
නාකි උදවිය මැරී කොල්ලන්ගේ රැවුල එන්නට පටන් ගනී. ඒත් රදාවානේ හංදිය වෙනස් නොවේ. ඒක එතන ම එහෙම ම තිබේ...”
මේ තුංමංහදිය නවකතාවේ පේළි කිහිපයකි. යුගයක් අවසන තවත් යුගයක ඇරඹුම මහගම සේකරයන් වචනවලට නැගුවේ එලෙසිනි. තුංමංහන්දිය යනු තමාගේ ම නවකතාවක් තමා අතින් ම සිනමාවට නැඟීමකි. එය අපට සැලැකිය හැක්කේ සිය නිසර්ග කවීත්වය ආරක්ෂා කරගත් සිනමාපටයක් ලෙසිනි.
මහගම සේකර යනු සිය නිර්මාණවලට අතිශය අවංක මිනිසකු බව ඔහුගේ කවිය, ගීතය, චිත්‍ර කර්ම, විචාර මෙන් ම සිනමාවද පිරික්සන විට පෙනී යන ප්‍රධාන කාරණයයි. ඒ අවංක බව ඔහුගේ නිර්මාණ ඔස්සේ අපට හමුවන‍්නේ අව්‍යාජත්වය ලෙසිනි. නිර්මාණයකදී නිර්මාණකරුවෙකුට ආරක්ෂා කරගන්නට අපහසු ම දේ වන්නේ මෙ කියන අව්‍යාජත්වයයි. සේකරයන් ජය ගන්නේ එකී අසීරු කඩඉමයි. හේ දිවිගෙවූ අවට පරිසරය ප්‍රතිනිර්මාණය කළ සිද්ධාන්තයෙකි. ඔහු පරිසරය දෙස බලා නිකම් ම සිටියේ නැත. එයට මනුෂ්‍යත්වය නැමති සදාතනික විශ්වීය ධර්මතාව එක්කාසු කොට ගනිමින් අපූරු දහමක් නිර්මාණය කළේය.
සිංහල සාහිත්‍ය කලාවන්හි ආරම්භයේ සිට ක්‍රි: ව: 1994 දක්වා වූ මූලික තොරතුරු සංගෘහීතව රචනා වුණු ‘සිංහල සාහිත්‍ය වංශය’ කෘතියේදී ආචර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහගම සේකරයන් පිළිබඳ සටහන් කරන තැන මෙසේ සඳහන් කරයි.
‘චිත්‍ර, නාට්‍ය, ගීත, නවකතා, චිත්‍රපට යන ක්ෂේත්‍රයන්හි නිරතව සිටි වියතෙකි. නලදමයන්ති මුද්‍රා නාට්‍යය, පුංචි අයට කයි කතන්දර, හෙට ඉරක් පායයි, මනෝ මන්දිර, නොමියෙමි, ප්‍රබුද්ධ, මක්නිසාද යත්, ධවල සේනාංකය, සක්වාලිිණි යන කෘති ඔහුගේ ය. ඔහුගේ තුංමංහන්දිය නැමති නවකතාවත් බෝඩිම නැමති කාව්‍යත් යුගයේ වැදගත් කෘති හැටියට සම්මතය ලබා ඇත.’
(සිංහල සාහිත්‍ය වංශය. 864 පිට)
සේකර කියූ රදාවාන හංදිය දැන් බොහෝ සේ වෙනස් වී තිබේ. ඔහුගේ පිළිරුව වැසීයන පරිදි සැකසූ වොලිබෝල් පිටියකි. එතැන තිබුණු අම්බලම දැන් නැත. ඉඳහිට කොළඹ දෙසටත්, ගම්පහ දෙසටත් ගමන් කළ පැරණි බසය වෙනුවට දැන් හෝරාවකට බස් කිහිපයක්වත් ගමන් කරනු දක්නට ලැබේ. එකළ දැළිරැවුල් වැවූ කොල්ලෝ අද වියපත් උදවිය වී හමාරය. ඒ වෙනුවට ජංගම දුරකථන අතින් ගත් දැළිරැවුල්වත් නොවැඩුණු කොල්ලෝ තුංමංහන්දියේ එහා මෙහා යති. මහගමසේකරයන් පැතූ ජන සමාජය අද දක්නට තිබේ ද? ඒ කෙසේ වුවද සේකර අගය කරන්නාවූ, සේකර කියවන්නාවූ නූතන පරපුරක් අපට හිඳී. මහගමසේකරයන් සිය නිර්මාණ ඔස්සේ චිත්‍රණය කළ අව්‍යාජත්වය, මානවවාදය නිරායාස ගුණයක් ව නූතන නිර්මාණ අතර සැරිසරනු පෙනෙන්නට තිබේ.
උසස්යැයි සම්මත සම්භාව්‍ය සමාජය විසින් එදා කොන් කළ, විසිළුවට ලක් කළ කාරණා, එසේත් නැත්නම් සමාජ චරිතවල ඉරණම උපන් කරුමය නිසා නොව යම් සමාජ සංසිද්ධියක බලපෑමක් නිසා සිදු වන්නක් බවත්, ඒ තුළ පවා අතිශය මානුෂික පැතිකඩක් ඇති බවත් සේකර පෙන්වා දුනි. විශේෂයෙන් ම කාන්තාව විෂයයෙහි ඔහු ආලේප කළ මිනිස් සුවඳ අතිශය සමාජශීලී ස්වරූපයන් ගෙන දුනි. සම්භාව්‍ය සාහිත්‍යයේ මුණගැසෙන මහා කාව්‍ය ලක්ෂණයන්ගෙන් හෙබි කාව්‍යවල පවා එකළ පෙර කී ලක්ෂණය මනාව පිළිබිඹු වුණි. සත්තුභද්ද ජාතකය මුල්කොටගෙන රචිත කාව්‍යශේඛර මහා කාව්‍යයේ මෙසේ වේ.
අබිසරු ලිය චප ල
සෙර වෙසි දැසි නළඹ
මල් කරු, රදී කුල
සබඳ නොකරව සිතැති තොප කුල
කාව්‍යශේඛර මහාකාව්‍යයේ දසවන ඝර්භයේ 22 වන කවිය ලෙස හමුවන මෙකව ඔස්සේ කියන්නේ කුමක් ද? චපල වූ අභිසාරිකා ස්ත්‍රිය, සෙර, වෛශ්‍ය ස්ත්‍රිය, දාසිය, නාටකකාරිය, මල්ලියකමෙහි යෙදෙන්නිය මෙන් ම රජක කුල ස්ත්‍රිය ද තොපගේ උසස් වූ කුලයට සිතත්, හිතවත්කමක් දක්වන්නේ නම් ඊට පෙරළා මිතුරු කමක් නොපවත්නා ලෙසිනි. මෙහි ඇත්තේ පැරණි වැඩවසම් සමාජීය ලක්ෂණ වුවද මෙය අද සමාජයට පවා වලංගු නොවන්නේ නො වේ. එහි ම තවත් තැනක මෙසේ වෙයි.
රති කෙළි යෙදීමෙ න්
අබරණ ලා සැදීමෙ න්
දරුවන් වැදීමෙ න්
වෙසෙති අඟෙනා් නොතිත් වීමෙන්
නිබඳ රතිකෙළියෙහි යෙදීමෙන් ද අබරණ පැළැඳ ගැනීමෙන් ද දරුවන් වැදීමෙන් ද සැහීමකට පත් නොවී ගැහැනුන් සිටින බව ය.
නමුත් ලංකාව වැනි රටක බහුතරය කාන්තාවන්ට ඒ සියල්ලට ම වඩා ඇත්තේ ජීවිත් වීමේ කාරියට වඩා අනෙකා ජීවත් කරවීමේ කාරියට මුහුණදීම නොවේද? සම්භාව්‍ය සාහිත්‍ය තුළ පවා සිල්ලර වී ගිය, අතිශය ඕලාරික වර්ණනාවන්ට ලක් වූ ඒ කාන්තාවට සේකරයන් ලබා දෙන මානුෂික ගඳ - සුවඳ කෙතරම් අව්‍යාජද? වෙසඟනක් යනු මවක් බවත්, මනුස්ස දුවනියක් බවත් අපට කියාදෙයි.
වීදි කොනේ මඟ රැකලා
පහන් කණුව යට ඉඳලා
ඇස් ඉස් මස් දන් දීලා
කිරි අරගෙන එයි අම්මා
ස්ත්‍රීත්වය වර්ණනා කිරීමකදී පවා ඔහු අතින් බොහෝ විට සිදුවූයේ බාහිර වර්ණනාවකට වඩා ඇය කෙතේ, කමතේ, හේනේ, වැඩපළේ කටයුතු කරන අතර තුර ඇයගෙන් දිස්වන විඩාව මුල් කොටගත් මානුෂික බවින් යුක්ත වූ ස්වභාවික වර්ණනාවකි. ඔහුට සිහිවූයේ මල් පෙති වන් සියුම් නිකම් ම නිකන් දෑඟිලි නොවේ. රටා වියපු අත් දෙකය. සමහරවිට ඇය රෑ එළිවෙන තුරා නිඳි වරාගෙන පැදුරු වියන්නට ඇතුවාට සැක නැත.
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත්දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා
(සක්වාලිහිණි 1964)
සේකරයන්ගේ මෙම හෘදයග්‍රාහී බස වඩාත් සමීප වන්නේ සම්භාව්‍ය කාව්‍යට නොව රිද්මයානුකූල ජනකවියටය. එහි චින්තනමය ස්වභාවය මෙන් ම අව්‍යාජත්වය අතින් විමලරත්න කුමාරගමගේ කවියට බෙහෙවින් නෑකම් කියයි.
බුලතින් පැහැය ලැබ තොල් පෙති දෙක රත්ය
ගම්බද නිසා ඇගෙ අවිහිංසක නෙත්ය
ගේ දොර සියලු මෙහෙයට කඩිසර අත්ය
දුප්පත් වුණත් ඈ රූපෙන් පොෙහාසත්ය
ඒ කෙසේ වුවද 2017 වර්ෂයේදී පවා අපට කීමට ඇත්තේ මහගම සේකරගේ කලාව තවදුරටත් රටට වලංගු බව ය. පොදු මානවයාගේ ජීවනය වෙනුවෙන් වඩා වැඩිපුර ආලවට්ටම් නොකොට පරිසරයෙන් ම මෙවලම් ගෙන මවා පෑ සේකර කලාව ශ්‍රී ලාංකේය සංස්කෘතිය පවත්නා තුරා පවතිනු ඇත. එය යම් සේ ලිහිල් වුණි නම් ඒ ගීත රචනා විෂයේදී පමණි. එද සිනමා ගීත රචනා විෂයයේදී ය. ඒ මන්ද සිනමා ගීත රචනයක් යනු ජවනිකාවට අවශ්‍ය දේ සැපයීමකි. ඒ කෙසේ වුවද ඔහුට එච්. ආර්. ජෝතිපාලට ගීයක් රචනා කිරීමේ අවස්ථාව මගහැරී තිබුණි. එසේත් නැත්නම් ජෝතිපාලට සේකර ලියූ ගී පදවැලක් ගායනා කිරීමේ අවස්ථාව මගහැරී තිබුණි. එසේ වීමට අපට විශාල පසුතැවීමක් ඇතිකරන්නක් නොවිය හැකි නමුදු එසේ විණි නම් එය මහත් විශේෂ දෙයක් වන්නට ඉඩකඩ තිබුණි.