යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය -2017 සමස්ත ශූරතාව පෝලන්තයට | සිළුමිණ

යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය -2017 සමස්ත ශූරතාව පෝලන්තයට

ප්‍රශාන්ත ඇල්පිටිය

යුරෝපයේ ප්‍රබලතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ 2017 යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරදී නිමාවට පත් වූයේ පෝලන්තයට සමස්ත ශූරතාව හිමිකර දෙමිනි. මෙම ශූරතාවලිය පැවැත්වෙන්නේ දෙවසරකට වරක්ය.

පෝලන්තය රන් 07, රිදී 01 සහ ලෝකඩ 04 ක් සමඟ හිමිකර ගත් මුළු පදක්කම් ගණන 12 කි. රන් 05, රිදී 04 සහ ලෝකඩ 01 ක් සමඟ මුළු පදක්කම් 10 ක් හිමිකර ගත් එක්සත් රාජධානියට (බ්‍රිතාන්‍ය) දෙවැනි තැනය. ජර්මනියට මෙවර තෙවැනි තැනය. ඔවුන්ට මුළු පදක්කම් 09 කි. ඊට රන් 02, රිදී 02 සහ ලෝකඩ 05 කි.

මෙවර යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වූයේ 34 වැනි වතාවටය. එමෙන්ම නැඟෙනහිර යුරෝපීය රටකදී මෙම ශූරතාවලිය පැවැත්වූයේ වසර 30 කට පසුව වීමත් විශේෂත්වයකි. මෙවර ශූරතාවලියට රටවල් 48 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 567 ක් සහභාගි වූහ. එහිදී පැවැති තරග ඉසව් ගණන 26 කි.

මෙම ශූරතාවලියේදී 2013 සහ 2015 වසරවල සමස්ත ශූරතාව දිනූ රුසියාව මෙවර සහභාගි වූයේ නැත. ඒ එරටේ මලල ක්‍රීඩා සංගමයට තහනමක් පනවා තිබෙන බැවිනි. කෙසේ වෙතත් කාන්තා දුර පැනීමට එක් රුසියානු ක්‍රීඩිකාවක වූ දාර්යා ක්ලිෂිනා මෙවර සහභාගි වූයේ ස්වාධීනවය. ඇය වසර කිහිපයක් තිස්සේ වාසය කරන්නේ අමෙරිකාවේය.

 

 

 

 

Comments