
මේ මා හමුවට පැමිණෙන උත්තුංග දේහධාරී ගුරුතුමන්ගේ මුහුණ මට හුරුයි. එක්කෝ ක්‍රියාරූපයක් මඟින්ය. නැතහොත් මීට කලින් කොතනකදී හෝ දැක පුරුදු හෙයිනි. ඔහුගේ මුහුණේ සිනාරැල්ලක් ඇත. අතේ කවරයක් හා පොත් කීපයකි.
‘මේ මහගමසේකර මහත්මයා නේද’
‘ඔව්’
‘හඳුනාගන්ට ලැබීම සතුටක්’
‘අපි මීට කලින් හමුවුණා ද’
‘ඒ වාගේ මතකයි’
‘ලංකාදීප කන්තෝරුවේදී වෙන්න ඇති’
‘ආ ඒක වෙන්න පුළුවන්’
අප මුල් හමුව සිදු වූවේ පුංචි බොරැල්ලේදීය. නොරිස් හෝටලය ළඟදීය. දැන් එතන ඇත්තේ විශාල රථ ගාලකි. සේකර නතර වී සිටියේ නොරිස් හෝටලයේ පිටුපස කාමරයකය. එතන සිට ඔහු බොරැල්ලට පැමිණ එතැනින් රාජගිරියේ හේවාවිතාරණ පාසලට යයි. පාසල ඇරී හෝටලයට පැමිණ කාමරයට වැදී ‘සේකරගේ ජරමර’ නමින් හැඳින්වූ කාටුන් චිත්‍රය ලංකාදීපයට අඳී.
මේ 1959-1960 කාලයේ විය යුතුය. එය මගේ ජීවිතයේ අතරමං කාලයකි. මම ද නිතරම කිසියම් ලියවිල්ලක් ලියාගෙන ලංකාදීප පුවත්පත් කන්තෝරුවට යාම සිරිතක් කොට සිටියෙමි. එතැනදී සේකරයන් දැක පුරුදුකමක් ඇතත් මැනවින් දැන හැඳින සිටියේ නැත. දිග සුදු ජාතික ඇඳුමකින් සැරසී සිටි මහගම සේකර කල් යත්ම හේවාවිතාරණ පාසලින් අස්වීමෙන් පසුව ඒ ඇඳුම අත්හැර දිග කලිසමට බැස්සේය. අත‍්කොට කමිසයක් ඇන්දේය. සෙරෙප්පු දෙකක් පය ලා ගත්තේය.
සේකර නාට්‍යකරුවකු ලෙස එළිපෙහෙළියට ආවේ පාසල් ගුරුවරයකු වශයෙන් සේවය කරද්දීය. මට මතක හැටියට ඔහු ලියා නිෂ්පාදනය කළ මුල් නාට්‍ය ‘ස්වර්ණතිලකා’ ය. ඉන් පසුව ‘කුණ්ඩල කේශී’ ය. සද්දන්ත යනුවෙන් මුද්‍රණය කර ඇති නාටකය රංග ගත කළේ ‘දළ බිඳුම’ යනුවෙන් යැයි මට සිහි වේ. සේකර දිගටම නාට්‍ය රචනයේ නියැළුණේ නැත. එහෙත් නාට්‍ය අරබයා විවිධාකාර අත්හදා බැලීම් කළේය. ඒ බව මා මුලින්ම දැන ගත්තේ අප දෙදෙනා අතර ඇති වූ සංවාදයකිනි.
“මට ඕනෑ කරලා තියෙන්නේ කෙටි නාට්‍ය කරන්න. ඒ සඳහා මම විශේෂයෙන් තෝරා ගන්නේ ජනකථා හා බෞද්ධ කථා. ඒවාට මම ගීත හා සංවාද ඇතුළු කරන්නේ රංග ජවනිකා ප්‍රබල කිරීමට.”
ඔහු පාසල් නාට්‍ය නිෂ්පාදනයේදී රචනය, අධ්‍යක්ෂණය, අංග රචනය, රංග භාණ්ඩ සැලසුම, වස්ත්‍ර සැකසුම ආදි අංගයන් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වීය.
කලක් ගුරු වෘත්තියේ නියැළී හුන් සේකර එම කාර්යයන්ට අතිරේකව දහසක් කාර්යයන් හි නිරතව සිටියේය. ඉංග්‍රිසි බස මැනවින් හදාළ ඔහු එය ප්‍රගුණ කළේ පරිවර්තන කාර්යය ඔස්සේය. ඔහු විටින් විට රවීන්ද්‍රනාත් තාගෝර්ගේ කෙටි වෘත්තාන්ත ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ කළේය. ‘නෙළුම’ යනු ඉන් එක් සුන්දර කථාවකි. ඔහු ‘සර් ආතර් කොනන් ඩොයිල්’ ගේ ‘වයිට් කම්පනි’ කෘතිය ‘ධවල සේනාංකය’ නමින් සිංහලට පරිවර්තනය කළේය. ඊට අතිරේකව ‘රසවාහිනී’ සඟරාවේ පළ කිරීම සඳහා ඔමාර් ඛයියාම් ගේ ‘රුබයියාට්’ කෘතිය කොටස් වශයෙන් සිංහලට පරිවර්තනය කළේය. එහෙත් කෙතරම් කලක් ගත වුවද එය සම්පූර්ණ පොතක් ලෙස පළ කිරීමට වෑයම් නොකළේය.
ඔහු කුඩා දරුවන්ට හා යොවුන් පාඨකයන්ට කතන්දර ලිවීමේ රුසියකු වී සිටියේය. මේ සඳහා ගත හැකි හොඳම නිදසුන නම් සමන් මුද්‍රණාලය විසින් පළ කළ ‘පුංචි අයට කයි කතන්දර’ කෘතියයි.
කලක් ස්වභාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ සේකර ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ ‘බියුටි ඉස් ද ස්ටේට්’ නමැති අපූරු රචනාව සිංහලට පරිවර්තනය කළේ ‘සෞන්දර්යය තත්ත්වයක් පමණකි’ යනුවෙනි. පළමුව මෙම සිංහල ලේඛනය පළ වූයේ සංස්කෘති සඟරාවේය. ඉන් අනතුරුව වෙනත් වාර ප්‍රකාහන කිහිපයක පළ විය.
එක් කාලයකදී අප දෙදෙනා හමුවන හැම අවස්ථාවකදීම කථාබහට ලක්වුණේ රවීන්ද්‍රනාත් ඨාකූර්ගේ කෘතීන් පිළිබඳවය. එය අප දෙදෙනාම ප්‍රිය කළ පොදු මාතෘකාවක් වී තිබිණ.
සේකර ගුරු වෘත්තියෙහි අතිශය විනෝදයෙන් ගත කළ කෙනෙකු යැයි සිතිය හැකිය. ඒ බව ඔහු ඇසුරේ සිටි ඇතැම් සිසුන්ගෙන් පළ වේ. ගුරු සිසු සබඳතාව ඔහු මැනවින් ඉටු කළේය. සේකර ගුරු වෘත්තියෙන් මාරු වූයේ ස්වභාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තක තනතුරකට යැයි මම සිතමි. එය ද ඔහු මඳ කලක් ඉතා සතුටින් ඉටු කළේය. එතැනින් ඔහු ආවේ ගුවන්විදුලියේ සංගීත අංශයේ නිබන්ධ සම්පාදක තනතුරටය. මේ වන විට ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වී සිටියේය. සේකරගේ අවධානය ගුවන්විදුලියේදී පළමුව යොමු වූයේ ‘පද්‍යාවලිය’ නම් වැඩසටහනට යැයි මම සිතමි. එහෙත් ඔහු වඩාත් ඇල්මෙන් යුතුව කැපවීමෙන් කටයුතු කළේ අමරදේවයන්ගේ නොමඳ සහාය ලැබුණු ‘මධුවන්ති’ සංගීත වැඩසටහන කෙරෙහිය.
සේකරයන්ට පණ්ඩිත් අමරදේවයන් හමුවීම පුදුමාකාර දෛවෝපගත සිද්ධියක් ලෙස මට හැඟේ. මම විටෙක ගුවන් විදුලියට ගොස් ඔවුන් මධුවන්තී වැඩසටහන සැලසුම් කරන ආකාරය බලා සිටියෙමි. ඇතැම් ගී පද රචනයක් වෙනුවෙන් සේකර වැඩි කාලයක් ගත කරයි. කුමක් හෝ මුමුනමින් සිට ඊළඟට ඒ ගී පද රචනය අමරදේවයන් අතට පත් කරයි. ඔහු ද ඒ සඳහා සෑහෙන කාලයක් ගත කරයි. එක්තරා කාලයකදී ඔවුන් දෙදෙනා දිවා රෑ නොබලා සැලසුම් කළේ මධුවන්තී වැඩසටහන පමණකි. මේ හේතුවෙන් සැබෑ ස්වදේශික සංගීත පර්යේෂණ ආකාරය නම් මධුවන්තී බවට පෙරළිණ.
සේකර තමන්ට හුරු පුරුදු වූ පරිවර්තන කාර්යය ප්‍රගුණ කළේ ස්වභාෂා දෙපාර්තමේන්තුවේ වුවද එය තරමක් හෝ අතපසු කළේ එතැනින් ගුවන්විදුලි සේවයට පැමිණීමත් සමඟය. සේකරයන්ගේ කලා දිවියේ හැරවුම ප්‍රබල ලෙස සිදු වූයේ ගුවන් විදුලි සේවයේදී යැයි මම සිතමි. ඔහු ස්වාධීන චින්තකයෙකු මෙන්ම සියුම් පර්යේෂකයෙකු බවට පත් වීමට කාරණා රාශියක් බලපෑවේය. ඉන් ප්‍රධාන තැන ගත්තේ ඔහු ගීතය හා කවිය පිළිබඳව කළ සෙවිල්ලයි. ඔහු මාර්ගෝපදේශකයකු නොමැතිව එම සෙවිල්ල කළේ යැයි මම සිතමි. මට එසේ සිතීමට තුඩු දෙන්නේ ඔහු කළ කී දේ අනුවය. ගීතය හා කවිය පිළිබඳ ඔහුගේ අදහස් එකල කලා මණ්ඩලය විසින් පළ කරන ලද කලා සඟරාවේ අන්තර්ගතය.
ඔහු මුල් අවදියේ ලියූ ‘සක්වා ලිහිණි’ කාව්‍ය සංග්‍රහය මට මතකය. එහෙත් ඔහු තම කාව්‍යකරණය පිළිබඳ නව මඟක් සෙව්වේ ‘මක්නිසාද යත්’ යන කෘතියෙන් යැයි මම සිතමි. වැඩි අවධානයකට ලක් නොවුණද එය අපූර්ව කාව්‍යයක් බව මට වැටහිණ. මම ඒ බව සේකරයන්ට කීවෙමි. ඒ කෘතියෙන් පසුව ඔහු සුළු කාලයක් ඇතුළතදීම බෝඩිම, රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත හා හෙට ඉරක් පායයි යන කෘති තුන බිහි කළේය. ඉංග්‍රීසි නිදහස් කවි සම්ප්‍රදාය පිළිබඳ දැඩි උනන්දුවෙන් සිටි මට ඒවා පිළිබඳව කොතෙකුත් කතා කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබිණ, ඒ අනුව නිදහස් කවිය පිළිබඳව පුරෝගාමි සන්නිවේදනාර්ථ රැසක් බිහි කළේ මහගම සේකරයන් යැයි මට හැඟේ.
‘නොමියෙමි’ ලියා ඔහු කලක් මුළුල්ලේම එය විටින් විට අතට ගනිමින් නැවත නැවතත් ලීවේය. නොමියෙමි මුද්‍රණයට භාරදී කාලයක් මුළුල්ලේම ඔහු ප්‍රබුද්ධ ලියමින් සිටියේය. ප්‍රබුද්ධ ලිවීම සඳහා ඔහු ජපානයට හා ඇමෙරිකාවට ගිය ගමනත් බෙහෙවින් වැඩදායක වූ බව මා සමඟ කීය. මේ කාල වකවානුව මට මතක හැටියට 1962-1963 විය යුතුය. නොමියෙමි සහ ප්‍රබුද්ධ ලියන අතරතුරදීම ඔහු තුංමංහන්දිය නවකතාව ලියා අවසන් කොට එහි තිරනාටකය ලිවීම පටන් ගත්තේය. සේකරට එක විට වැඩ කටයුතු කිහිපයක් කළ හැකි ශක්තියක් තිබූ බව මට මතකය. මෙය කලාතුරකින් පිහිටන කුසලතාවකි. තුංමංහන්දිය තිරනාටකය ඔහු මුලින්ම ලීවේ ගද්‍ය පද්‍ය මුසු පෙළකිනි. ඒ පෙළ කෙළවර ඔහු චිත්‍ර සටහන් පෙළක් ඇන්දේය. ඔහු කළ ක්‍රියාව එකල බෙහෙවින් අනුමත කළේ චිත්‍රපට කලාව පිළිබඳ විශාරදයකු වූ පුවත්පත් කලාවේදී අප මිත්‍ර බෙනඩික්ට් දොඩම්පේගම ය.
‘සේකර හරියට සත්‍යජිත් රායි වගේ. දෙන්නම එක වගේ වැඩ කරන්නේ. නවකතාවක් චිත්‍රපටයකට හරවනකොට කලින්ම චිත්‍රපටිය බලාගන්න පුළුවන්.’ යනුවෙන් බෙනඩික්ට් මා සමඟ පැවසූ අයුරු මට මතකය. සේකර තම පිටපත මුළු සැන්දෑ කාලයක් මුළුල්ලේම අපට කියැවීය. අපි ඉන් පුදුමාකාර ආස්වාදයක් ලබා ගතිමු. බෙනඩික්ට් ඒ කාලයේ ඒ ගැන සිළුමිණ පුවත්පතට ද විශේෂාංග ලිපියක් ලීවේය. සේකර සමඟ තුංමංහන්දිය චිත්‍රපටයේ පිටපත සාකච්ඡා කළ මොහොත මට අමතක කළ නොහැකිය. සේකර කියවද්දී අප අසා සිටියේ විටෙක සිනාසෙමිනි. තමන් විසින් තිරයේ මවනු ලබන සෑම ජවනිකාවක්ම අපට මවා පෙන්නුවේය. සේකර පිටපත කියැවීම නතර කරන්නේ සිගරැට්ටුවක් දල්වා ගැනීමට ය. දුම් බීමෙන් හැකිතාක් වැළකී සිටිය යුතු ය යන වෙද උපදෙසක් පසු කල ඔහුට ලැබී තිබුණු බව මට මතකය. එහෙත් එය ඔහු කෙතරම් දුරට පිළිපැද්දේ දැයි මම නොදනිමි.
බෙනඩික්ට් එකල විශේෂාංග කතුවරයා වී සිටි නිසා මහගමසේකරගෙන් කෙටි කතාවක් ලියා දෙන ලෙස ඉල්ලුවේය. ප්‍රතිචාර යහපත් විය. සේකර ‘පුඤ්ඤා’ නමින් අපූරු කෙටිකතාවක් ලිව්වේය. එය ෆ්රාන්ස් කෆ්කාගේ කතාවකට සමාන බවක් මට පෙනිණ. මම ඒ ගැන සේකරට පැවසුවෙමි. එවිට සේකර කීවේ කුමක් ද?
“මම කෆ්කාගේ එකම එක කෙටිකතාවයි කියවලා තියෙන්නේ.”
රාජගිරියේ හේවාවිතාරණ පාසලේ ඉගැන්වූ කාලයේ පටන්ම ප්ලේන්ටියක් බී සිගරැට් එකක් දල්වාගෙන කිසියම් හිනා කතාවක් කීමට සේකර පුරුදුව සිටියේය. මෙය ඔහු සැහැල්ලුවෙන් කල් ගත කිරීමට යොදාගත් උපක්‍රමයක් ලෙස මට පෙනිණ.
එක් වතාවක් හෘදය රෝග වෛද්‍යවරයකු වූ උපුල් රංජන් විජේවර්ධන සේකර අරබයා මට කී දෙයක් මේ මොහොතේ මතක් වේ.
‘මේ තරම් දඟ මේ මනුස්සයා මහ හිතුවක්කාරයෙක් වගෙයි මට පේන්නේ. මිනිහා කලාවට දඟ වුණාට මොකද වෛද්‍ය උපදෙස් නම් පිළිපදින්නෙ නෑ වගේ.’ උපුල් රංජන් මගේ පාසල් මිතුරෙකු වූ නිසා ඔහු සේකර ගැන කී කථා තදින් කා වැදී තිබිණ. මම වතාවක් මේ වග සේකරට පළ කළෙමි. එවිට ඔහු කී දේ මට මතකය.
‘මම වෛද්‍ය උපදෙස් ඕනෑවටත් වඩා පිළිපදිනවා. ඒත් මම ඒවා ඩොක්ටර්ල එක්ක කතා කරන්න යන්නෙ නැහැ.’
මම ඒ වෙද ජවනිකාව වෙනස් කිරීමට වෑයම් කරමි. සේකර තමන් වෙත එන රෝගාතුර භාවයන්ගෙන් මිදී සිටීමට කොතෙකුත් වෑයම් කළේය. එහෙත් එය කෙතරම් දුරට සාර්ථක වී දැයි මම නොදනිමි. සේකරට වුවමනා වී තිබුණේ කුමක් හෝ හිතට සතුට ගෙන දෙන කාර්යයක නියැළීමට ය. එක් වතාවක් සේකර මට කී දෙයක් මම සිහිපත් කරගනිමි. ඒ 1963 පමණ කාලය විය යුතුය. ඔහු මෙසේ කීය.
‘මේ ගුවන් විදුලි වැඩසටහන් කිරීමෙන් ලැබෙන්නේ මොන විදිහේ තෘප්තියක් ද කියලා මම දන්නෙ නෑ. මම මේ රස්සාවෙන් අස් වෙන්නයි හදන්නෙ.’
‘අස්වෙලා මොකද කරන්නෙ?’
‘ගුරු අභ්‍යාස විද්‍යාලයක කථිකාචාර්ය තනතුරක් ලැබිල තියෙනවා’
‘ඉතින් ඒක හොඳයි නේද?’
‘කරලම බලන්න ඕන’
සේකර කීවේ හිනා වෙමිනි.
සේකරයන්ට මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීම අසා අතිශ්‍ය සතුටට පත් වීමි. ඔහු කොළඹින් තරමක් හෝ ඈත් වූ නමුත් ඔහුගේ ගුවන්විදුලි සබඳතා කලක් යන තුරුම ගිලිහී නොපැවතිණි. මට මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ ගුරු පත්වීමක් ලැබිණ. ඊට අතිරේකව කැලණි විශ්වවිද්‍යාලයේ එකල විද්‍යාලංකාර ඉංග්‍රීසි අංශයේ උපදේශක තනතුරක් ද ලැබ සිටියෙමි. මේ නිසා සේකර මුණගැසීම අපහසු නොවීය.
සේකරගේ ‘මධුවන්ති’ වැඩසටහන ඔහු ගුවන්විදුලියෙන් බැහැර ගියත් සැලසුම් වූ පරිදි දිගටම සිදු විය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උගන්වමින් හිඳ ගුවන්විදුලි සේවයේ සේකරයන්ගෙන් හිස් වූ තනතුරට මට පත්වීමක් ලබාගත හැකි විය. මහගමසේකරගේ සහ අමරදේවයන්ගේ මධුවන්තී වැඩසටහන එලෙසින්ම ගුවන්ගත කිරිමට සංගීත අංශයේ අපි වෑයම් කළෙමු. එහෙත් අපේක්ෂා කළ පරිදි එම වැඩසටහන නියමිත වේලාවට සැලැසුම් කර ගැනීමේ අපහසුතා රැසක් ඇතිවන්නට විය. සංගීත අංශයේ සංවිධායක ලෙස එකල සේවය කළේ ඩන්ස්ටන් ද සිල්වා මහතා ය. සේකරට ද බොහෝ වැඩ කටයුතු අධික වූ බවක් පළ විය.
සේකර තම දිගු ආඛ්‍යාන කාව්‍යය වන ‘නොමියෙමි’ ලියූවේ සතියක් පමණ රෝගාතුරව ගම්පහ රෝහලේ පසුවෙමින් හිඳ නිවස බලා පැමිණීමෙන් පසුවය. මම ඔහුගේ සුවදුක් බැලීමට බසයෙන්ම රදාවානේ ඔහුගේ නිවසට ගියෙමි. ඔහු මා සමඟ කතා කරන්නට පටන් ගත්තේ කිසිදු රෝගයක් නැත්තා සේය.
‘දැන් කොහොමද සනීප තත්ත්වය’ මම විමසීමි. ඔහු සුපුරුදු ලෙස සිනාසී කීවේ ඒ හැටි අසනීපයක් නෑ ඒත් මම ඉස්පිරිතාලයේදී දිගු කාව්‍යයක් ලීවා. මම මේක කියවනකොට අහන් ඉන්න කැමැති ද?’
‘මම අහගෙන ඉන්නම්’
‘අහගෙන ඉඳල විතරක් මදි. මේකෙ තියෙන අඩුපාඩු පෙන්වන්නත් ඕනි.’
‘ඒක බරපතළ වැඩක් වේවිනෙ.’
‘ඒ වුණාට මට ඒක ඔබ ලවා ඉටුකරගන්න උවමනායි.’
‘බලමු.’ මම එදා රැය සේකරගේ මහගෙදර පහන් කළෙමි.
සේකර තම කාව්‍යය නාට්‍යානුසාරයෙන් කියවන්නට පටන් ගත්තේය. මම අපූරු ලෝකයකට පිවිසුණෙමි. මීට කලින් ඔහු ලියූ ආඛ්‍යාන කාව්‍යවලට වඩා හැම අතින්ම වෙනස් මුහුණුවරක් මම දුටුවෙමි. සේකරගේ කවීත්වයේ ක්‍රමික වර්ධනයක් ඇති වූ බවක් මට හැඟිණි. ඔහු වතාවක් ටී. එස්. එලියට්ගේ ‘ද වේස්ට් ලෑන්ඩ්’ කාව්‍යය කියවා ඒ ගැන මා සමඟ කතාබහ කළේය. මට මතක විදිහට ඔහු නොමියෙමි ලියා මට කියෙව්වේ ‘හෙට ඉරක් පායයි’ කෘතිය ලිවීමට පසුවය. මම ඒ කෘතියේ ඇති බොහෝ අඩුපාඩුකම් සේකර සමඟ කතාබහ කළෙමි. එතැනින් නොනැවතී දීර්ඝ ලේඛනයක් විශ්වවිද්‍යාලයේ චින්තක සඟරාවට ලිව්වෙමි. ඒ ලිපිය කාගේත් අවධානය යොමු වූවකි. සේකර එය කියවා මට කී දේ මතකය.
‘මම කැමතියි ඒ විවේචනයට. ඒක කියවලා මගේ පොත වෙනස් කරන්නටත් මට හිතුණා.’
එහෙත් හෙට ඉරක් පායයි එකල සිංහල විචාරකයින්ගේ ගැරහුමට ද ලක් වූවකි. ඒ කෙතරම් ද යත් වතාවක් ඒ පොත හඳුන්වා දී තිබුණේ ‘ක්‍රෑෂ් කවි’ යන යෙදුමකිනි. සේකර තම නොමියෙමි කාව්‍යය එළිවෙන යාමය වන තුරුත් කියැවීය. මම අසා සිටියෙමි.
‘අපි ඕක තරමක් සංස්කරණය කරමු ද?’ මම ඇසුවෙමි.
‘මටනම් බැහැ. කරල දෙන්න පුළුවනිද?’
‘මටනම් පුළුවන් වේවි. කෝ දෙන්න පිටපත’
මම නොමියෙමි අත් පිටපත රැගෙන ගොස් කැපිය යුතු තැන්, අලුතින් ලිවිය යුතු තැන් පැන්සලකින් ලකුණු කළෙමි. එසේ කොට නැවතත් සේකර මුණගැසීමට ගියෙමි. මෙය මා දැනට නොකරන කටයුත්තකි. එකල වුවද මට හිතුණේ මා අතින් නිර්මාණශීලි කවියකුට බලවත් අසාධාරණයක් සිදුවී ද යන හැඟුමයි.
‘මගේ මේ සංස්කරණය පිළිගන්ට කැමති ද?’ මම සේකරගෙන් ඇසුවෙමි. ඔහු මට ප්‍රතිචාර දැක්වූයේ හිනාවකිනි.
නොමියෙමි සංස්කරණය කරන ලද අත් පිටපත ඔහු සමීපයේ කෙතරම් කලක් තිබුණිදැයි මම නොදනිමි. එහෙත් ඔහුට සංශෝධිත පිටපත වහා මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබීම පුදුමයකි. නොමියෙමි සංශෝධිත පිටපත ඔහුගේ අතේ විය.
‘මම අර වැඩේ කෙරුවා’ ඔහු මට අත් පිටපත දෙමින් කීය.
‘මට මේ පොතට පෙරවදනක් ලියලා දෙන්න ඕනි.’ ඔහු ඊළඟට මගෙන් ඉල්ලා සිටියේය.
මම විස්මයෙන් ඇලළුණෙමි. එබඳු ක්‍රියාවක් මීට පෙර මවිසින් ඉටු නොවූවකි.
‘සේකරම ලියන එකම නේද හොඳ?’ මම ඇසුවෙමි.
‘නෑ මේක සංස්කරණය කරපු එක්කෙනාම ලීවොත් තමා හොඳ’
‘ඒක දඬුවමක් නේද?’
‘මම වෙනුවෙන් ඒක කරනවනම් හොඳයි.’
මම නොමියෙමි කෘතියට සුදුසු පෙරවදනක් සැපයූවෙමි. මගේ පළමු නවකතාව මා කියැවූයේ සුගතපාල සිල්වාට සහ සිරිල් බී. පෙරේරා යන මගේ මිතුරන්ටය. එහෙත්, එහි පිටකවරය සකස් කරගැනීම සඳහා මම ගම්පහ ශ්‍රී බෝධි පාරේ පිහිටි සේකරගේ නිවහනට පැමිණියෙමි. මා පැමිණි කාරණය පැහැදිලි කොට හැකි ඉක්මනින් මට පිටකවරයක් ඇඳගැනීම අවශ්‍ය බව මම සේකරට පැවැසීමි. මගේ නවකතාවේ අන්තර්ගතය ගැන ඔහු විමසා දැනගත්තේ ය. ඉනික්බිතිව පිටකවර සැලසුම පටන් ගැනිණ. සුදු ඝන කඩදාසියක හතරැස් කොටුවක් ඇඳ ගිනිකූරක් ගෙන කවාකාර රටාවක් නිමවා තවත් ගිනිකූරක් ගෙන ඒ කවාකාර රේඛා ඔප්ගැන්වීය. ඒ වෙලාවේ පොද වැස්සක් වැටෙමින් පැවතියේය. සේකර චිත්‍රය යන්තමින් මෙන් වැහි පොදවලින් පොඟවා කඩදාසිය රවුමට කැරකුවේය. අපූරු අමෘත චිත්‍රයක් මැවීය.
‘මේක කොහොමද?’ ඔහු ඇසීය.
චිත්‍රයෙන් කියන දේ සෙවීම මගේ කාර්යය නොවීය. මේ පොතේ පිටපතක් රැගෙන මම ගුවන්විදුලි සේවයේ නිබන්ධ සම්පාදක තනතුර සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයට ගෙන ගියෙමි. සම්මුඛ පරීක්ෂණයේ සභාපතිවරයා වූ මහා අධ්‍යක්ෂ වින්සන්ට් පණ්ඩිත මහතා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
‘කවුද මේ පිටකවරය ඇන්දෙ?’
‘මහගම සේකර’
‘මම කීවෙමි.’
‘මොකක් ද මේකෙන් කියැවෙන්නෙ?’
‘මානසික ස්වභාවයක්.’
‘ඔහොම ස්වභාවයක් ද මේ පොතෙන් කියැවෙන්නෙ?’
‘ඔව්’
‘මේක ඔබේ අදහසක් ද?’
‘නැහැ. මහගම සේකරගේ.’
සම්මුඛ පරීක්ෂණය එතෙකින් කෙළවර විය. දෙගිඩියාවෙන් සිටි මට යහපත් ප්‍රතිඵලයක් ලැබිණ.
ඊළඟට මගේ මනෝරංගයට පිවිසෙන්නේ දයානන්ද ගුණවර්ධන නමැති රංගධරයාත් මහගමසේකරත් මාත් අතර පැවැති සම්බන්ධතා කිහිපයකි. කොහෝ හෝ සිට ගුවන්විදුලියට පිවිසෙන මහගම සේකර දයානන්දවත් මාවත් මුණගැසී යාමට පුරුදු වී සිටියේය. දයානන්ද ගුණවර්ධනයන්ගේ විවාහ මංගල්‍යයට අප දෙදෙනාගේ දායකත්වය දෙයාකාරයකින් අවශ්‍ය විය.
මට ඉටුකිරීමට සිදු වූයේ දෙවැනි මනමාලයා හෙවත් බෙස්ට්මන් භූමිකාවයි. සේකරට සිදු වූයේ දයානන්දගේ පැත්තේ සාක්ෂිකරුවා ලෙස අත්සන් කිරීමට පෙනී සිටීමයි.
නිතරම අත්කොට කමිසයකින් සහ කලිසමකින් සැරසී සිටින සේකරගෙන් දයානන්ද ප්‍රශ්නයක් ඇසුවේය.
‘මගේ මඟුල් ගෙදරට එනකොට මොන වගේ ඇඳුමක් ඇඳගෙන ද සේකර එන්නෙ?’
‘මම නම් එන්න කල්පනා කළේ මේ විදිහටමයි. සේකර කීය.’
‘අපි ඔය ඇඳුම වෙනස් කරමු ද?’
‘එහෙමනම් මම මම හදාපු බතික් කමිසයක් ඇඳගෙන එන්නම්’
‘හා ඒකට කමක් නැහැ.’
1970 දශකයේ මම එංගලන්තයේ සිට ලංකාවට පැමිණි කාලයේදීම සේකර මට මුණගැසුණේ හේවුඩ් නමින් හැඳින්වූ රජයේ ලලිත කලා ආයතනයේදීය. ඔහු එහි විදුහල්පතිවරයා ලෙස සේවය කළේය. ඔහු එම සේවයට එතරම් කැමැත්තක් දැක්වූ බවක් පෙන්නුවේ නැත. ‘පරිපාලන කටයුතු මට වැඩිය අල්ලන්නේ නැහැ’ ඔහු කීය.
‘ඒවත් කරන්න වෙලා තියනවා නේද?’
‘කැමතිද අපිත් එක්ක එකතුවෙලා මෙහෙ වැඩ ටිකක් කරන්න?’
‘මොන වාගේ වැඩ ද?’ මම ඇසුවෙමි.
‘සමාජිය ක්ෂේත්‍රයට අයත් වන දේශන දෙක තුනක් කරන්න පුළුවන් ද?’
‘කොහොමද ඒක කරන්නෙ?’
‘අපට පුළුවන් බාහිර කථිකාචාර්ය ධුරයක් දෙන්න.’
සේකරයන්ගේ ඇසුර තවදුරටත් ලැබෙන නිසා මම එයට කැමැත්තක් දැක්වීමි. ඔහු මෙතැනිනුත් ඉවත් වී යාමට මාන බලන බවක් මට පෙනිණි. ඔහු බොහෝ විට කතාබහ කළේ කලකිරුණු ස්වභාවයකිනි.
මම ගුවන්විදුලි සේවයේ සිටියදීම කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කොට කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය පිහිටුවීමත් සමඟම එහි ආචාර්ය මණ්ඩලයට බැඳුණෙමි. මුල් කාලයේදී අපට ගැටලුවක් වූයේ සන්නිවේදනය ඉගැන්වීමට ගුරුවරුන් සොයා ගැනීමය. මාත් මගේ මිත්‍ර විමල් දිසානායකත් කතිකා කොට මහගම සේකරයන්ගේ නම බාහිර කථිකාචාර්ය ලයිස්තුවට ඇතුළු කළෙමු.
තම කථිකාචාර්ය පත්වීම සතුටින් භාරගත් සේකර පස්වරුවේ 2.00 සිට 3.00 දක්වා කාලය ඇතුළත පැමිණ දේශන පැවැත්වීමට පොරොන්දු විය. ඔහුගේ මාතෘකාව වූයේ චිත්‍ර සන්නිවේදනයේ මූලධර්ම යන්නයි. එක් දේශනයක් පැවැත්වූ ඔහු ඊළඟ සතියේ නොපැමිණියේ ය. මම ඔහු සොයා ගියෙමි.
‘මට මහ පුදුම වෙහෙසක් දැනෙනවා’ ඔහු කීය.
‘උදේ වරුවක දේශනය යොදාගනිමු ද?’
‘හා’ යැයි කී ඔහු පැමිණ අපහසුවෙන් මෙන් දේශනයක් පවත්වනු දුටුවෙමි.’
‘මට වෙහෙසක් දැනෙනවා’ ඔහු නැවතත් කීය. එහෙත් ඔහු මේ කියන කාලයේදී වෙහෙස නොබලා කිසියම් පර්යේෂණ කටයුත්තක නියැළී සිටි බව මට දැනගත හැකි විය.
‘මම රිද්මය ගැන පර්යේෂණයක් පවත්වනවා.’
‘පොතක් ලියන්න ද?’
‘ඔව් ආචාර්ය උපාධි නිබන්ධනයකට’
ඉන් පසුව ඔහු තමා නියැළී සිටින ආචාර්ය උපාධි පර්යේෂණය ගැන බොහෝ තොරතුරු හෙළි කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට ඔහු ලියාපදිංචි වී සිටියේය. ඉන් පසු ඔහු හමුවන හැම අවස්ථාවකදීම කථා කළේ රිද්මය ගැනමය. මහගම සේකර වෙහෙස නොබලා තම පර්යේෂණ කටයුත්ත නිම කළේය. එහෙත් ඔහුට ආචාර්ය උපාධිය ලැබුණේ ඔහුගේ අභාවයෙන් පසුවය.
මහගමසේකර - හදවතේ ගීතය කෘතියෙනි.