අකිල සහ දයාසිරි ඉක්මනින් හමුවන්න... | Page 2 | සිළුමිණ

අකිල සහ දයාසිරි ඉක්මනින් හමුවන්න...

ලාංකේය ක්‍රීඩාව නඟා සිටුවීමට නම් මුලින් ම කළ යුතු වන්නේ ක්‍රීඩාවේ තිඹිරිගෙය වන පාසල සම්බන්ධ කරගෙන ඉදිරියට යාම බව පළමු සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේදීම ඔප්පු විය.

ළමුන්ගේ දෛනික දිවියේ ඇවිදීම, දිවීම, විසි කිරීම, පැනීම් වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් විනෝදාස්වාදය ලබා ගත හැකි ආකාරයෙන් විද්‍යානුකුල පසුබිමක් යටතේ පෙළ ගැස්ම මෙම ක්‍රීඩා තරගාවලියේ මූලික පරමාර්ථය විය. මේවායේ ප්‍රතිඵල දිනකින්, සතියකින්, මාසයකින් නොලැබී යා හැකි නමුත් වැදගත් වන්නේ මේවා තුළ දිගින් දිගටම අත්වැල් බැඳගෙන කටයුතු කිරීමය.

කුඩා වියේදීම ක්‍රීඩා පිටියට පිවිසීම හරහා අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරගත හැකිය.

මෙවැනි තරගාවලියක් සඳහා උපදෙස් දුන් නිලධාරීන් සහ මීට වසර හතරකට පමණ පෙර වයස අවුරුදු 13 න් පහළ තරගකාරි ක්‍රීඩා නැවැත්වීමට උපදෙස් ලබා දුන් නිලධාරින් අද අනුභව කරන්නේ මොනවාදැයි මඳක් සොයා බැලිය යුතුව තිබේ. හිටපු ක්‍රීඩා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් කැබිනට් සංදේශයක් මගින් වයස අවුරුදු 13 න් පහළ ක්‍රීඩා තරග තහනම් කරන ලදී. එහිදී එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පුහුණුවක් නැති පිරිස් පුහුණුකරුවන් යැයි කියා ගනිමින් දරුවන්ගේ සාරය උරා බොන බවය.

එසේ නම් මේ ලේ උරාබොන පුහුණුකරුවන් ඩ්‍රැකියුලා වර්ගයේ පුහුණුකරුවන් විය යුතුය. අමාත්‍යවරයාට අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ ඩ්‍රැකියුලා වර්ගයේ පුහුණුකරුවන් ගෙන් දරුවන් බේරා ගැනීමට නම්, එකී පුහුණුකරුවන් ඉවත් කිරීම මිස දරුවන්ට ක්‍රීඩා තරග තහනම් කිරීම නොවේ.

විද්‍යාත්මක හැදෑරීමකින් තොරව මහදැනමුත්තා එළුවාගේ බෙල්ල වෙන්කර මුට්ටිය ගැනීමට උපදෙස් දුන්නා සේ විශේෂයෙන් මෙරට අධ්‍යාපන සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරින්, බලධාරීන්ට දිරච්ච ලණු දීමට ගජ හපන්නුය. ඒවා අනුව ක්‍රියා කරන බලධාරින්ද අවසානයේ වැටෙන්නේ කුණු ගොඩවල්වලටය.

අධ්‍යාපන අමාත්‍යංශයට හෝ ක්‍රීඩා අමාත්‍යංශයට ලාංකේය ක්‍රීඩාව ගොඩ ගැනීමට වෙන වෙනම සැලසුම් සකස් කිරීමෙන් පලක්වේද යන්න බලධාරින් දැන්වත් කල්පනා කළයුතුය.

 කඹ ඇදිලි, බෝල පාස්කරගැනීම් පැත්තකින් තබා අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යවරුන් මුලින්ම එකට සිටගෙන පෙරට යාමට ඉටාගත යුතුය. ලාංකේය ක්‍රීඩාවේ තිඹිරිගෙය පාසලය. එය අමතක කර වැඩ කිරීමෙන් පලක් නැත. මුල් පදනම දමා ගත යුත්තේ පාසල සමඟය. ඒ නිසා අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යවරුන් එකට හමුවී ඒ සඳහා විද්‍යානුකුල සැලසුමක් සකසා ගතයුතුය. බිඳී නොයන පදනමක් දමාගත යුතුය.

Comments