
“මෙයාව මනා ලෙස කළමනාකරණය කරගෙන පරිස්සමින් බලාගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වල අනාගත වේග පන්දුවට ලොකු ආයෝජනයක්. මොකද රංසිකගේ පන්දු යැවීම වේගවත්. ඒ වගේම දෙපැත්තටම දෝලනය කිරීමේ හැකියාව සහ නිවැරැදි එල්ලයේ පන්දුව පතිත කිරීමේ මනා හැකියාවත් රන්සික සතුයි. පන්දු යැවීමේදී ස්ථාවර ඉරියව්වකුත් ඔහුට තිබෙනවා.
රන්සිකගේ වයසත් එක්ක ඔහුගේ දක්ෂතා ඉතාම ඉහළයි. මම නැවතත් කියන්නෙ ඔහුව පරිස්සම් කරගත යුතුයි”
එසේ නිපුන් රන්සික නමැති ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලේ නවතම වේගපන්දු යවන්නා ගැන පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ, ඉතාම අඩුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන ශ්‍රී ලංකාව බිහිකළ ලෝක පූජිත වමත් වේග පන්දු යවන්නා වන චමින්ද වාස්ය.
දකුණු අප්‍රිකාවේ පැවැති ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ සහභාගි වූ අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශූරතාව දිනාගැනීම වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වූ නිපුන් රන්සික අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ද විය. එහිදී දකුණු අප්‍රිකාව සමඟ පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 19කට කඩුලු 5ක් බිඳ හෙළමින් අප්‍රිකානු පිතිකරු බළඇණිය වනසා දැමූවේ අප්‍රිකානු ප්‍රේකෂකයන් තුෂ්ණිම්භූත කරමිනි.
තවමත් 17 වැනි වියේ පසුවන දකුණතින් වේග පන්දු යවන නිපුන් කෙටි කාලයක් තුළ පෙන්වූ දක්ෂතාවන් නිසාවෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් පිටියේද කතාබහට ලක්විණි.
එහෙත් එවන් දක්ෂතා පෙන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතය බාර ගැනීමට සිටින නිපුන් රන්සිකගේ ඇතුළත කතාවනම් ඉතාම දුක්ඛිත සහ අභාග්‍යසම්පන්නය.
“ඇත්තෙන්ම මේ මොහොතේ මා පෙන්වන දක්ෂතා ගැන මට හරි සතුටුයි. ඒත් මගේ අවසාන ඉලක්කය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම. ඒක මගේ හීනයක්. ඒ වගේම චමින්ද වාස් සර් මා ගැන කළ ප්‍රකාශය ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්. මොකද ඒ වගේ ලෝක පූජිත පන්දු යවන්නකුගෙන් එවැනි ඇගැයීමක් ලැබෙනවා කියන්නෙ මගේ ආත්ම විශ්වාසයට එය ලොකු ශක්තියක්. වාස් සර් අපේ දක්ෂතාවන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා.”
එසේ පවසන මේ ළාබාල තරුණ වේග පන්දු යවන්නාගේ ක්‍රිකට් ආරම්භය සනිටුහන් වන්නේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලෙනි. අවුරුදු 10දී ක්‍රිකට් ක්‍රීඩාවට මූලික අත්පොත් තැබූ නිපුන්ගේ පාසල ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වනුයේ නිසියාකාර ක්‍රීඩා පිටියක්වත් නොමැතිව බව අපට වාර්තා වේ. එහෙත් මේ සහජ දක්ෂතාවෙන් හෙබි නිපුන් රන්සිකගේ ගමන අඩාළ නොවී ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් එහි විදුහල්පති ජගත් සේනාරත්න මහතා සහ නිපුන්ගේ පාසල් පුහුණුකරු ජයන්ත ජයවීර මහතා අපමණ කැපකිරීමක් කළ බව නිපුන් පවසයි.
“මේ ගමන එද්දී පුහුණුකරු ජයන්ත ජයවීර සර් සහ විදුහල්පති ජගත් සේනාරත්න සර්ලා ලොකු සහායක් මට ලබා දුන්නා. ඔවුන් තමයි මගේ ගමනට මූලික අඩිතාලම දැම්මේ. ඒ ගැන මං ඔවුන්ට ණයගැතියි.”
පාසලේ දුප්පත් බවට නොදෙවැනි ජීවන බරකින් නිපුන් රන්සිකගේ පවුල් පසුබිමද සැදී පැහැදි තිබේ. මාපිය දෙපළ රට රස්සාවලට ගොස් සිටින නිපුන්ගේ එකම සොහොයුරිය වන පෙර පාසල් ගුරුවරියක ලෙස සේවය කරන අංශිකා රංසිනිගේත් බාරකාරිය වනුයේ නැන්දණිය වන 54 හැවිරිදි ඩබ්ලිව්. ඒ. ප්‍රේමවතී මහත්මියයි.
ශ්‍රී ලංකා අනාගත වේග පන්දුව බාරගැනීමට සිටින නිපුන් මේ දිනවල වයස 19න් පහළ කණ්ඩායම සමඟ පුහුණු සැසියකට සහභාගි වී සිටී. “මගේ දක්ෂතා අගයලා සුබ පැතුම් එක්කළ, උත්සව සංවිධාන කළ සහ මං ගැන කතා කළ සියලු මාධ්‍යයන්ටත් බොහෝම ස්තූතියි.” යැයි පවසන අතරේ තමාගේ අවසාන ඉලක්කය වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සිහිනය කරා යෑම වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් පුහුණු වන බව පැවැසීය.
චමින්ද වාස්ගේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් සියලු බලධාරීන්, නිලධාරීන් වග බලා ගත යුතු වනවා සේම නිපුන්ද ඔහුගේ දක්ෂතා ඔප්නංවා ගනිමින් ලැබෙන ජනප්‍රියත්වයෙන් උදම් නොවී, දැඩි කැපවීමෙන් සාර්ථක ගමනක් යෑමට අදිටන් කරගත යුතු බව අප ද පවසන්නෙමු.










