තමාගේම වාර්තා බිඳිමින් වාර්තා තබන ඇන්ටනොව් 225 | Page 3 | සිළුමිණ

තමාගේම වාර්තා බිඳිමින් වාර්තා තබන ඇන්ටනොව් 225

ඇන්ටනොව් (Antonov - AN 225) ගුවන්යානය මානව තාක්ෂණ භාවිතයේ තවත් උපරිම ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකිය. මේ සුපිරි යානය නිෂ්පාදනය කිරීමේ ගෞරවය හිමි වන්නේ සෝවියට් රුසියාවේ යුක්රේනයටය. ලෝකයේ මේ දක්වා බිහි වී ඇති විශාලතම ගුවන්යානය මෙය වුවද නිෂ්පාදන වර්ෂය ලෙස සඳහන් වන්නේ 1988 තරම් ඈත වසරකි.

මේ යානය නිපදවීමේදී මූලික බලපොරොත්තුව වී අැත්තේ අධික බරින් යුතු භාණ්ඩ ප්‍රවාහනය කිරීමයි. එහෙත් මේ දක්වා මේ වර්ගයේ යානාවන්ගෙන් නිපදවා ඇත්තේ එකම එක යානාවක් වීම විශේෂත්වයකි.

ඒ එකම යානය වුවද අද දක්වාම ඉතා හොඳින් භාණ්ඩ ප්‍රවාහනයේ යෙදී සිටින්නේ දිනෙන් දින තමන් තබන වාර්තා තමන්ම අලුත් කරමිනි.

ඇන්ටනොව් - 225 ගුවන් යානය 1988දී නිම කෙරුණද ඒ සඳහා යුක්රේනය භාවිත කර ඇත්තේ වර්තමානයට වුවද අභියෝග කළ හැකි නවීන තාක්ෂණයකි. අතිවිශාල බර ප්‍රමාණයක් අහස හරහා ගෙන යෑමට හැකි යන අන්දමින් මේ යානාව නිපදවිමට ඔවුන් කටයුතු කර තිබේ. කොටින්ම කිව හොත් යානයේ සම්පූර්ණ පද්ධතිය සැකසී ඇත්තේ බර දැරීමට සමත් වන අන්දමිනි. යානයට එන්ජින් හයකි. මේ එන්ජින්ද අතිප්‍රබලය. කොතරම් ප්‍රබලදැයි කිව හොත් කිලෝ 640 000ක බරක් රැගෙන අහසට නැඟීමට තරම් මේ එන්ජින් ප්‍රබලතාවකින් යුක්තය. පියාසැරියකින් පසු යළි පොළොවට පතිත වීමේදී යානයේ බර දරාගැනීම යනු අමතර කාර්යයක් වන හෙයින් සෙසු යානාවලට නැති බලයක් දරාගැනීමට ඇන්ටනොව් - 225 යානයට රෝද 32ක් යොදා තිබේ. එම රෝද ද පොළොව සමග අතිරේක බරක් ඝර්ෂණය වීමේදී යානයට පීඩනයක් එල්ල නොවන ලෙස වඩා ශක්තිමත්ව නිපදවා තිබේ.

මේ යානය සැලසුම් කළ ඇන්ටනොව් ඩිසයින් බියුරෝව ලෝක වාර්තාවක් තැබීම අරමුණු කරගනිමින්ම කටයුතු කර ඇතැයි සිතෙන්නේ ලෝකයේ දිගින් සහ පළලින් වැඩිම ගුවන්යානය ලෙසද මේ යානය වාර්තා පොතට එක් වී ඇති බැවිනි. මීට අමතරව පළලින් වැඩිම ගුවන්යානා තටු පිහිටා ඇත්තේද ඇන්ටනොව් 225ටය. යානයේ දිග මීටර් 84ක් වන අතර, තටුව අන්තර්ගතව සම්පූර්ණ පළල මීටර් 88.4කි. යානයේ උස මීටර් 18.1කි. ලෝකයේ විශාලතම ගුවන්යානා තටු පිහිටා ඇති ඇන්ටනොව් 225 යානයේ තටුවල ප්‍රමාණය වර්ග මීටර් 905කි. කිලෝ ග්රෑම් ලක්ෂ තුනක තෙල් ප්‍රමාණයක් අන්තර්ගත කරගනිමින් අහසේ පියාසර කළ හැකි ඇන්ටනොව් යානයේ දැවැන්ත බව සම්බන්ධව ඔබට මේ වන විට යම් අදහසක් ඇති කරගත හැකි වනු ඇත. එහෙත් එතරම් විශාල වුවද යානයේ කාර්යමණ්ඩලයට අයත් වන්නේ හය දෙනෙක් පමණි.

මේ දැවැන්ත යානය යුදමය පසුබිමකින් තොර වූ ලෝකය අවශ්‍ය නොවන යානයක් වේයැයි සැලකුණද මේ වන විට එය කිසිවකුත් නොසිතූ අන්දමේ සේවයක් ඉටු කරමින් සිටී. ලෝකයේ බොහෝ රටවල් මේ යානය කුලී පදනම මත සේවයේ යොදාගන්නා අතර, ඒ මගින් ලෝකයේ සෙසු කිසිදු යානාවකට කළ නොහැකි අන්දමේ කාර්යයන් ඉටු කරවාගනී. සැබවින්ම මේ කාර්යයන් සියල්ල ලෝක වාර්තා ලෙස සැලකෙන අතර, පුදුමය වන්නේ දිනෙන් දින තමන් තබන වාර්තා තමන්ම බිඳ හෙළීමට ඇන්ටනොව් යානය කටයුතු කිරීමය.

2002 ජනාවරි ජනවාරි මාසයේදී ජර්මනියේ සිට ඕමානය දක්වා අමෙරිකානු හමුදා සෙබළුන් සඳහා ආහාර රැගෙන ඒමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඇන්ටනොව් යානය කටයුතු කළේය. ඒ පිඟන් 216 000ක කෑම රැගෙන පියාසර කිරීමෙනි. මීට පෙරද ගුවන් මගින් ආහාර ගෙන ගොස් ඇති නමුදු උපරිමය වාර්තා වී තිබුණේ පිඟන් 375කි. ඒ අනුව සෙසු යානාවලට සිතීමට පවා නොහැකි තරමේ ආහාර ප්‍රමාණයක් ගෙන යෑමෙන් ඇන්ටනොව් වාර්තා පොතට එක් වී තිබේ. මීට අමතරව මිනිස් ඉතිහාසයේ වැඩිම බරක් රැගෙන ගුවන්ගත වූ යානය ලෙස ඉතිහාසයට එක් වෙමින් ඇන්ටනොව් - 225 චීනයේ සිට ඩෙන්මාකයට සුළං බලයෙන් ක්‍රියා කරන ටර්බයිනයක තල රැගෙන පියාසර කළේය. මේ ටර්බයින තල ගුවනින් ප්‍රවාහනය කළ බරින් මෙන්ම දිගින්ද වැඩිම භාණ්ඩය ලෙස සැලකෙන අතර, එහි දිග මීටර් 42.1ක් ලෙස වාර්තා වී තිබේ.

Comments