සාග­ර­යෙන් එගොඩ වුණා
සිප් සත හැදෑරූ හින්දා උගත මනා
මම කවි ලිය­න්නෙමි මවුගුණ සිසිල වණා

ඈනුම් අරිද්දී අප ගෙයි පිළි­කන්නේ
ඔබ ගිය ගමන බග සඳ පම­ණයි දන්නේ
දුක් වේදනා අපි කොහො­මද ඉව­සන්නේ?
අම්මා ගෙදර කවද ද අම්මේ එන්නේ?

ගල්ලැහැ - තුන්හි­රිය හිනැ­හෙන අයුරු බලා
ගෙන පන්කැත්ත වෙල්යා­යට ගමන් කළා
අම්මා ගෙනෙන­තුරු ගෙද­රට හිසට නෙළා
මම මඟ බලා ඉන්නෙමි ලණු ඇඳට වෙලා

සූරිය මැද­ගෙ­දර


අපි


මලක මම
විඳිමි ඔබ
රේණු සේ
සුග­න්ධයි

විලක මම
හඟිමි ඔබ
තරඟ සේ
විචි­ත්‍රයි

සඳක මම
දකිමි ඔබ
මඬල සේ
රංජි­තයි

ලොවක මම
රකිමි ඔබ
සසර සේ
අචි­න්ත්‍යයි

බන්දුල වර්ණ­කු­ල­සූ­රිය


වේරා වෙත­ටයි

කරු­ණා­කර එන්න, කීවාය ඇය
නව­තින්න, කීවාය ඇය
හිනැ­හෙන්න, කීවාය ඇය
මිය යන්න, කීවාය ඇය
මම ආවෙමි,
මම නැව­තු­නෙමි,
මම හිනැ­හු­නෙමි,
මම මිය ගියෙමි.
නසීම් හික්මත් - තුර්කිය

Nazim Hikmet

තම පෙම්ව­ති­ය­ගෙන් වෙන්ව යාමට සිදු වූ පෙම්ව­තකු විසින් ඇය ගැන කරන ප්‍රකා­ශ­යක් ලෙස මෙය සැල­කිය හැකිය. පළ­මුව ඇය ඔහුට ආරා­ධ­නා­වක් කරයි. ඒ ආරා­ධ­නය පිළි­ගෙන ඔහු ඇය වෙත යයි. ඇය ඔහුව නවතා ගන්නට කැම­තිව නව­තින ලෙස ඔහු­ගෙන් ඉල්ලයි. අන­තු­රුව ප්‍රීති වී සතුටු වී ඇය හා සිනාසී ඉන්නට ඇය ඔහුට කියයි. ඉනුත් පසුව ඇගෙන් වෙන්ව යන ලෙස කියයි.
ප්‍රේම­යෙන් පසු­වන පෙම්ව­ත­කුට නව පෙම්ව­තියගෙන් සද­හට ම වෙන්වීම මාරා­න්තික වූවකි. මිය යන්න යැයි කීවේ ඇගෙන් ඒ වෙන්වීම යි. එය ඔහුගේ මර­ණය වැනි වේදනාකාරී දෙයකි.
තුර්කි ජාතික කවි­යකු වූ නසීම් හික්මන් තමන්ට ම ආවේ­ණි­ක‍ ­ශෛ­ලි­ය­කින් කාව්‍ය­ක­ර­ණයේ යෙදෙන ප්‍රකට කවි­යෙකි. කලාව පිළි­බඳ නිර­වුල් අව­බෝ­ධ­ය­කින් ද නිර්මා­ණ­යෙන් ද අපූර්ව හැකියා පළ කරන කවි­යෙකි.

පරි­ව­ර්ත­නය :-
කරු­ණා­ති­ලක හඳු­න්ප­ති­රණ

 


බීඩි ඔතන කවි

ඉරත් පැන ගිහින් නො කියම පාළු දැනෙන විට
හඳත් සැඟ­විලා ආයෙත් නො එන්න අහ­සට
රෑ අඳු­රට මුවා වෙවී බීඩි ඔතන මට
තරු යායේ හීන් එළිය එයි ගේ ඇතු­ළට

කණා­මැ­දිරි එහා මෙහා ඉගි­‍ෙළන රෑ කල
බකුසු හඬක් තනි රකි­නව ගති­යට මූසල
දුම්කොළ කුඩු සුළඟ සමග සුසු­මට පා කළ
ඉව­ස­න්නට මට පුළු­වනි තනි­කඩ හීතල

තරු යාය ම නිවී යද්දි මහ රෑ මැදි­යම
එක් තරු­වක් ඉතිරි වුණා මට මුළු අහසෙ ම
ඈත ඉඳන් හිනා වෙවී මා දෙස බැලුව ම
හද­වත තුළ අවදි වුණා ආදර උණුසු ම

පුංචි තරුව හිනා වුණත් මට හැම රෑකම
හිත ඇතුළේ පුපුරු ගසයි දුම්කොළ කාය ම
ඇඟිලි තුඩට හීලෑ වී සිති­විලි ‍ සේර ම
බීඩි කොළය රවුම් වෙනව මගෙ හිත වාගෙ ම

නිවී යද්දි කුප්පි ලාම්පුවේ පාන්තිර
බීඩි කාටු­වට ඇස් ගෙඩි රිදෙන පාන්දර
නොගැ­ළ­පු­ණත් ආල වැඩුව හිතට කේන්දර
ඇරෙන්නෙ නෑ දෑස් කඳුළු වැවෙහි වාන්දොර

ශ්‍රියා හිඳු­රං­ගල
  

Comments