සහෝදරකම් දරාගෙන සිත් බැ‍ඳේවා වී ලොවම සුවපත් | සිළුමිණ

සහෝදරකම් දරාගෙන සිත් බැ‍ඳේවා වී ලොවම සුවපත්

පාලම

‘වෙල්ලි චිරහයික්කුම් වෙන්පුරාවේ
උංගල් ව‍රවෙයි කානවිල්ලෙයි වෙන්පුරාවේ...’
‘පොඩි අත් තටු සලන සුදු ප‍ෙරවියෝ
කිමද නුඹ නොඑන්නේ සුදු පරෙවියෝ...

යුද බිමට සාමය රැගෙන එන්නැයි සාමයේ සුදු ප‍ෙරවියාට කරන මේ ආයාචනය අපට දෙමළ බසින් ඇසෙන්නේ සිංහල ගායිකාවක වන නිරෝෂා විරාජිනීගේ හඬිනි. උතරු දකුණු දෙපළාතේ ම ඉමහත් ප්‍රසිද්ධියකට පත් වූ මේ ගීතයේ පද රචකයා එම්. එම්. එම්. ෂම්ස් නම් මානවහිතවාදී ලේඛකයා ය.

ෂම්ස් ද බොහෝ මුස්ලිම් කලාකරුවන්ට හා දේශපාලන පෙරළිකාරයන්ට නිජබිමක් වූ දකුණේ දික්වැල්ලේ ජන්මලාභය ලැබූ ප්‍රගතිශීලියෙකි. අදින් අවුරුදු 77 කට පමණ පෙර එනම් 1940 මාර්තු 17 දින ඔහු උපත ලැබීය. දිගු කලක් පුරා මුස්ලිම්වරුන්ගේ කලාපයක් වූ දික්වැල්ලේ මුස්ලිම් දරුවන් සඳහා අරඹා තිබූ මුස්ලිම් පාසල ෂම්ස් ගේ ද අධ්‍යාපන චාරිකාවේ තිඹිරිගෙය විය.

18 විය වන විට අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත් ෂම්ස් ගුරු වෘත්තියට ප්‍රවේශ විය. ඒ 1951 අවුරුද්දේ දී ය. ගුරු වෘත්තිය ඔහුගේ කලා කටයුතුවලට තෝතැන්නක් විණි. ඔහුගේ ප්‍රථම කවිය පුවත්පතක පළ ව‍ූයේ 1959 දී ය‍. ඒ පසුකලෙක ඔහු පුවත්පත් කලාවේදියකු වශයෙන් සේවය කළ ‘තිනකරන්’ පත්තරයේ වීම ද දෛවෝපගත සිදුවීමකි. එදා ඇරඹූ ෂම්ස්ගේ කාව්‍ය රචනා ව්‍යාපාරය ඔහුගේ දිවියට වසර 60 ක් පමණ වන විට කාව්‍ය රචනා 300 ක් දක්වා වැඩි වර්ධනය වී තිබිණි. කවියට පමණක් නොව කෙටිකතාවට, ගී පද රචනයට, ශාස්ත්‍රීය ලිපි රචනයට, පරිවර්තන කලාවට මෙන් ම පාරම්පරික මුස්ලිම් කලාවන්ට ද ෂම්ස් නැඹුරු වූයේ මානවහිතවාදය හා සමාජ සාධාරණය වැනි ප්‍රගතිශීලී අරමුණු පෙරදැරි කරගෙන ය.

ලේඛන කලාවේ නිරත වන අතරවාරයේ ම කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වී සංවර්ධන අධ්‍යාපනය පිළිබඳ උපාධි පාඨමාලාවක් හැදෑරීමට ෂම්ස් සමත් විය. සමාජ ඇසුරේදී ෂම්ස්ට සිංහල, දෙමළ හෝ මුස්ලිම් භේදයක් නොවී ය. සාහිත්‍යයේදී සේ ම දේශපාලනයේදී ද ඔහුගේ තේමාව වූයේ වාර්ගික සුහදත්වය හා සමාජ සමානත්වයයි. කොළඹ ප්‍රදේශයේ දිවි ගෙවීමට පැමිණීමෙන් පසුව ඔහු ලංකා ගුරු සංගමයේ ‘ගුරු හඬ’ දෙමළ සංස්කරණයේ කතුවරයා බවට පත්වූයේ එබැවිනි.

ෂම්ස්ගේ ලේඛන කලාවේ සුවිශේෂ ලක්ෂණයක් වූයේ මුස්ලිම් අන්තවාදයට කොන්දේසි විරහිතව පහර දීම ය. එසේ ම ආගමික උමතුව ද ඔහුගේ දැඩි විවේචනයට ලක්වූ ක්ෂේත්‍රයකි. වරෙක ඔහු ඉන්දියාවෙන් සිය ගමට පැමිණි ඉස්ලාමීය පූජකවරුන්ගේ ඉගැන්වීම් විවේචනය කරමින් පොතක් ලිවී ය. මෙය ගමේ ප්‍රතිගාමී මුස්ලිම් නායකයන්ගේ කෝපයට හේතු විණි. ඔවුහු ෂම්ස් සොයා නිවසට පැමිණියහ. ෂම්ස් නි‍ෙවසේ සිටියේ නැත. එවර ඔවුහු මිථ්‍යාදෘෂ්ටිකයා, ආගම් විරෝධියා වැනි වදන් සහිත පෝස්ටර් ගම පුරා ඇලවූහ. ෂම්ස්ගේ සිව් වන දරවා වන ෆාහිම් (ෆාහිම් දැන් තිනකරන් කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකි) උපත ලැබුවේ මේ අලකලංචි මැද ය. කොළඹ සිට ෂම්ස්ට දරුවා බලන්න ගමට එන්නට බැරි විය. මාමා කෙනෙක් කුඩා ෆාහිම් රැගෙන ගාල්ලට ගියේ ය. පීතෘ සෙනෙහසින් ඉහවහා ගොස් සිටි ෂම්ස් ගාල්ලට පැමිණ කිරිකැටි පුතා දැක බලා ගෙන ආපසු කොළඹ ගියේ ය.

ෂම්ස් සිය ජීවිතයට පරදුවට තබා ලියූ ලිපි හා කළ ප්‍රකාශ කෙළවරක් නැත. මුස්ලිම් දේශපාලන නායකයකු වූ අභාවප්‍රාප්ත අෂ්රොෆ් මහතා මුස්ලිම් කොන්ග්‍රසය බිහි කිරීමට සූදානම් වන පුවත ඇසූ ෂම්ස් වහා ඊට වි‍‍රෝධය පළ කළේ ය. ජනවර්ග මුල් කරගෙන දේශපාලන පක්ෂ බිහි කිරීමෙන් ජාතික එකමුතුවට බාධා සිදුවන බව ඔහු තරයේ කියා සිටියේ ය.

වසර 34 ක ගුරු සේවයෙන් පසුව පුවත්පත් කලාවේදියකු ලෙස ලේක්හවුසියට බැදුණු ෂම්ස් තිනකරන් පුවත්පතේ ‘කවුළුව’ නම් විශේෂාංගයක් ඇරඹීය. සිංහල ලේඛකයන් හා සාහිත්‍ය නිර්මාණ රැසක් දෙමළ භාෂාව කියවන ප්‍රජාවට හඳුනා ගැනීමට මඟ පෑදුණේ එමගිනි. ඉන් නොනැවතුණු ඔහු එකල දෙනගම සිරිවර්ධනයන් විසින් සිළුමිණේ අරඹා තිබුණු ‘පාලම’ ලිපි මාලාවට දෙමළ හා මුස්ලිම් ලේඛකයන් හඳුන්වා දෙමින් වාර්ගික සමගිය සඳහා පන්හි‍ඳෙන් කළ හැකි මෙහෙවර ‍රටට පෙන්වා දුන්නේ ය.

ෂම්ස් අතින් දෙමළට නැඟුණු සිංහල කවි සිය ගණනකි. මහගමසේකර, දයාසේන ගුණසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු හා රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු කවි කිවිඳියන්ගේ අපූරු කවි කල්පනා දෙමළ සාහිත්‍යයට හඳුන්වා දුන්නේ ෂම්ස් ය. මුද්‍රිත මාධ්‍යයට පමණක් සිය කුසලතා සීමා නොකළ මේ මානවහිතවාදියා ‘කලා කවුළුව’ යන අරුතැති දෙමළ කලා වැඩසටහනක් ගුවන් විදුලියේ මෙහෙයවී ය. පසු කලෙක ෙහ් ගුවන් විදුලි ගායකයෙක් ලෙස ද නමක් දිනාගත්තේ ය. 1981 දී ජාතික රූපවාහිනියේ 5 වන සංවත්සරය වෙනුවෙන් පැවති ප්‍රසංගයේදී මුස්ලිම් සංස්කෘතික වැඩසටහනක් ඉදිරිපත් කරමින් රූපවාහිනී මාධ්‍යය ඔස්සේ ද ෂම්ස් සිය දක්ෂතා විදහා පෑවේ ය.

ලේඛන කලාවට ප්‍රවේශ වූ 1959 වසරේ සිට එම්.එච්.එම්. ෂම්ස් නම් ලේඛකයා හා කලාකරුවා මෙලොවින් සමුගත් 2002 වසරේ ජූලි මස 15 වැනිදා වන විට විවිධ කලා ක්ෂේත්‍රවලට ඔහු කළ නිර්මාණ දායකත්වය ගණනය කිරීමට අපහසු තරම් ය. සාහිත්‍ය ක්ෂේත්‍රයට ඔහු දායාද කළ කෘති ගණන 8කි. නූල් විමර්ශනම් (1975), මාතර කාසිම් කවියා (1978), වර්තමාන දෙමළ නිසදැස් කවි ගැන විමසුමක් (1984), දකුණු ලක මුස්ලිම් සාහිත්‍ය වර්ධනය (1987) හයිකු කවි ලියන්නේ කෙසේද (1988) ගමේ සිහිනය (2001) වශයෙනි.

(දෙමළ බසින් පළ කළ ඉහත පොත්වල නම් දක්වා ඇත්තේ සිංහලෙනි)

ගීත සාහිත්‍යයට ලබාදී ඇති දායකත්වය ද අති මහත් ය. රූපවාහිනියේ වාර්තාගත ලෙස පසුගිය කාලයේ විකාශනය වූ නිරෝෂා විරාජිනී ගයන වෙන්පුරාවේ ගීතය, සුදු නෙළුම් ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය වූ දෙමළ ගීතය, ජැක්සන් ඇන්ටනිගේ ‘ඇසළ කළුවර’ ටෙලිනාට්‍යය සඳහා ලියූ සාම ගීතය, ඇතුළු ගීත ගණනාවකින් ෂම්ස් ගේ ගීතාවලිය සැරසී තිබේ.

ගුරු හඬ දෙමළ පුවත්පතේ සිට, නේර්වලි නම් සඟරාව, අෂ්පුරා නමැති නිදහස් පුවත්පත, ප්‍රතිරාව සිංහල ප්‍රකාශනය, ෂෙයිද් මඩල් සඟරාව හා තිනකරන් පුවත්පත ෂම්ස්ගේ පුවත්පත් කලාවේ හැකියාවන් ප්‍රකාශයට පත්වූ මුද්‍රිත මාධ්‍යඅතර ප්‍රමුඛ වේ. එසේ ම ගුවන් විදුලි හා වේදිකා නාට්‍ය කිහිපයක් ද ෂම්ස් විසින් නිර්මාණය කර තිබේ. සිය මාමා ඇතුළු කලාකරුවන්ගෙන් ලද පුහුණුව මත පසු කලෙක ෂම්ස් ද පාරම්පරික ලී කෙළි කණ්ඩායමක නායකයා වශයෙන් කටයුතු කළේ ය.

ෂම්ස්ගේ ජීවන සහකාරිය ෆාහිරා ය. ඔවුන්ට දරුවෝ පස් දෙනෙකි‍. පුතුන් තුන් දෙනකු හා දියණියන් දෙදෙනකු වශයෙනි. වසර 62 ක් ජීවත් වූ ෂම්ස් සිය ජීවිත කාලය තුළ ශ්‍රී ලාංකික සමාජයක් ගොඩනැඟීම සඳහා ලබාදුන් දායකත්වය මිල කිරීම අසීරු ය. ජීවිතේ අගභාගයේදී පවා ඔහු සිය සමාජ මෙහෙවර අත හලේ නැත. ග්‍රාමාතු කනවුගල් හෙවත් ගමේ සිහිනය නම් නවකතාව ඔහු පළ කළේ අභාවයට පත්වීමට වසරකට හමාරකට කලිනි. එමඟින් ද ඉස්ලාම් දහමේ ඇතැම් අන්තවාදී ලක්ෂණ ඔහුගේ විචාරයට ලක් විය. ඊට එරෙහිව වෙනත් මුස්ලිම්වරු පිරිසක් පොතක් පළ කළහ. ෂම්ස්ගෙන් ලේඛන කලාවට අත්පොත් තැබුවෝ ද ඒ අතර වූහ. ඒ අතර තුර ලේක්හවුසියේ ඔහුගේ සේවා දිගුව ද නතර කෙරිණි. මේ කරුණු හේතුවෙන් සිය ජීවිත කාලය පුරා ම අයුක්තියට අසාධාරණයට එරෙහිව හා ජාතික සමගියට පක්ෂව තම නිර්මාණ කුසලතාව කැප කළ ලේඛකයාට සිය ජීවිතයේ අවසාන භාගය සතුටින් සැනසීමෙන් ගත කිරීමට අවකාශ සැලසුණේ නැත.

ෂම්ස්ගේ කුසලතා වෙනුවෙන් පිරිනැමුණු සම්මාන හා ත්‍යාග ද රැසකි.‍ එතෙක් ඒ සියලු ගරු සම්මානවලට වඩා ඔහු අගය කළේ ශ්‍රී ලාංකික ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වන යුගයක් උදාවනු දැකීම ය; වර්ගය, ආගම, කුලය ආදී කිසිම බෙදීමකට ලක් නොවුණු මිනිස්කම රජයන ලාංකික ජනතාවක් බිහි වනු දැකීම ය. 2014 වසරේ අගභාගයේ මාතර ලන්දේසි වෙළඳපොළ ගොඩනැඟිල්ලේ ෂම්ස් වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත්වූයේ ඔහු පැතූ ඒ උදාර ලෝකය ගොඩනඟාගන්නට කැපවූ මානවහිතවාදීන් පිරිසක් විසිනි. එහි එක් සාමාජිකයකු වූ දෙනගම සිරිවර්ධන ෂම්ස්ගේ කවියක් ගායනා කළේ ය. එහි අවසන් පද කිහිපය මෙසේ ය.

එකම සැළියේ උයාගෙන බත්
කමින් උනුනුන් හට පතා සෙත්
සහෝදරකම් දරාගෙන සිත්
බැ‍ඳේවා වී ලොවම සුවපත්

Comments