බ්‍රසීල ජයග්‍රහණයත් සමඟ නිලූක ඉදිරියට | සිළුමිණ

බ්‍රසීල ජයග්‍රහණයත් සමඟ නිලූක ඉදිරියට

ප්‍රශාන්ත ඇල්පිටිය

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ නිලුක කරුණාරත්නට අංක 64 හිමි වී තිබේ. ඒ ලොව හොඳම ක්‍රීඩකයන් සිය දෙනා අතරිනි.

ශ්‍රී ලංකාවේ සුපිරිතම බැඩ්මින්ටන් ශූරයා ද වන නිලූකට මීට පෙර ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව හිමි වී තිබුණේ අංක 71 ස්ථානයයි. ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීමේදී නිලූක ස්ථාන හතක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටියි.

32 හැවිරිදි නිලූක මෙසේ ඉදිරියට පැමිණියේ සිය වර්ණවත් ක්‍රීඩා දිවියට තවත් අගනා ජයග්‍රහණයක් එක් කර ගැනීමත් සමඟිනි. ඒ බ්‍රසීල ජාත්‍යන්තර තරගාවලිය ජය ගැනීමට සමත් වීමෙනි.

එම තරගාවලියේ දී ශ්‍රේණිගත ක්‍රීඩකයන් තිදෙනකු වූ බ්‍රසීලයේ ඉගෝර් කොයෙල්හෝ, ඔස්ට්‍රියාවේ ලුකා ව්රැබර් සහ බෙල්ජියමේ මැක්සිම් මොරීල්ස් පරාජය කිරීමටත් නිලූක සමත් විය. මේ අතරින් අවසන් තරගයේ දී ඉගෝර් හමුවේ ලැබූ ජය වඩා වැදගත් වේ.

ඒ නවතම ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව ඉගෝර් කොයෙල්හෝට අංක 62 හිමි වී තිබීම නිසාය. බ්‍රසීල ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මෙවර පැවැත්වූයේ 33 වැනි වතාවටයි. 1984 වසරේ සිට පැවැත්වෙන මෙම තරගාවලිය සව් පාලෝ ජාත්‍යන්තර තරගාවලිය ලෙසටත් හැඳින්වෙයි.

මෙවර මෙහි පිරිමි කේවල (තනි) ශූරතාව නිලූක ජය ගැනීම ශ්‍රී ලංකාවටත් ඉතා වැදගත්ය. ඒ මෙම ශූරතාව හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා නිලූක වන බැවිනි.

මෙය බ්‍රසීලයේ පැවැත්වෙන වැදගත්ම විවෘත බැඩ්මින්ටන් තරගාවලිය ලෙසටත් සළකනු ලබයි. එය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ වාර්ෂික තරගාවලියන්ටත් අයත් වේ.

මෙවර තරගාවලියේ දී නිලූක කේවල (තනි) ශූරතාව හිමිකර ගත්තේ මේ ආකාරයටයි.

බ්‍රසීලයේ ඉගෝර් ඊබ්‍රාහිම් හමුවේ නිලූකට තරග වට 2 - 0 ක ජයකි. ඒ ලකුණු 21 - 13, 21 - 11 ක් වශයෙනි. ඊබ්‍රාහිම් 21 හැවිරිදි ක්‍රීඩකයෙකි.

ඊළඟ වටයේදී නිලූක තරග වට 2 - 0 කින් චෙක් ජනරජයේ ඇඩම් මෙන්ඩ්‍රෙක්ව පරාජය කළේය. ඒ ලකුණු 21 - 10, 21 - 10 කිනි. 21 හැවිරිදි ඇඩම් මීට පෙර 2015 ලිතුවේනියානු ජගත් ශූරතාව සහ 2016 ඊජිප්තු ජගත් අනුශූරතාව දිනා ගෙන තිබේ.

නිලූක ඊළඟ වටයේදී බෙල්ජියමේ මැක්සිම් මොරීල්ස්ව පරාජය කිරීමට සමත් වූයේය. ඒ තරග වට 2 - 0 කිනි. ලකුණු 21 - 12, 21 - 19 කි. 25 හැවිරිදි මැක්සිම් 2016 දී සැම්බියානු ජගත් ශූරයාය. ඒ වගේම එම වසරේම සුරිනාම් අනුශූරයාය.

ඉහත ජයග්‍රහණයට අමතරව නිලූක ඔස්ට්‍රියාවේ ලුකා ව්රැබර්වත් පරාජය කළේය. ඒ තරග වට 2 - 0 කිනි. ලකුණු 21 - 18, 21 - 10 කිනි.

26 හැවිරිදි ලුකා ජාත්‍යන්තර තරගාවලි රැසක ශූරතා සහ අනුශූරතා හිමිකර ගෙන තිබේ. ඒ අතරට (ශූරතා) බොට්ස්වානා, දකුණු අප්‍රිකානු සහ මුරුසි ජගත් ශූරතා අයත්ය. ඔහු හිමිකර ගත් අනුශූරතා අතරට නයිජීරියානු, ඉතියෝපියානු, මුරුසි සහ කෙන්යානු ජගත් තරගාවලියන් අයත්ය.

මෙවර බ්‍රසීල ජාත්‍යන්තර තරගාවලියේ දී නිලුකට ප්‍රබලතම අභියෝගයකට මුහුණ දීමට සිදු වූයේ අවසන් මහා තරගයේදීය. එහිදී නිලූක තරග වට 2 - 1 ක ජයක් ලැබුවේ බ්‍රසීලයේ ඉගෝර් කොයෙල්හෝ හමුවේය. ඒ තරග වට 2 - 1 කිනි. ලකුණු 09 - 21, 21 – 14, 21 - 18 කි.

20 හැවිරිදි ඉගෝර් 2015 වසරේ පීරු, බ්‍රසීල සහ පුවර්ටො රිකෝ ශූරයාය. නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහුට අංක 62 හිමි වේ. ඊට පෙර ඔහුට හිමි වී තිබුණේ අංක 78 ස්ථානයයි.

බ්‍රසීල ජාත්‍යන්තර ශූරතාව හිමිකර ගැනීමෙන් අනතුරුව නිලූක ස්විස්ටර්ලන්තයේ පැවැති ස්විස් විවෘත තරගාවලියටත් සහභාගි විය. එහෙත් එහිදී ඔහුට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.

කෙසේ වෙතත් 2017 වසරේ පැවැති ජාත්‍යන්තර තරගවලදී නිලූක සාර්ථක වී තිබේ. ඒ තරග 11 කදී ජයග්‍රහණ හතක් සහ පරාජයන් සතරක් වශයෙනි. දැන් මෙම සාර්ථකත්වයන් මත ඔහුට තව තවත් ඉදිරියටම යාමට හැකිවුවහොත් 2012 සහ 2013 වසරවලදී මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ඉදිරියට යාමට හැකි වනු ඇත. 2012 වසරේදී ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව අංක 48 වැනියා වූයේය. 2013 දී එය 34 දක්වා ඉහළට ගියේය.

නිලූක බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වූයේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ද වූ සිය පියා වන ලුවී කරුණාරත්න මහතාගේ ආභාෂය යටතේය. නිලූක අම්බලන්ගොඩ ධර්මාශෝක සහ කොළඹ රාජකීය විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරුවේය.

මේ වන විට ජාතික ශූරතා රැසක ඔහු හිමිකරුවෙකි. ඒ වගේම ජාත්‍යන්තර තරග රැසකටත් සහභාගි වී තිබේ. ඒ අතරින් 2012 ලන්ඩන් සහ 2016 රියෝ ඔලිම්පික් උළෙලවලට සහභාගි වීම විශේෂිතය. එහිදී 2012 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ධජය රැගෙන ගියේද නිලූකය.

කරුණාරත්නලා බැඩ්මින්ටන් ක්‍රීඩා පවුලක අපූරු සාමාජිකයෝය. නිලූකගේ බාල සොහොයුරන් වන ඩිලුක, දිනුක සහ චමික ද මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රබලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ බවට පත් වී සිටිති.

Comments