
හුඟක් මහන්සිවෙලා පුහුණුවීම් කළා. දිනනවා කියලා හිතාගෙන තමයි ආවේ. ප්‍රථම සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි ශ්‍රේණියේ බාලක ශූරතාව දිනූ මාතර රාහුල විද්‍යාලයේ කණ්ඩායම් නායක රිවීන් ගීනුර එහෙම කියන කොට,
අපිත් හුඟක් මහන්සි වුණා. ඉස්කෝලේ විදුහල්පතිතුමා - ගුරුවරු - අම්මලා - තාත්තලා හුඟක් උදව් කළා. බාලිකා ශූරතාව දිනූ අඹගමුව ආදර්ශ විද්‍යාලයේ කණ්ඩායමේ නායිකා දිනුදි ඉසුරිකාගේ හඬයි ඒ.
කිසියම් ජීවයක් නිසිලෙස සංවර්ධනය වෙමින් වැඩීමට නම් නිරන්තර චලන ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව, දරුවන්ගේ එදිනෙදා ජීවිතයේ ඇවිදීම, දිවීම, කරකැවීම, විසි කිරීම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් විද්‍යානුකූල පසුබිමක් යටතේ විනෝදය ලබා ගතහැකි වන ආකාරයට පෙළගස්වා ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය ශාරීරික ව්‍යායාම් නිසි පරිදි ලබා ගත හැකිය.
ඒ අනුව, සිසුන් අතර එකමුතුකම, කණ්ඩායම් හැඟීම සුහදශීලි බව වැනි යහපත් ගුණාංග සංවර්ධනයටද මාර්ගය සලසා දෙමින්, ප්‍රාථමික අධ්‍යාපන අංශයට ආවේණික ළමා මලල ක්‍රීඩා කණ්ඩායම් තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2015 වසරේදී පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලැබිණි. එය 3, 4, 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා කණ්ඩායම් තරග ලෙස පවත්වනු ලබයි.
2016 වසරේදී පාසල් තරගවලින් අනතුරුව කොට්ඨාශ මට්ටමින් තරග 222 ක්ද, කලාප මට්ටමින් තරග 74 ක්ද, පළාත් මට්ටමින් තරග 6 ක්ද පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගි වූ සිසුන් සංඛ්‍යාව 175,000 කි.
සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ බාලක සමස්ත ශූරතාව ලකුණු 355 ක් ලබා ගනිමින් මාතර රාහුල විද්‍යාලය හිමිකර ගනිද්දී, අනුශූරතාව ලකුණු 343 ක් ලබා ගත් ගම්පහ රන්පොකුණුගම මහ විද්‍යාලයට හිමිවිය. තෙවැනි ස්ථානය ලකුණු 342 ක් ලබාගත් ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයට හිමිවිය.
මධ්‍යම පළාත
බාලිකා තරගාවලියේ ශූරතාව, අනුශූරතාව සහ තෙවැනි ස්ථානය මධ්‍යම පළාත විසින් දිනා ගැනීම විශේෂ සිද්ධියක් විය.
මේ අනුව බාලිකා ශූරතාව ලකුණු 261 ක් හිමිකර ගත් හැටන් අඹගමුව ආදර්ශ විද්‍යාලයට හිමිවූ අතර, අනුශූරතාව ලකුණු 252 ක් ලබාගත් කොත්මලේ අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයට සහ තෙවැනි ස්ථානය තෙල්දෙනිය ගාමිණි දිසානායක ආදර්ශ විද්‍යාලයට හිමිවිය.
මේ අතර බාලක තරගාවලියේ හය වැනි ස්ථානය (ලකුණු 330) අඹගමුව ආදර්ශ විද්‍යාලය හිමිකර ගැනීමද විශේෂත්වයකි.
ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටි මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 333 ක් හා කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 336 ක් රැස් කරගෙන තිබුණි.
තෙවැනි ශ්‍රේණියේ බාලක තරග සඳහා පාසල් 76 ක සහ බාලිකා තරග සඳහා පාසල් 54 ක ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ මේ තරගාවලියට එක්වූහ. තෙවැනි ශ්‍රේණියේ තරග මීගමුව මාරිස්ස්ටෙල්ලා විදුහල් පිටියේ පැවැති අතර, සිවුවැනි ශ්‍රේණියේ තරග රත්නපුර මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබුණි. මෙය වෙහෙසකර නමුත් විශිෂ්ට තරගාවලියකට මුල පිරීමක් බව පැවැසිය යුතුය.