මිතුරුකම් කියමින් හතුරු සටනේ | සිළුමිණ

මිතුරුකම් කියමින් හතුරු සටනේ

රට වටේම ක්‍රීඩා සැණකෙලියකි. බිග් මැච් උණුසුම දිනෙන් දින ඉහළ යද්දී, බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටියි. ඒ අතර පාසල් රග්බි තරගවාරය පසුගිය සතියේ ආරම්භ වූයේම ගුටි කෙළියකිනි. පාසල් රග්බි පිටියේ පළමු සතිය මෙහෙම නම් ඉදිරිය කොහොම වේවිද? ටොමයි - ජෙරියයි පහුගිය දවස්වල බිග් මැච්වලට ගිහින් මහන්සි වැඩිකමටද මන්දා අයිනක් අල්ලාගෙන හොඳට නිදි.

ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුරුක් ලාංකේයන් වීමද විශේෂත්වයකි. චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, රුවන් කල්පගේ සහ මාරියෝ වෙල්ලවරායන් යන අයගේ සේවය මෙවර හිමිවන්නේ ප්‍රතිවාදීන්ටය.

අපි මෙතෙක් ආපු දුර ගැන මැන ගන්න තියෙන හොඳම තරගාවලිය මේක කියලයි හතුරුසිංහ මාධ්‍ය හමුවේදී කිව්වේ. මෙකී ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශය පැත්තෙන් සුවිශේෂි තරගාවලියකි. තම ටෙස්ට් ඉතිහාසයේ සියවැනි තරගයට බංග්ලාදේශය ලබන 15 දා පී. සරා ඕවල් පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් පෙරටු කරගෙනය.

මේ ගැනත් හතුරුසිංහ මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මම ක්‍රීඩා කරන කාලයෙත් අපිත් මේ වගේ (බංග්ලාදේශය වගේ) තමයි. වැටි වැටී තමයි නැඟිට්ටේ. අද බංග්ලාදේශය සියවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කොට මම පුහුණුකරුවා. මේක මගේ හැකියාවට ලැබුණු දෙයක්. මට රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බැරි වුණා. ඒ ගැන දුකයි. හැබැයි දැන් කරන්න තියෙන දේ ගැන සතුටුයි.

හතුරුසිංහ බංග්ලාදේශය කරේ තියාගෙන ගෙදරට එනකොට ශ්‍රී ලංකාවද දෙවැනිවීමට අකමැති බව පෙනෙන්නේ ගුරුසිංහ කණ්ඩායමේ කළමනාකරු ලෙස ගෙන ඒමට පාලකයන් කටයුතු කළ නිසාය. මේ අනුව බංග්ලාදේශ තරගාවලිය අවසානයේ අපිට සැබෑ සිංහ කවුද යන්නත් දැක බලා ගැනීමට හැකිවනු ඇත.

ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත් තම සිංහ රෑනද කැටුව පිටියට පිවිසෙන්නේ හතුරුගේ මිතුරු කැල පරාජය කිරීමේ අටියෙන් නිසා හොඳ ක්‍රිකට් තරගාවලියක් නම් බලා ගැනීමට හැකිවනු ඇත.

මේ හැම දෙයක් අස්සේම යාපනය හින්දු සහ බම්බලපිටිය හින්දු විද්‍යාල අතර මහා ක්‍රිකට් තරගය මධ්‍යසාර සහ දුම්වැටිවලින් තොරව පවත්වන්න කටයුතු කරලා කියලත් ආරංචි වුණා.

ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව විද්‍යාල දෙකේ ආදි සිසුන් මේ තීරණයට ඇවිත් කියලා තමයි පිටියේ රවුමක් ඇවිදිනකොට ආරංචි වුණේ. අනේ මේක අනිත් අයටත් මොන තරම් ආදර්ශයක් ද කියලත් හිතුණා. අනිත් අයටත් මේක ආදර්ශයට ගන්න පුළුවන් නම් කොච්චර අගේද කියලා හිතනකොට, ටොමයි - ජෙරියයි නැඟිටලා එනවා...

 

 

Comments