උපත් ආබාධ රැසකට හේතුව මවගේ නොසැලකිලිමත් බවයි | සිළුමිණ

උපත් ආබාධ රැසකට හේතුව මවගේ නොසැලකිලිමත් බවයි

ගර්භිණී කාලය තුළ නියමිත පරිදි මාතෘ සායනවලට සහභාගි වීම; ඒවායෙන් ලබාදෙන ත්‍රිපෝෂ, ෆෝලික් අම්ලය වැනි අමතර ආහාර හා විටමින් වර්ග නිසි පරිදි ගැනීමෙන් පෝෂණය හා ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි ආබාධවලින් දරුවා බේරාගත හැකි ය.

වසරකට මෙරට උපදින දරුවන් අතරින් 6000 ක් දෙනා උපතින් ම ඇති වන ආබාධ (සංජානීය ආබාධ සහිතව උපදිති. ඔවුන්ගෙන් 2000 ක් පමණ උපතින් ම හෘදය ආශ්‍රිත ආබාධ සහිතව බිහි වෙති. මේ හෘදය ආශ්‍රිත රෝගවලින් ඇතැමක් සැත්කම් මඟින් සුව කළ හැකි ය. මෙවැනි දරුවන්ට අවශ්‍ය හදිසි සැත්කම් සිදු කිරීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හා දිවයිනේ වෙනත් ළමා රෝහල්වල ද පවතින ශල්‍යාගාර ප්‍රමාණවත් නොවේ. මේ දරුවන් බේරා ගැනීම සඳහා අවශ්‍ය ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පහසුකම් සංවර්ධනය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු යොදනු ලැබ ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ දන්ත වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. මාර්තු තුන් වැනිදාට යෙදුණු ලෝක උපත් ආබාධ දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකා පැරා ජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ලෝක පැරා ජන්ම වෛද්‍ය සංගම් හා එක්ව මෙම උපත් ආබාධ දිනය සැමැරීමේ මාධ්‍ය හමුව සංවිධානය කරන ලදී. සංගමයේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවැසුයේ ශ්‍රී ලංකාවට ලෝකයේ මාතෘ හා ළදරු මරණ අනුපාතය අවට රටවල් අතර මුල් තැනක් හිමි වන බව ය. වසරකට මෙරට දරුවෝ 350000 ක් උපත ලබති. ඒ අතරින් 6000 – 6500 අතර සංඛ්‍යාවක් සංජානනීය ආබාධ සහිතව උපදිති. ඔවුන්ගෙන් දරුවන් 500 – 600 න් අතර සංඛ්‍යාවක් ඉපදී පළමු වසර ගත වීමට පෙර මිය යති.

ලෝකයේ වසරකට මිලියන 7.9ක් දරුවන් සංජානීය ආබාධ සහිතව උපදිනි. සංජානීය ආබාධ හේතුවෙන් දරුවෝ මිලියන ............ වසරකට මිය යති. වසරකට ලොව සිදු වන 495, 300ක් වූ ළමා මරණ අතරින් 8% ක් ම සංජානීය ආබාධ හේතුවෙන් සිදු වෙතැයි කියැවේ. මෙලෙස මිය යන දරුවන් අතරින් 246600 ක් ඉපදී පළමු දින 28 ඇතුළත මිය යන බව 2013 දී උපන් ආබාධ පිළිබඳ සිදු කරන ලද විශ්ව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

සංජානීය ආබාධ යනු දරුවකුට උපතේදී ම ඇති වන ආබාධ වේ. හෘදය ආශ්‍රිත අඩුපාඩු, ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ආබාධ වකුගඩු හා වෙනත් ඉන්ද්‍රිය සම්බන්ධ ආබාධ මෙන් ම වර්ණදේහ ආශ්‍රිත ආබාධ මෙලෙස උපතේදීම ඇති විය හැකි ය. උපත් ආබාධ සහිත දරුවන් බිහිවීමට හේතු කිහිපයක් බලපෑ හැකි ය.

ගර්භණී සමයෙහි මවගේ පෝෂණ තත්ත්වයෙහි ඌනතා, දියවැඩියාව, අධික රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් වැඩි වීම වැනි බෝ නොවන රෝග සහිත මව ගැබිනි සමයේදී ඒ රෝග තත්ත්වයෙන් නිසි ලෙස පාලනය නොකිරීම, පියා හෝ මව දුම්බීම, ඇතැම් මවුවරුන් මත් වතුර හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම, පවුලේ ඥාතීන් අතර සංජානීය ආබාධ සහිත දරුවන් බිහි වීමේ ප්‍රවණතා, ලේ ඥාතීන් අතර විවාහය, මවු පදවියට නුසුදුසු වැඩිහිටි වියේදී (අවු. 35 න් ඉහළ) ගැබ් ගැනීම, බොහෝ හේතු කල් ඇතිව දැන සිටී‍මටත් හා පරිස්සම් වීමෙන් වළක්වා ගත හැකි ඒවා ය. උපත් ආබාධ අතරින් වැඩියෙන් ම දක්නට ලැබෙන්නේ හදවත ආශ්‍රිත ආබාධ වේ.

ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතය උපත් දහසකට නවයකි. මෙය ආසියානු කලාපයේ අඩුම ළදරු මරණ අනුපාත අගයති. එහෙත් මේ මරණවලින් වැඩි ප්‍රමාණයක් වළක්වාගත හැකිව තිබූ ඒවා බව වෛද්‍ය ජයරත්න පවසයි.

මවු පදවිය ලැබීමට සුදුසු වයස අවුරුදු 20 – 35 අතර වේ. දරුවකු අපේක්ෂා කරන සෑම කාන්තාවක් ම සිය දරු උපත හොඳින් සැලසුම් කිරීම වැදගත් ය‍. දරුවකු බිහි කළ යුත්තේ ඔබට ඒ දරුවා අවශ්‍ය වන කාලයේදී ය. සැලසුම් කළ දරු උපතක් යනු එලෙස නිසි කලට වෙලාවට දරුවකු බිහි කිරීමය. ගර්භිණී වීමට පෙර මව මෙන් ම පියා ද කිසියම් ජානගත රෝගවලින් පෙළෙනවා දැයි සොයා බලා එසේ නම් තම වෛද්‍යවරයාට ඒ බව පැවසිය යුතු ය. ලේ ඥාතීන් අතර විවාහය උපත් ආබාධවලට හේතු වෙයි. ශ්‍රී ලංකාවේ වසරකට තැලසීමියා රෝග වාහකයන් අතර සිදුවන විවාහ 200 - 300 ක් පමණ සිදු වේ යැයි ජාතික තැලසීමියා සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. මේ විවාහ නිසා වසරකට අලුතින් තැලසීමියා රෝගීන් 60 – 80 ක් රටට බිහි වන බව ද එමඟින් කියැවේ. තැලසීමියාව ජානගත ‍රෝගයකි. එය සුව කළ නොහැකි ය. රුධිර පාරවිලයනය කරමින් රෝග තත්ත්වය පාලනය කළ හැකි ය. එය අධික වියදම් සහිත ය. එමෙන් ම තැලසීමියා ‍රෝගීන්ගේ ආයු කාලය ද අඩු ය.

විවාහ ව වයස පසු කර විවාහ වීම හේතුවෙන් ප්‍රමාද වී මවු පදවිය ලැබීම ද ආබාධ සහිත දරුවන් ඉපදීමට හේතු වේ. මවට බෝ නොවන රෝග හෝ වෙනත් දිගුකාලීන රෝග තත්ත්වයක් ඇත්නම් ගර්භිණී වීමට පෙර ඔබේ වෛද්‍යවරයාට ඒ බව පැවසිය යුතු ය. එවිට ඒ සඳහා නිසි උපදෙස් හා පිළියම් ද ලබාදෙනු ඇත.

මව කිසියම් ‍රෝගයකින් පෙළෙන්නේ නම් ගර්භයට නුසුදුසු යැයි සිතා බෙහෙත් නොබී සිටීමෙන් ද දරුවාට උපත් ආබාධ ඇති විය හැකි ය. එහෙයින් කල් තියා ඔබේ වෛද්‍යවරයා දැනුවත් කර දරු ගැබට හානි නොවන හෝ විකල්ප ඖෂධ ලබා ගැනීමට හැකි වේ.‍

ගර්භිණී කාලය තුළ නියමිත පරිදි මාතෘ සායනවලට සහභාගි වීම; ඒවායෙන් ලබාදෙන ත්‍රිපෝෂ, ෆෝලික් අම්ලය වැනි අමතර ආහාර හා විටමින් වර්ග නිසි පරිදි ගැනීමෙන් පෝෂණය හා ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි ආබාධවලින් දරුවා බේරාගත හැකි ය. ගර්භිණී සමය තුළ නිසි පෝෂණය ලබාගැනීම මෙන් ම ස්ථූලතාවය, දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි රෝග මනාව පාලනය කරගැනීම ද ඉතා වැදගත් වේ.

ලංකාවේ මාතෘ සත්කාරක සේවා ඉතා ඉහළ මට්ටමක පවතී. සෑම කාන්තාවකටම රෝහල් හා සත්කාරක සේවා නොමිලේ ලබාගැනීමට අවස්ථාව තිබේ. ඒ අවස්ථාවෙන් නිසි ඵල ලබා ගැනීමෙන් බොහෝ උපත් ආබාධ, මාතෘ හා ළදරු මරණ වළක්වා ගත හැකි වේ.

Comments