'ට්රැපිස්ට්-1' ගැන නොදන්නා කතා | Page 2 | සිළුමිණ

'ට්රැපිස්ට්-1' ගැන නොදන්නා කතා

ප්‍රමාණයෙන් පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් මේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයේ පවතින බව නාසා විද්‍යාඥයෝ පසුගියදා ප්‍රකාශ කළහ. මේ ග්‍රහලෝක සියල්ලම ට්රැපිස්ට් -1 නමැති එකම තාරකාවක් වටා කක්ෂගතව ඇති බවත් තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එකී නව ග්‍රහ ලෝක පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක පමණ දුරකින් පවතින බව තහවුරුව තිබේ. ආලෝක වර්ෂ 40ක දුර කොතරම්ද යන්න ඔබට සිතාගැනීම සමහර විට ඔබට අපහසු වන්නට පුළුවන. ආලෝකය සාමාන්‍යයෙන් රික්තයක් තුළ තත්පරයට මීටර 299,792,458ක දුරක් ගමන් කරයි. වසර 40ක කාලයකට ආලෝකය කෙබඳු දුරක් ගමන් කරයිද, පෘථිවියේ සිට එකී දුර ප්‍රමාණයට ඈතින් යට කී ග්‍රහලෝක පිහිටා ඇති බව සරලව කියන්නට පුළුවන. ඒ අනුව පෘථිවිය හා සමානයැයි කියන ග්‍රහ වස්තු හත කොපමණ ඈතකින් පිහිටා ඇත්ද යන්න ඔබට තහවුරු වනු ඇත.

නාසා විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මේ කියන ග්‍රහ ලෝක හතෙහිම වායුගෝලයන් ප්‍රමාණයෙන් පෘථිවි වායුගෝලයට සමානය. එමෙන්ම ඒවායෙහි උෂ්ණත්ව තත්ත්වයන්ද පෘථිවි උෂ්ණත්වයටම සමාන විය හැකියැයි කියන මතයත් ඇති වී තිබේ. මේ නිසා ඒවා මතු පිට ද්‍රව මට්ටමේ ජලය තිබිය හැකි බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ග්‍රහවස්තු හතෙහි ස්කන්ධයන් සම්බන්ධයෙනුත් විද්‍යාඥයන් මේ වන විට එකඟත්වයකට පැමිණ තිබේ. ග්‍රහවස්තුවල ස්කන්ධ පිළිබඳ තොරතුරුවලට අනුව ඒවා පාෂාණමය ග්‍රහවස්තු බව කියැවේ. එමෙන්ම ඇතැම් ග්‍රහ ලෝක සාගරවලින්ද සමන්විතයැයි කියා සඳහන් වේ.

ට්රැපිස්ට් -1 තරුව ප්‍රමාණය අතින් කුඩා වූත් අඩු උෂ්ණත්වයක් ඇත්තා වූත් එකකි. එහෙත් ග්‍රහ ලෝක හත උණුසුම් මට්ටමෙන් පවත්වාගෙන යන්නට තරම් ඒ තරුවේ උෂ්ණත්වය ප්‍රමාණවත්ය. ඔබ එයින් එක ග්‍රහවස්තුවක් මත සිට ගත හොත් ඔබට දැනෙනු ඇත්තේ සූර්යයාගෙන් අපට ලැබෙන ආලෝකයෙන් දෙසීයෙන් පංගුවක ආලෝක ප්‍රමාණයකි. ඒ ආලෝක ප්‍රමාණය තුළ ගැබ්ව ඇති ශක්තිය ඔබව උණුසුම්ව තබාගැනීමට සෑහෙන බව සනාතව ඇත. මේ කාරණා සැලකිල්ලට ගත් විට ග්‍රහ ලෝක හතෙන් තුනක් පමණක් ජීවයක් පැවතිය හැකි සීමාවේ ස්ථාපිත බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එනිසා ජීවින් සිටිය හැකි කලාපයක පවතින ග්‍රහලෝක සම්බන්ධයෙන් කරුණු වාර්තා වුණු පළමු අවස්ථාව මෙය බව බොහෝ විද්වතුන්ගේ මතයයි.

ග්‍රහ ලෝක හත ට්රැපිස්ට් -1 තරුව වටා කක්ෂගතව තිබෙන්නේ එකිනෙකකට ආසන්නයෙන් බව සඳහන් වේ. ග්‍රහවස්තු හත පිහිටා තිබෙන්නේ, අපේ සූර්යයා සහ බුධ අතර ඇති දුර මෙන් පස් ගුණයක දුර ප්‍රමාණයකට අඩු දුර පරාසයක් තුළය. කිසියම් විධියකින් ඔබට මේ ග්‍රහ වස්තුන් අහසේ දක්නට ලැබුණ හොත් ඒවා පෙනෙනු ඇත්තේ සඳ තරම් විශාලව බව සඳහන් වේ. ට්රැපිස්ට්-1 තාරකාව අහසේ දිස් වුණ හොත් එය පෙනෙන්නේ සූර්යයා අපට පෙනෙන්නාක් මෙන් තුන් ගුණයක විශාලත්වයක් සහිතවය. දැනට සිදු කර ඇති ගණන් බැලීම්වලට අනුව ට්රැපිස්ට් -1 තාරකාව මත උෂ්ණත්වය සූර්යයාගේ උෂ්ණත්වයෙන් අඩක් බව හෙළිව තිබේ. එහි ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධයෙන් දහයෙන් පංගුවක් පමණ වන බව තවුරුව ඇත. එමෙන්ම ට්රැපිස්ට් -1 තාරකාව රතු පැහැයෙන් දිස් වනු ඇති බවටත් විද්‍යාඥයෝ අනුමාන කරති.

ග්‍රහලෝක හත පිහිටා ඇති ආකාරය සලකා බලන විට ඒවායෙහි එක් පැත්තක් පමණක් තාරකාව දෙසට නිරාවරණය වේ. මේ නිසා ග්‍රහ ලෝකවල එක පසෙකට නිත්‍ය රාත්‍රියකුත් ග්‍රහ ලෝකවල අනෙක් පසට නිත්‍ය දහවලකුත් උදා වී පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි. තත්ත්වය එසේ වුවත් තාරකාවට ආසන්නයෙන් පිහිටා ඇති ග්‍රහ වස්තු තුනක් මත උණුසුම් කාලගුණයක් දකින්නට ලැබෙනු ඇති බව කාලගුණ මොඩල ආශ්‍රයෙන් කරන ලද අධ්‍යයනවලින් තහවුරුව ඇත. එකී උෂ්ණත්ව තත්ත්වය ජලය ද්‍රව මට්ටමෙන් පැවතීමට කොහෙත්ම බාධාවක් නොවන බව පැවසේ. ජීවයක් ඇතැයි කියා අනුමාන කෙරෙන්නේද එකී ග්‍රහ වස්තු තුන මතය.

දැනට මේ කාරණා අනාවරණය වී තිබුණත් ග්‍රහ වස්තු හත පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට මිනිසාට තවත් වසර දහයක පමණ කාලයක් ගත වත වනු ඇති බව සඳහන් වේ. ඒ ග්‍රහ වස්තුවල වායුගෝලවල ස්වභාවය සහ ජලය ද්‍රව ආකාරයෙන් පැවැතීම පිළිබඳ කරුණු අනාවරණය කරගැනීම එහිලා ප්‍රධාන වනු නිසැකය. එකී කාරණාවන්ට අදාළ දත්ත හෙළිදරව් කරගැනීමට වැඩි කාලයක් ගත වනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති. ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි තාරකාවක් සහ ඊට අදාළ ග්‍රහ ලෝකවල තත්ත්වයන් අනාවරණය කරගැනීම දැනට මිනිසා අත පවත්නා තාක්ෂණය යටතේ අසීරු කාරණයක් නොවන බව පෙනේ. එහෙත් ඒ සඳහා වසරකට වැය කළ යුතු මුදල අමෙරිකා ඩොලර් මිලියන ගණනක් විය හැකිය. පෘථිවිය හැර තමන්ට වාසය කළ හැකි තවත් ස්ථානයක් තිබේද යන කුතූහලයෙන් පෙළෙන මිනිසාට මේ ග්‍රහලෝක ගැන සෙවීමට ඇති ආශාව කෙසේ වත් අඩු නොවනු ඇති බව සක්සුදක් සේ පැහැදිලි කාරණයකි.

Comments