බැඩ්මින්ටන්... මහාචාර්යවරයා සහ චූල චරිත | සිළුමිණ

බැඩ්මින්ටන්... මහාචාර්යවරයා සහ චූල චරිත

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලන නිලවරණය පසුගියදා පැවැත්වීමට නියමිතව තිබුණි. මේ සටහන එකී නිලවරණයට පෙර තැබූවකි. මේ ලාංකේය ක්‍රීඩාව කාටද? කොහාටද? මොකටද? යන්න කටු සටහනකි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් ද සිල්වාගේ භූමිකාව මෙරට බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට නොවටිනා වස්තු විෂයයක් වන විට ලෝක බැඩ්මින්ටන් සම්මේලනයට වටිනා භූමිකාවක් බවට පත්වූයේ ඔහු දෙවන වරටත් 2013 - 2017 කාලය සඳහා එහි විධායක සභාවට තේරී පත්වීමෙනි.

රටවල් 150 ක් පමණ සහභාගි වූ ලෝක බැඩ්මින්ටන් සම්මේලන විධායක සභා නිලවරණයේදී මහාචාර්යවරයා ඡන්ද 164 ක් ලබා ගනිමින් විධායක සභාවට තේරී පත්වීමේ දී ලාංකේය නියෝජිතයා මහාචාර්යවරයාට ඡන්දය ලබා නොදුන් බවද වාර්තා විය.

ඒ පිළිබඳ මාධ්‍යයන්ට අදහස් දක්වා තිබූ මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙකී තනතුර සඳහා යන ගමනේදී ලාංකේය නියෝජිතයා තමාට උදව් නොකළ බවයි. වැඩිදුරටත් අදහස් දක්වා තිබූ මහාචාර්යවරයා ලංකාවේ නියෝජිතයා තමා සමඟ කතාබහ කළ ද සිය ඡන්ද ව්‍යාපාරයට උදව් කරන බවක් පෙනෙන්නට නොතිබුණු බවද සඳහන් කර තිබිණි.

2013 මෙරට පැවැති බැඩ්මින්ටන් නිලවරණයේ දී අකටයුතුකම් සිදුවූ බව ප්‍රකාශ කරමින් මහාචාර්යවරයා ප්‍රමුඛ පිරිස නිලවරණය වර්ජනය කළහ. එකී නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරීන්ට මහාචාර්යවරයා සමඟ පෞද්ගලික ප්‍රශ්න තිබිය හැකිය. එහෙත් රටක් වශයෙන් මෙකී කොදෙව්වෙන් එළියට යද්දී, පෞද්ගලික එදිරිවාදිකම් පෙරට දමා ගෙන කටයුතු කිරීම, තුට්ටුවක්වත් නොවටිනා බව කිව යුතුය.

ඡන්දයක් ස්වාධීනව භාවිත කළා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් තමන්ගේම රටවැසියකුට, තම සම්මේලනයේ හිටපු සභාපතිවරයකුට පමණක් නොව, ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ හිටපු විධායක සභිකයකුට එරෙහිව එකී රටේම නියෝජිතයකු කටයුතු කරයි නම් ඒ තුළ ඇත්තේ තමන්ගේම රටේ එකා ඉදිරියට යාම පිළිබඳ කුහකත්වය නොවේදැයි තවත් කෙනකුට තර්ක කළ හැකිය.

මහාචාර්යවරයාට මෙරට නියෝජිතයාගේ ඡන්ද නැතුවත් ඡන්ද 164 ක් හිමිවී තිබීමම විශිෂ්ට ජයග්‍රහණයක් බව අමුතුවෙන් පැවැසිය නොවේ. 2013 - 17 කාලය සඳහා මහාචාර්යවරයාගේ නම යෝජනා කොට ඇත්තේද ස්ථිර කර ඇත්තේද විදේශීය රටවවල්වීම විශේෂත්වයකි.

මහාචාර්යවරයාට මෙරට බැඩ්මින්ටන් සම්මේලනයේ දෙර වැසුවාට මෙරට බැඩ්මින්ටන් පුස්සන්නට, ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ දොර වසන්නට නොහැකිවීම තුළ කියාපාන්නේ මේ නිලධාරින් මහචාර්යවරයා ඉදිරියේ මොන තරම් නම් චූල චරිත ද යන්නයි.

එවර බැඩ්මින්ටන් නිලවරණයේ දී සිදු වූ අකටයුතුකම් ගැන, මහාචාර්යවරයා ලෝක බැඩ්මින්ටන් සම්මේලනයට පැමිණිලි කළානම් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට එමඟින් සිද්ධවන්නා වූ හානිය - අපකීර්තිය සුළුපටු නොවන බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. රංජිත් ද සිල්වා මහාචාර්යවරයකු වන නිසාම මෙරට බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් මෙන් පහත් අඩියකට වැටී කටයුතු නොකළේය.

ඕනෑම ජාත්‍යන්තර මවු සංගමයකට යම් රටක නියෝජිතයකු තේරී පත්වීම එකී රටට ආඩම්බරයකි. එවැනි දෙයකට එකී රටේම යමකු අකුල් හෙළනවා නම්, එවැනි කටයුතුවලට ඉදිරියේදීවත් ඉඩ නොතැබීමට බලධාරීන් වගබලා ගත යුතුය.

Comments