විචාරය යනු අසත්‍ය ප්‍රචාරණය නො වේ | Page 5 | සිළුමිණ

විචාරය යනු අසත්‍ය ප්‍රචාරණය නො වේ

පර­ගොඩ සිරි මහ­තාගේ ලිපිය ගැන විමැ­සු­මක්

හෙළ හවුලේ කවි මඟ විමසමින් මවිසින් ලියැවුණු ලිපියකට ඌනපූරණයකැ යි පැවැසෙන ලිපියක් පරගොඩ සිරි මහතා පසුගිය (2017/03/12 වැනි දා) ‘සත්මඬලෙහි’ පළ කොට ඇත. ඌනපූරණයක් නො ව කවර පූරණයක් වුව ද කළ යුතු තමාට වැටැහෙන්නක් පිළිබඳ වැ යි. ම-විසින් සැපැයුණු ලිපිය නො වටහා ගැන්ම හෝ වටහා ගැන්මට ඇති නොහැකියාව හෝ නිසා එය මුල් කොටගෙන අනන්-මනන් බිණීම සංවේගයට මෙන් ම හාස්‍යයට ද කාරණයෙකි. මෙ බඳු අනන් - මනන්වලට පිළිතුරු ලිවීම සඳහා කාලය නැසීම ද ඒ පළ කිරීම සඳහා වැදැගත් පුවත් පතෙක ඉඩ නැසීම ද අපරාධයෙකි. එ වුව ද පාඨකයන් මුළාවේ වැටුමෙන් වළක්වනු පිණිස ඉතා කෙටියෙන් මෙහි ලා කරුණු කිහිපයක් දැක්වේ.

අද හෙළ හවුල් කවියෙහි එක්තරා පිරිහීමක් ඇතැ යි මගේ ලිපියෙහි සඳහන් විය. පරගොඩ මහතා පවසන්නේ මා හෙළ හවුලේ නයු (නායක) තනතුරෙහි සිටිමින් එ බව පැවැසීම දුබලතාවක් බව යි; එය එ මඟ යන අය ‘වැට්ටවීමක්’ බව යි.

පළමු වැ කිය යුත්ත නම් මා හෙළ හවුල් නයු තනතුරෙහි සිටීම හෝ නොසිටීම හෝ මෙහි ලා වැදැගත් නොවන බව යි. ම-විසින් යට කී ලිපියෙහි ලා කැරුණේ කාව්‍ය විචාරයෙකි. එ ද පුවත් පතෙක අතිරේකයකට සුදුසු පරිද්දෙනි. එහි දී මම මට පෙනුණු ඇත්ත හෙළිදරවු කෙළෙමි. ම-විසින් කැරුණු විමස්නෙන් සපුරා පෙනී ගිය පරිදි, හෙළ හවුල් කවියෙහි මහිමවත් අතීතය හා සලකන කල්හි අද එහි එක්තරා පිරිහීමක් පවතී. හෙළ හවුල දු එය පිහිටැවූ කුමාරතුංගයනුදු අනුදත් මඟ වන්නේ තමන් දක්නා ඇත්ත නොබා හෙළි කිරීම යි. එ මඟ සපුරා ගනිමින් මම ද මා දක්නා ඇත්ත හෙළි කෙළෙමි. පරගොඩ සිරි මහතා පවසන්නේ ඇත්ත දැකදැක දු බොරු කියන්නට යි; මා හෙළ හවුලේ නායකයා වනුයෙන් අද හෙළ හවුල් කවිය ඉතා දියුණු තතුවෙක ඇතැ යි බොරු ඇදැ බාමින් ‘සිළුමිණ’ පාඨකයන් රවටන්නට යි. එ බඳු හීන දීන කමක්, කවර හෙයෙකින් වත් මම කිසි දිනෙක නො කරමි. හෙළ හවුලේ සුළඟ වත් වැදුණු කිසිවෙකුදු නො කෙරෙති.

එ ද වේ වා! ම-විසින් පැවැසුණේ හෙළ හවුල් කවියෙහි ‘එක්තරා’ පිරිහීමක් ඇති බව විනා එය මුළුමනින් පිරිහී ඇති බව නො වේ. එය වටහාගන්නට තරම්වත් නුවණක් නැත්තකු පුවත්පතෙක ශාස්ත්‍රීය අතිරේකයකට ලිපි ලිවීම කවර ආශ්චර්යයක් ද?

හෙළ හවුලත් හෙළ හවුල් කවියත් නැංවිය හැක්කේ ඇති තතු සංගා නැති තතුවක් මවා පෙන්වීමෙන් නො ව, සැබෑ නුවණත්, දැනුමත්, බස - රැස - දෙස පිළිබඳ නොවක් ඇල්මත් ඇති පිරිසක් බිහි කිරීමෙනි. එ සඳහා අපි නොයෙක් කටයුතු කෙරෙමු. එහි පල ඉදිරියෙහි දී දැකිය හැකි යි.

පරගොඩ සිරි මහතා ගේ අනෙක් මැසිවිල්ල වනුයේ, මවිසින් දැක්වුණු අද හෙළ හවුල් කවි ම‍ඟෙහි පෙරමුණේ සිටුනා කිවියන් අතුරෙහි සෝමපාල බුලත්සිංහල මහතා ගේ නම නොදැක්වීම යි. එ පිළිබඳින් කිය යුතු එක ම කරුණ නම් ඔහු ගේ නම එ තැනට නුසුදුසු වීම යි. ඒ කවර හෙයින් ද යන්නට යම්තම් ඉඟියක්, බුලත්සිංහල මහතා ගේ පොතකට මා ලියූ පෙරවදනෙකින් උපුටා දක්වා ඇති කොටසිනුදු ලැබිය හැකි ය. එ වැන්නක් වටහාගන්නට සිරි මහතාගේ නුවණ මෝරා නැත් නම් වෙනත් ලිපියෙකින් එය පෙන්වා දිය හැකි යි. පරගොඩ සිරි මහතා ගේ ලිපියෙන් පෙනී යන්නේ ඔහු ‘අත් වැඩ පර වැඩ සම වැ සිතන්නකු’ බව යි. වේ වා! එහෙත් පර වැඩ (අනුන් ගේ වැඩ) කරන කල්හි මඳක් පරිස්සම් වුව මැනැවි. පර වැඩ ගොඩක් මැ කරන්නට ගිය හොත් තමා ගේ සායම ද සේදී යා හැකි බැවිනි.

අප ලිපි ලියන්නේ ද කවි ලියන්නේ ද බසිනි. හෙළ හවුලෙහි මහ ම අරමුණ වනුයේ බස - නිවැරැදි බස - රැකගැන්ම යි; එ මඟින් රැසත් දෙසත් නංවාලීම යි. බැලුව මැනැවි පරගොඩ මහතා යොදන බස:

1. “මා එය රුචි ඇත්තෙක් මිස ඒ මග යන්නෙක් නො වේ”

2. “හෙළ හවුල් නයුවෝ හුදු තනතුරෙහි එල්ලී පසුබාන හැටි”

3. එ තුමන් ඒ මග යන නිවහල් පරපුරක් පෑදෙන මං තැනී ය.”

4. “දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් එහි ගරු අමාත්‍ය

වි. ජ. මු. ලොකු බණ්ඩාර සූරීහු මෙහෙයුමෙන් කළ ඇගැයුම කො තරම් ඉහළ ද?

මේත් සිංහල වාක්‍ය ද? යටත් පිරිසෙයින් ක්‍රියාකාරක පද සම්බන්ධය උක්තාඛ්‍යාත දෙක්හි සම්බන්ධය වත් මෙහි වේ ද? පෙර කල්හි සකු කිවියෙක් මෙ සේ කී ය.

ක්‍රියාකාරක සම්බන්ධං - යෙ න ජානන්ති මානවාඃ

පශුභීස්සහ තෙ තුල්‍යං - ක්ෂුර ශෘඩ්ග විවර්ජිතෛඃ

(වාක්‍යයෙක ක්‍රියාකාරක පද අතර සම්බන්ධය වත් යම් මානවකයෙක් නො දනී ද? හේ අං ද කුර ද නැති ගොනකු වැනි ය.)

අපි පරගොඩ සිරි මහතා එ බඳු අවමානයකට ලක් නො කෙරෙමු. එහෙත් ඉතා කුලුණින් එකක් කියමු. පර වැඩ කරන්නට පෙර අත් වැඩ (තමන් ගේ වැඩ) කැරැගත මැනැවි. යම් තම් හෝ සිංහල වාක්‍යයක් ලියන්නට උගෙන ඉන් පසු අනුන් ගේ දොස් පෙන්වා ලිපි ලියුව මැනැවි.

Comments