සරු පස ගෙවත්ත සරු කරයි. | Page 2 | සිළුමිණ

සරු පස ගෙවත්ත සරු කරයි.

පවතින තත්ත්වය නිසා සියලුම දෙනා තමන්ගේ ගෙවත්ත වගා කිරීමට පෙලඹිය යුතුයි. මේ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමෙන් පිරිසුදු ආහාර වේලක් සපයා ගැනීමට හැකිවේ. මේ පිළිබඳව පරිසරවේදී හා 1999, 2000, 2001, වසරවල හොඳ ගොවියා ලෙස ජයග්‍රහණය කළ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා සමඟ සිළුමිණ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් වූවකි.

ඇයි ඔබ ඔබේ ගෙවත්ත වගා කිරීමට පෙළඹිය යුත්තේ?

අද අපට හොයාගන්න බැරි හිතාගන්න බැරි ලෙඩ රෝග වැලඳෙනවා. මේ නිසා පිරිසුදු ආහාර වේලක අවශ්‍යතාව අපට තියෙනවා. ඒත් මේ අරමුණ ඉටු කරගන්න නම් මිලදී ගන්න ආහාරවලින් බැහැ. මේ නිසා අපි අපේ ගෙවත්ත වවන්න සැලැසුම් කළ යුතුයි.

සැලැසුම් සහගත ගෙවත්තක් වගා කරන්නේ කෙසේද?

අපි ගෙවත්ත වගා කරන කොට මනා පිළිවෙලකට වගා කළ යුතුයි. අද බොහෝදෙනක් කරන දෙයක් තමයි අපිළවෙලට ගෙවත්ත වගා කරන එක. මේ නිසා නිසි ලෙස හිරු එළිය ලැබීමක් සිදුවෙන්නේ නැහැ. මේ නිසා ශාකවල වර්ධනය ක්‍රමානුකූලව සිදු වෙන්නේ නැහැ. මේ අනුව උස ගස් එක පැත්තක ද කුඩා ගස් තවත් පැත්තක වගා කළ යුතුයි. නැති නම් උස ගස්වල අතු පතර නිසා කුඩා ගස්වලට හිරු එළිය ලැබීමේ තත්ත්වය මඟ හැරේ.

හිරු එළිය මෙන්ම සැලැකිය යුතු අනිත් දේවල් මොනවාද?

අපි පස ගැන සැලැකිලිමත් විය යුතුයි. අපේ පස නිසරු නම් සරු ඵලදාවක් ලබාගැනීමට නොහැකි වෙනවා. මේ නිසා කිසි විටකත් පසට වල්නාශක යොදන්න එපා. පස නිසරු කරන එක ක්‍රමයක් තමයි වල්නාශක යෙදීම. වල්නාශක දිගින් දිගට යෙදීමෙන් ඔබේ ගෙවත්තේ පස නිසරු වේ. මේ දිනවල බොහෝ වල්නාශක තහනම් වී තිබෙනවා. ඒත් ඇතැම් අය තමන්ගේ පහසුව තකා වල් නාශක යොදනවා. ඒ විතරක් නෙවයි කෘමිනාශක යෙදීමත් දිගින් දිගටම කරනවා. අඩු ගානේ ගෙවත්තක මේ තත්ත්වය මඟ හරවා ගන්න පුළුවන් වෙන්න ඕනේ.

මේ අනතුරින් ගෙවත්ත බේරාගැනීමට නම් යෙදිය යුතු ක්‍රමවේදය කුමක්ද?

මේ සඳහා ඔබේ ගෙවත්ත කාබනික ගෙවත්තක් කරගන්න. ඊට පස්සේ ඔබට මතුවෙන අනිත් ප්‍රශ්නය තමයි කාබනික ගෙවත්තක් කරගන්නේ කොහොමද කියන එක

ඇත්තටම කාබනික ගෙවත්තක් ඇති කරගන්නේ කොහොමද?

මුළුතැන් ගෙයින් ඉවත දමන කුණු රොඬු මෙන්ම ගස්වල කොළ ද කොම්පෝස්ට් පොහොර සඳහා ගැනීම සඳහා අපි යොදා ගන්නවා. ඕනෑම මතු පිට පසක් සමඟ කොම්පෝස්ට් සහ වැලි 1.1.1 අනුපාතයට මිශ්‍ර කර වගා කිරීමෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකියාව තිබේ. ඒ වගේම රෝග පාලනය කිරීමටත්, කෘමි සතුන්ගෙන් ආරක්ෂාවීමටත්, කෙම් ක්‍රම මෙන්ම ස්වාභාවික පළිබෝධ පාලන විධි යෙදිය යුතුයි. ඒ ඒ වගාවට ගැළපෙන පිළියම් යොදාගැනීමට හැකියාව තියෙනවා. උදාහරණ ලෙස බ්‍රෝඩෝ මිශ්‍රණය මිරිස් වගාවේදී අපට යොදාගැනීමට හැකියාව තියෙනවා.

මොකද්ද බ්‍රෝඩෝ මිශ්‍රණය කියන්නේ?

අළු හුනු සහ කොපර් සල්්‍ෙෆ්ට් සම ප්‍රමාණවලින් ගෙන ජලය සමඟ දිය කර මිරිස් පාත්තිවලට ඉසින්න පුළුවන්. නැතිනම් ඔබට සිදු වෙන්නේ කොළ කඩා ඉවත් කිරීමටය.

ගෙවත්තේ දැකිය හැකි ඉල්මැසි හානියට පිළියම් සකසා ගන්නේ කෙසේද?

මේ හානිය බහුලව දැකිය හැකි හානියකි. පතෝල වැටකොළු වැනි බෝග මේ සඳහා ගොඳුරු වේ. මේ නිසා කරල් ආ විගස පොලිතින් ආවරණ යොදා ආරක්ෂාව සලස්වා ගත යුතුය.

බණ්ඩක්කා වැනි බෝග බහුලව ගෙවත්තේ වගා කරනවා. මේවාට වැලඳෙන පිටි මකුණු හානිය වළක්වා ගන්නේ කෙසේද?

මේක ඉතාමත් හොඳම ප්‍රශ්නයක්. මේ සඳහා ගව මූත්‍ර දින පහක කාලයක් තබා තැබීමෙන් පසු එම ප්‍රමාණය මෙන් පස් හය ගුණයක් ජලය දමා ස්ප්‍රේ කිරීම මඟින් මේ උවදුරට පිළියම් යෙදිය හැකිවේ.

Comments