නිලධාරීන්ගේ වරදින් බද්ද නවතී | Page 2 | සිළුමිණ

නිලධාරීන්ගේ වරදින් බද්ද නවතී

රජය අයවැයෙන් යෝජනා කළ ආදායම් හා සේවා ගාස්තු බදු සංශෝධන ඊයේ (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීම තාවකාලිකව කල් දැමීමට සිදුවී තිබේ.

නව බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති අණපනත් සකස් කොට, සම්මත කිරීම සඳහා අමතර කාලයක් ගත වීම හේතුවෙන් මේ කල් දැමීම කරන්නට සිදුවන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. රජය මෙවර අයවැයෙන් සිදු කළ බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමට නව දේශීය ආදායම් පනත සම්මත වන තුරු සිටිය යුතු බව ද මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘සිළුමිණ’ට ප්‍රකාශ කළේය.

ආදායම් හා සේවා ගාස්තු නියමිත දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීත්‍යනුකූල පරිසරය, දේශීය ආදායම් පනතට සංශෝධන කිරීම් හරහා සිදු කළ හැකිමුත්, රජය එසේ නොකොට මුළු පනතම අලුතින් හඳුන්වාදී බදු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද එම නිලධාරියා කීය.

නව බදු සංශෝධන නියමිත දින සිට ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් අයවැය මඟින් හඳුන්වා දුන් රජයේ ආදායම් ඉලක්ක ජයගත නොහැකි වනු ඇතැයි බියක් හටගෙන ඇත. නමුත් ඉතා ඉක්මනින් බදු පනත් ක්‍රියාවට නැඟීමෙන් මේ ඉලක්ක සපුර‍ා ගන්නට හැකි වනු ඇතැයි එම නිලධාරියා විශ්වාසය පළ කෙළේය.

බදු පරිපාලනයේ පවතින තාක්ෂණික දෝෂ සහ පරිපාලන ප්‍රතිපාදන ගැටලු නිරාකරණය කිරීම බදු සංශෝධනයේ මූලික අරමුණ වූ බව ද එම නිලධාරියා සඳහන් කෙළේය.

බදු පරිපාලනය යථාවත් කිරීම සඳහා 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, 2009 අංක 09 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත ඇතුළු පනත් ගණනාවකව සංශෝධන රජය යෝජනා කොට තිබේ.

මේ පනත් ඇතුළු තවත් පනත් ගණනාවක සංශෝධන ඉතා ඉක්මනින් සිදු කරන බව ද එම නිලධාරියා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය. 

Comments