
බෙංගාලි කොටියෝ සිංහ ගුහාවටම රිංගලා, සිංහයන්ට අමතක නොවන පාඩමක් කියලා දුන්නා. මේ ගැන වගේම ඒ හා බැඳිච්ච කතා ගොඩයි. හැම තැනම කතා වෙන්නේ ඔය ටික කරගන්නකම් තමයි කවුරු කවුරුත් දැඟළුවේ. දැන් කාට කාටත් සනීපයට නින්ද යනවා ඇති නේද කියලයි.
මේ ගැන වගේම තවත් කතා ගැන කතා කරන්න මාධ්‍ය සාකච්ඡාවක් ගඟ අද්දර, පස් කණ්ඩිය උඩ අඹ ගහ යට තියෙනවා කියලා ටොමයි - ජෙරියයි යන්න ලෑස්ති වෙනවා.
මේ ඔයාටත් වැඩක් නැත්නම් යං.
ඩබල යන්න මම එන්නම්.
මම යනකොට වැඩේ පටන් අරගෙන. හේරා මුහුණ පුළුටු කරගෙන කතා කරනවා.
ක්‍රීඩාවේ වැටීම් වගේම නැඟිටීම් තියෙනවා. මමත් ලෝක කුසලාන දෙකක අවසන් මහා තරග පැරදුණු ටීම් එකක සාමාජිකයෙක්. ක්‍රීඩාවේ හැටි ඔහොම තමයි.
අනේ පවු. හේරාට නෙවෙයි හෙඩ් ටේබල් එකේ ඉන්න ටයි මහත්වරුන්ට සොටු - කඳුළු පෙරෙනවා. නෑ බේරෙනවා. කැත විතරක් මුහුණුවල. මම අහක බලාගත්තා.
මගේ අන්තර් සමාජ ක්‍රීඩා පිටියේදීම (ටැමිල් යූනියන්) මේ ජයග්‍රහණය සමරන්න ලැබීම ගැන සතුටු වෙනවා. හතුරා කතාව පටන් ගත්තා.
ගාලු තරගය පරාජය වුණාම අපි හුඟක් කතාබහ කළා. අපි පී. සරා යන්න වෙනම ම ප්ලෑනක් ගැහුව්වා. ගාලු තරගයේ දී බලාපොරොත්තු බිඳ වැටුණට අපි වැටුණේ නෑ. අපිට ඕනෑ වුණේ ධනාත්මක විදියට මේ තරගයට එන්න.
කවුද ජයග්‍රහණයට ඉන්ජෙක්සන් එක විද්දේ?
ජෙරියා හතුරට බවුන්සරයක් දැම්මා.
එංගලන්තය. අපි ඔවුන්ව පරාජය කළාම තමයි විශ්වාසයේ ඉන්ජෙක්සන් එක අපට වැදුණේ.
හතුරා බවුන්සරයෙන් ඔලුව පැත්තකට ගන්න ගමන් කිව්වා.
අනවශ්‍ය වියදම් කපා හැරපු නිසා මිලියන 200 ක ලාභයක් ලැබුවා කියන ආයතනය කළමනාකරුවන් දෙන්නෙක් ඉන්න තැනකට තවත් කෙනෙක් ගෙනාවේ නාස්තිය අවම කරන්නද?
ටොමා හෙඩ් ටේබල් එකට තවත් බවුන්සරයක් දැම්මා.
එතකොට කලින් හිටපු දෙන්නා වැඩබැරි අයද? දෙන්නෙක් ඉඳලත් බෙංගාලි කොටින් ගෙන් බේරෙන්න බැරි බව දැන ගෙනද තුන් දෙනෙක් ගෙනාවේ?
ජෙරියා නවත්තනකොට ටොමා, ටොමා නවත්තනකොට ජෙරියා බවුන්සර් - යෝකර් - ගුග්ලි – දුෂ්රා එකී මෙකී නොකී හැම පන්දුවකින්ම හෙඩ් ඩේබල් එක පිරිලා. ඔය අතර ප්‍රභූ වාහනයකුත් අඹගහ යට නතර කළා.
අවුරුදු විස්සක් රටේවත් හිටපු නැති මහත්තයෙක් මට කියනවා පරිපාලනයට එන්නලු. මම හිතන්නේ එයාට මේ ගැන අවබෝධයක් නැති නිසා මේ වගේ කතාවක් කියන්න ඇති කියලා. මගේ.... මේ පරිපාලනයට එනවා තියා හිතන්නෙවත් නෑ.
අලුත් කළමනාකරු පට්ට වැඩකාරයෙක් විදියට තමයි එයාව හඳුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කට්ටිය කිව්වේ.
ටොමා අලුත් කතාවක් පටන් ගත්තා,
විශේෂයෙන් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩ ගන්න පුළුවන් කෙනෙක් විදියටයි කිව්වේ. අපි අහනවා අවුරුදු 20 ක් රටේවත් හිටපු නැති කෙනෙක් කොහොමද ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩගන්න සුදුසුවෙන්නේ කියලා?
හෙඩ්ටේබල් එකම එහාට මෙහාට ඇඹරෙනවා.
මේකට හොඳම දේ එකම පහර හැමදාම එකම විදියට ගහලා, ඔලුව වන වන යන එකට, දේශීය හරි විදේශීය හරි හොඳ මානසික වෛද්‍යවරයකුට මේ ක්‍රීඩකයන්ව පෙන්වන එක නේද? කියලා ජෙරියා අහනකොටම..
ට්‍රීං... ට්‍රීං... ට්‍රීං....
ගාලා කන් අඩි පැලෙන්න ඇහුණු එලාම් එකේ සද්දයටයි ඇහැරුණේ.










